අලියේ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Allier). අලියේ යනුවෙන් ප්‍රංසයේ පළාතක් ද ගඟක් ද ඇත. අලියේ පළාත මධ්‍යම ප්‍රංසයේ පිහිටි වර්ග සැතපුම් 2,848ක් විශාල වූ සාමාන්‍යයෙන් පහත් කඳුකර(600-1500)පෙදෙසකි. මෙහි සරු පස සහිත බොහෝ කොටස්වල තිරිඟු, බාර්ලි, ඕට්, රයි, හණ, පලතුරු සහ එළවළු වැවීම ද ගවයන්, බැටළුවන් සහ කුකුළන් ඇති කිරීම ද දැව කර්මාන්තය ද ප්‍රධාන රක්ෂාවෝයි. අඟුරු සහ ටංග්ස්ටන් මෙහි හාරා ගනු ලබන ඛනිජය. කොමෙන්ට්‍රි, මෝලූසොං ආදි නගරවල යකඩ සහ රබර් භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබේ. නොයෙක් තන්හි ඛනිජ උල්පත් ඇත. මෙහි ප්‍රධාන නගරය වූ මූරුං ලොම් ද්‍රව්‍ය සහ කඩදාසි නිෂ්පාදනය කරන කාර්මික නගරයකි. විෂි නගරයෙන් ඛනිජ සහිත දිය ද ලුණු ද පිටරට යවනු ලැබේ. අලියේ පළාතේ ජනගහනය (1954) 3,72,689කි.

අලියේ ගඟ

දකුණු ප්‍රංසයේ ලෝසෙයාර් ප්‍රදේශයෙන් පටන් ගෙන මධ්‍යම ප්‍රංසය හරහා උතුරට ගලා න'වෙයාර් සමීපයේ දී ල්වාර් ගඟට එක්වේ. අලියේ නිම්නයෙහි වැවිලි කටයුතු දියුණුය. ලංජියාක්, බ්‍රියුඩ්, ඉස්වාර්, විෂි සහ මුලැං මෙහි පිහිටි වැදගත් නගරයෝයි. සැතපුම් 256ක් දිග මේ ගඟේ සැතපුම් 130ක් පමණ නැව් ගමනාගමනයට සුදුසුය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලියේ&oldid=4686" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි