අවක්ෂේපණය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Precipitation). සමජාතීය (homogeneous) ද්‍රවයක ඇත්තාවූ ද්‍රව්‍යයක් එම ද්‍රවය කෙරෙන් ඝනයක් වශයෙන් වෙන් කරගැනීම අවක්ෂේපණය නමි. යථෝක්ත ද්‍රවය ද්‍රාවණයක් වශයෙන් හෝ කලිලයක් (colloid) වශයෙන් හෝ තිබෙන්නට පුළුවන. අවක්ෂේපණය වන ද්‍රව්‍යය ඒ ද්‍රවය තුළ අවලම්බනයක් (suspension) වශයෙන් ද තිබිය හැකිය. අවක්ෂේපණයට කදිම නිදසුනක් නම් සෝඩියම් ක්ලෝරයිඩ්වලට සිල්වර් නයිට්‍රේට් එකතු කිරීමෙන් සිල්වර් ක්ලෝරයිඩ් ලබාගැනීමයි. අවක්ෂේපණය ඇති වන්නේ ඊට කාරක වන ද්‍රව්‍යයෙහි සන්තෘප්ත (saturated) ද්‍රාවණවලින් පමණය. මේ අවක්ෂේප, අයනික (ionic) සංයෝග හෝ දායක-සංකීර්ණ (co-ordinate complexes) හෝ අණුක (molecular) සංකීර්ණ හෝ විය හැකිය. කේන්ද්‍රාපසරණයෙන් (centrifugation) ද අවක්ෂේපණය කරගත හැකි ද්‍රව්‍ය තිබේ. අයනික සංයෝග අවක්ෂේපණය වන්නේ එහි ද්‍රාව්‍යතා ගුණිතය (solubility product) එක්තරා ප්‍රමාණයකට වැඩි වෙි නම් පමණකි. ද්‍රාව්‍යතා ගුණිතය වනාහි කැටායනයේත් (cation) ඇනායනයේත් (anion) සාන්ද්‍රණ‍වල වැඩි කීරිමේ ඵලයයි. අද්‍රාව්‍ය ලවණවල අඩු ද්‍රාව්‍යතා ගුණිතයක් ඇත.

භාරමිතික (gravimetric) සහ ගුණාත්මක (qualitative) විශ්ලේෂණවල දී අවක්ෂේපණය උපයෝගි වෙයි. භාරමිතික විශ්ලේෂණවල දී රැස් කොට කිරා ගත හැකි අවක්ෂේප ද ගුණාත්මක විශ්ලේෂණවල දී විශේෂ වර්ණ හෝ වෙන යම් යම් ගුණ හෝ ඇති අවක්ෂේප ද ලබාගැනම මූලික අදහසකි. සමහර ලෝහවල මාර්ගයෙන් විශේෂ කාබනික රසායන වර්ග අවක්ෂේපණය කර අඳුනා ගැනීම මෙන්ම, කාබනික රසායනවල මාර්ගයෙන් සමහර ලෝහ අඳුනා ගැනීම ද කළ හැකි වේ. කාබනික සංයෝග ඇඳිනීම පිණිස අණුක සංකීර්ණයන්ගේ අවක්ෂේපණය පිහිට වේ. බහුන්‍යෂ්ටික (polynuclear) ඇරෝමැටික හයිඩ්‍රොකාබන සමග ප්‍රික්‍රික් අම්ලය සංයෝජනය වීමෙන් ලාක්ෂණික වූ භෞතික ගුණ ඇති අවක්ෂේප ලැබේ. ලුණු වර්ග වැනි විද්‍යුත් විච්ඡේද්‍ය (electrolytes) යෙදීමෙන් කලිල (colloidal) ද්‍රව්‍ය අවක්ෂේපණය කළ හැකිය. එසේම ප්‍රෝටීන වැනි ද්‍රව්‍ය, රත් කිරීමෙන් ද අතිසංතෘප්ත ද්‍රාවණවලට ද්‍රාව්‍යයෙන් ස්වල්පයක් යෙදීමෙන් ද අවක්ෂේපණය කළ හැකිය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවක්ෂේපණය&oldid=6087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි