අලොංපායා රාජවංසය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1752–1885). බුරුමයේ අන්තිම රාජ පරම්පරාවයි. මේ රාජ පරම්පරාව 'කොන්බෝ රාජවංසය' නමින් ද හැඳින්වේ. මෙහි ආදිකර්තෘවරයා අලොංපායා (රා.ස 1752-1760) (බ.) රජ තෙමේය. අවුරුදු 133ක් පමණ පැවතුණු මේ රාජවංසය තිබෝ (1878–1885) නමැති රජුගෙන් අවසන් විය. අලොංපායා රාජ වංසයට අයත් වූ රජවරු එකොළොස් දෙනෙක් වූහ. ඔවුනතුරෙන් ක්‍රි.ව. 1752 සිට 1832 දක්වා රජ කළවුන් සම්පූර්ණ බුරුම රාජ්‍යය ම පාලනය කළ නමුත් ඉන්පසු රජකමට පත් වූවන්ට පාලනය කිරීමට හැකි වූයේ ඉහළ බුරුමයට අයත් ප්‍රදේශ පමණක් බව පෙනේ. මේ රාජ වංසය යටතේ බුරුමය පාලනය වූ අවුරුදු 133ක් පමණ කාලය වෙනස් කරන ලදි. 1752 සිට 1765 දක්වා අලොංපායා රාජවංසයේ රජවරුන්ගේ අගනුවර වූයේ ‍‍ෂ්වේබෝ නගරයයි. එහෙත් 1765 සිට 1783 දක්වා එක් වරෙක ද 1823 සිට 1837 දක්වා තවත් වරෙක ද ආවා නගරය මේ රජවරුන් කිහිප දෙනකුගේ අගනුවර විය. බොදවිපායා (1781-1819) (බ.) රජුගේ කාලයේ දී අගනුවර බවට පත් වූ අමරපුර නගරය 1783 සිට 1823 දක්වා ද යළිත් වරෙක 1837 සිට 1857 දක්වා ද බුරුමයේ අගනුවරව පැවැත්තේය. අවසාන වශයෙන් 1857 දී මණ්ඩලේ නගරය බුරුමයේ අගනුවර කර ගන්නා ලදි. අලොපායා රාජ වංසය අලොපායා, බොදව්පායා හා මින්දොන් මින් වැනි දක්ෂ පාලකයන් කිහිප දෙනකුන්ගෙන් යුක්ත විය.

අලොංපායා රාජවංසයේ වැටීමට හේතු වූයේ රජ පවුලේ අය අතර නිරන්තරයෙන් ම පැවති අසමගිකම් හං ඉංග්‍රීසීන් විසින් බුරුමය ආක්‍රමණය කරනු ලැබීමත්ය. (බුරුම ඉතිහාසය ද බ.)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලොංපායා_රාජවංසය&oldid=5587" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි