අලුත් අවුරුද්ද
අලුත් අවුරුද්දක් ලබන දිනය ආගමික කටයුතුවල යෙදීමෙන් හා උත්සවාදිය පැවැත්වීමෙන් ගත කිරීම පෙර පටන් ලෝකයේ බොහෝ ජාතීන් අතර පැවැතෙන සිරිතකි. ඉන්දියානු, චීන, මිසර, රෝමන් යුදෙව් ආදි පුරාණ ලෝකයේ ප්‍රධාන ජාතීන් මෙම දිනය විශේෂයෙන් වැදගත් කොට සැලකූ බව පෙනේ. එහෙත් අලුත් අවුරුද්ද යෙදෙන දිනය කලින් කලට රටින් රටට වෙනස් විය.
වර්තමාන ලෝකයේ බෙහෙවින් ම ප්‍රචලිත වර්ෂක්‍රමය අනුව, ජනවාරි 1 වැනි දා අලුත් අවුරුදු දිනය වෙයි. ක්‍රිස්තියානි ශිෂ්ටාචාරයට අයත් අලුත් අවුරුදු දිනය වශයෙන් සැලකෙන මෙම දිනය වර්ෂාරම්භ දිනය හැටියට මුලින්ම නියම කෙළේ ක්‍රි.පූ. 1 වන සියවසෙහි ජීවත් වූ රෝම අධිරාජ ජූලියස් සීසර් ය. එහෙත් මුල් අවදියේ දී අපරදිග ක්‍රිස්තියානි රටවල් බොහොමයක අලුත් අවුරුදු දිනය වශයෙන් සලකන ලද්දේ මාර්තු 25 වැනි දා ය. නෝමන්වරුන්ට යටත් වන්නට පෙර, එංගලන්ත වාසීන් අලුත් අවුරුදු දිනය හැටියට ගත්තේ දෙසැම්බර් 25 වැනි දා ය. එරට ජනවාරි 1 වැනි දා අලුත් අවුරුදු දිනය වශයෙන් සලකන්නට පටන් ගැනුණේ 1751න් පසුව ය.
නානා ලබ්ධිකයන් අතර වෙනස් වෙනස් දින අලුත් අවුරුදු දින සේ සැලකේ. බොහෝ විට ඒ ඒ ආගම්වලට හා ජාතිවලට අයත් සම්ප්‍රදායානුගත අලුත් අවුරුදු දිනයන් ඇති නමුත්, බටහිර ශිෂ්ටාචාරයේ හා නාගරික සභ්‍යත්වයේ පැතිරීම සමඟ, ජනවාරි 1 වැනි දා අලුත් අවුරුදු දිනය ලෙස වැඩි වැඩියෙන් සැලකීගෙන යයි. අලුත් අවුරුදු දිනයේ ආගමික ස්වභාවය ක්‍රමයෙන් අඩුවීම මෙයින් දැක්වෙයි.
මෙහි දී අපගේ විශේෂ සැලකිල්ලට භාජන වන්නේ සිංහල අලුත් අවුරුද්දයි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ආරම්භයයි. මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ අප්‍රේල් මස 13 හෝ 14 යන දෙදිනෙන් එකක ය.
චාරිත්‍රානුගත අවුරුදු පිළිවෙත් සඳහා ජ්‍යොතිශ්ශාස්ත්‍රඥයින් විසින් සුදුසු නැකත් නියම කරනු ලැබේ. සූර්ය හා චන්ද්‍ර වර්ෂ වෙනුවෙන් සඳ බැලීම මුල්ම චාරිත්‍රයකි. සූර්ය සංක්‍රමණය සිදුවූ මොහොතට උභය පාර්ශ්වයෙන් ඝටීකා සොළස බැගින් ගැනීමෙන් ඔර්ලෝසු පැය 12 විනාඩි 40ක් පමණ කාලයක් පුණ්‍ය කාලය නමින් හැඳින්වේ. පරණ අවුරුද්දේ අවසානයෙන් ද අලුත් අවුරුද්දේ මුලින් ද සැදී මෙම කාලය පුණ්‍යක්‍රියායෙන් ගත කිරීමට නියමිතය. අලුත් අවුරුද්ද සඳහා ළිප ගිනි මෙළවීම, ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම, ඉස තෙල් ගෑම හා ස්නානය ද කරනු ලබන්නේ සුබ නැකතිනි.
බොහෝ රටවල අලුත්අවුරුදු වැනි උත්සවයන්ට මුළු සමාජය ම සහභාගි වෙයි. එබඳු උත්සවයන්ගෙන් අපේක්ෂා කැරෙන මුඛ්‍ය පරමාර්ථ හැර සමාජයේ සමගි සම්බන්ධකම් වැඩි දියුණු කිරීම වැනි වෙනත් පරමාර්ථයෝ ද ඉෂ්ට වෙත්. ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව අතර පැවැත්වෙන සිංහල අවුරුදු උත්සවයෙන් ද එබඳු නොයෙක් සමාජ කාර්යය ඉටුවෙන බව පෙනේ.
