අලි මස්ජිද් ස්තූප

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇෆ්ඝනිස්ථානය හා බටහිර පකිස්ථානය අතර වූ කයිබර් දුර්ගයෙහි කුඩා කඳු මුදුනක පිහිටි ස්තූප කිහිපයකි. දැනට නෂ්ටාවශේෂව පවත්නා මෙම ස්ථානයේ බෞද්ධ ආයතනයක් පුරාණ කාලයෙහි පිහිටි බවට ලකුණු ඇත.

අලි මස්ජිද් ස්තූප සාංචි හා භර්නුත් ස්තූපයන්ගේ විකාසය හෙළි කරවන ගන්ධාර චෛත්‍ය නිර්මාණයන් පිළිබඳ උසස් නිදසුන්ය. සතුරු ප්‍රහාරයන්ට ලක් වූ මෙම ස්තූපයන්ගේ පහත කොටස් පමණක් ශේෂ වී ඇත. චෛත්‍ය පාදය සමචතුරස්‍රාකාර උස් වේදිකා දෙකකින් යුක්ත වේ. මෙම වේදිකා වටා සුනුබදාමෙන් කළ බුද්ධ රූප හා බෝධිසත්ව රූප ද කොරින්තියන් සම්ප්‍රදායට අයත් බිත්ති කුලුනු ද දක්නට ලැබේ. ගන්ධාර ශිල්පීන් අනුගමනය කළ ග්‍රීක-රෝමන් ලක්ෂණ බෙහෙවින් මෙම ස්තූපයන්හි පිළිබිඹු වේ.

1879 දී ජේ.ඩී. බෙග්ලර් නමැති පුරාවිද්‍යාඥයා අලි මස්ජිද් ස්තූපයන් කැණීමේ දී සොයාගත් පුරාවස්තු අතර වාසුදේව නම් වූ තුන්වන කුශාන රාජයාගේ කාසි කිහිපයක් ද විය. මෙම ස්තූප ක්‍රි.ව. තුන්වන ශතවර්ෂයට වඩා පැරණි නොවන බැව් සැලකේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලි_මස්ජිද්_ස්තූප&oldid=4678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි