අලෙප්පෝ
(ආලෙප්, හාලෙබ්). මෙය වයඹදිග සිරියාවේ නගරයෙකි. කුවෙයික් ඔයබඩ පිහිටි මෙහි ග්‍රීෂ්ම ඍතුවේ දී පැ. 80ක පමණ උෂ්ණත්වයක් සහ ශීත ඍතුවේ දී පැ. 45ක පමණ උෂ්ණත්වයක් ද අඟල් 25ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ද පවතී. අවට පළාතේ ස්වාභාවික වෘක්ෂලතාදිය අර්ධ කාන්තාරීය ලක්ෂණ දරන නමුත් ඒහි තිරිඟු, දුම්කොළ, කපු, මිදි සහ වෙනත් පලතුරු ආදිය වගා කරනු ලැබේ. එළු, බැටළු, බූරු, ඔටු, අශ්ව යනාදි සත්තු මෙහි ඇති කරනු ලැබෙත්. රෙදි, සබන්, සායම් වර්ග, තඹ භාණ්ඩ, බුමුතුරුණු ආදිය නිපදවීම සම්බන්ධයෙන් මේ නගරය ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි ජනගහනය (1946) 337,000කි.
අති පැරැණි රාජධාියක අගනුවරව පැවැති මෙය ක්‍රි.පූ. 2000 දී පමණ හිටයිට්වරුන් විසින් අත්කරගන්නා ලදි. බොහෝ මිසර ප්‍රහාර පලවා හළ අලෙප්පෝ නගරය ක්‍රි.පූ. 853 දී ඇසිරියාවට හිමි විය. ක්‍රි.පූ. තෙවැනි සියවසේ සිට ‘බීරියා’ යනුවෙන් හැඳින්වුණු මෙය බයිසන්ටයින රාජ්‍යයට ද ක්‍රි.ව. 638 දී අරාබීනට ද 10 වැනි සියවසේ යළිත් බයිසන්ටයිනයනට ද 11 වැනි සියවසෙහි දී තුර්කි ජාතිකයනට ද අත්විය. 1124 දී කුරුස හමුදා ප්‍රහාර නෙරපූ මෙය 1260 දී සහ 1401 දී මොංගොල් ආක්‍රමණිකයන්ට නතුවිය. 1517 දී යළිත් තුර්කි ජාතිකයනට අයිති වූ නමුත් 1832 දී මිසරයට හිමි වුණු මේ නගරය සුබපැත්මේ තුඩුව හා සූවස් ඇළ ඔස්සේ වැටුණු නැව් මාර්ග දියුණු වත් ම පිරිහෙන්නට වන. 1918 දී බ්‍රිතාන්‍ය හමුදාවකට යටක් වූ මෙය ප්‍රංස ආරක්ෂක ප්‍රදේශයක් සේ පිහිටුවන ලද සිරියාවට ඇතුළත් කැරිණි.
අලෙප්පෝ නමින් ම හැඳින්වෙන පළාත වර්ග සැතපුම් 8,458ක් විශාල වූ ද 1947 දී 920,000ක පමණ ජනගහනයෙකින් යුක්ත වූ ද ප්‍රදේශයකි.
(සංස්කරණය: 1965)