පෞද්ගලික මනෝවිද්‍යාව අතින් බලන කල අවුරුදු සිරිත් අර්ථාන්විතය. ඉදිරි වර්ෂයේදී හොඳින් වැඩ කිරීම, පරණ අවුරුද්දේ කළ වැරදිවලින් වැළකීම ආදී බොහෝ දෙනා කරන අධිෂ්ඨාන ධෛර්යයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුක්තව අලුත් වර්ෂය පටන් ගැනීමට අනුබල දෙයි. අලුත් අවුරුද්ද සඳහා ගෘහිණිය ගෙමිදුල, මුළුතැන්ගෙය, ගෙදොර, උපකරණ හා ඇඳුම් පැලඳුම් ආදිය ශුද්ධ පවිත්‍ර කරයි. බොහෝ දෙනා අලුත් ඇඳුම් පැලඳුම් බඩුබාහිරාදිය මිල දී ගනිති. මේ බාහිර පරිශුද්ධතාව බොහෝ විට මානසික පරිශුද්ධතාවක් ද ඇති කිරීමෙහි සමත් වෙයි. කලින් පැවති අපිරිසිදුකම්වලින් මිදී අලුත් අවුරුද්ද තුළ කටයුතු කිරීමේ ධෛය්‍යයක් මේ නිසා ඇතිවිය හැකිය. මිනිස් සිත වරින්වර මෙසේ උනන්දු කරවීම අවශ්‍යය. ඉහත සඳහන් අවුරුදු සිරිත් එම කාර්යය ඉෂ්ට කරන සමාජ චාරිත්‍ර හැටියට මානව විද්‍යාඥයා සලකයි. බොහෝ සමාජවල මෙවැනි සිරිත් සාමාජික සංස්ථා වශයෙන් තහවුරු වී තිබෙන්නේ මේ නිසාය.
අලුත් අවුරුදු චාරිත්‍රවාරිත්‍ර එදිනෙදා ජීවිතයේ කටයුතු පිළිබිඹු කිරීමකි; අනුකරණයකි. නැකැත් අවස්ථාවේ දී ඒවා කිරීමෙන් ඒවාට ආගමික බවක් හා පවිත්‍රත්වයක් ආරූඪ වේ. කෑම් බීම් ප්‍රීතිවීම් ක්‍රීඩා මධ්‍යයේ ශුභ මුහුර්තයෙන් වැඩ ඇල්ලීම් ආදිය වැඩෙහි ඇති වැදගත්කම මූර්තිමත් කිරීමක් වැන්න. ඒ වනාහි කා බී ප්‍රීතිවීම මෙන් ම එදිනෙදා කාර්යය කළයුතු බව හැඟවීමකි; එහි වැදගත්කම පිළිගැන්මකි; ඊට ගරුත්වයක් සලස්වා දීමකි.
ඇතැම් අවුරුදු සිරිතෙකින් පවුලේ සමඟි සම්බන්ධතාව වර්ධනය කෙරෙයි. අලුත් අවුරුදු උත්සවයන්හි දී දුර බැහැර සිටින පවුලේ සාමාජිකයෝ සිය ගෙදරට පැමිණ වැඩිහිටියන්ට බුලත් හුරුලු දීමෙන් ඔවුන්ගේ වැඩිහිටිභාවය තහවුරු කෙරෙති. විශේෂයෙන්ම පිතෘමූලිකත්වයට නැඹුරු සමාජයක් වන අප සමාජයෙහි දරුවන් පියාට බුලත්හුරුලු පිළිගැන්වීමෙන් පවුල සම්බන්ධයෙන් ඔහුගේ බලය ප්‍රකට වෙයි. පවුලේ වැඩිහිටි ප්‍රධානයා විසින් හිසතෙල් ගෑමෙන් ද මෙම කාර්යය ඉටුවේ.
අවුරුදු සිරිතින් නෑදෑ සමගි සම්බන්ධතාව ද වර්ධනය කෙරෙයි. දුර බැහැර සිටින නෑදෑයෝ නෑගම් යෑමාදියෙන් ඔවුනොවුන් සම්මුඛ වෙති. මේ නිසා නෑදෑකම් අලුත්වැඩියා වෙයි. ඇතැම් අවුරුදු සිරිත්වලින් පවුල්වල හා නෑදෑයන්ගේ සමඟි සම්බන්ධතාව පමණක් නොව සමස්ත සමාජයේ ම සමගි සම්බන්ධතාව ද වර්ධනය වෙයි. අවුරුදු සිරිත් විරිත් මුළු සමාජය පුරා ම එකම නැකත් වේලාවක පැවැත්වෙයි. මුළු සමාජය ම වාද භේද නොසලකා එකම පවුලක් සේ එක ම අවස්ථාවේ දි ආහාර භුක්ති විඳීමාදිය කරයි. එය සමාජයේ ඒකාබද්ධතාව තහවුරු කිරීමෙකි. තව ද කුලභේද ධනභේද ආදිය නොතකා අංකෙළි පොල්කෙළි ආදි ක්‍රීඩාවන්හි යෙදිම ද මේ අතින් වැදගත් ය. අලුත් අවුරුදු උත්සවය පවුල හා නෑදෑයන් පමණක් නොව සමස්ත සමාජය ම එකමුතු කිරීම සඳහා වැදගත් සංවිධානාත්මක කාර්යයක් ඉෂ්ට කරන බව මෙයින් පැහැදිලි වෙයි.
අලුත් අවුරුදු චාරිත්‍ර ජන විශ්වාස මත ගොඩනැඟී ඇති බව ප්‍රත්‍යක්ෂ නමුත්, ඒවා සමාජ සංවිධානය සඳහා උපයෝගීවන බව ඉහත සඳහන් කරුණුවලින් පෙනේ.
(සංස්කරණය: 1965)