අවතාර වාදය
සිංහල විශ්වකෝෂය වෙතින්
ස්වකීය ශාස්තෘවරයා යුගයෙන් යුගය ලෝකයට අවතීර්ණව හෙවත් මනුෂ්‍යාකාරයෙන් පහළව දුෂ්ට නිග්‍රහ ශිෂ්ට සංග්‍රහ කිරීම් වශයෙන් ලෝකයාගේ ගුණනුවණ සලස්වා දෙතැයි සැලකීම අවතාර වාදය නම් වෙයි. භවයෙන් භවයට සංක්‍රමණය වන නිත්‍ය ආත්මයක් ඇතැයි සලකන හින්දූන් අතර අවතාර වාදය ප්‍රචලිත වූ බව පුරාණාදි ග්‍රන්ථයන්ගෙන් එළි වෙයි. විෂ්ණු දෙවියන්ගේ අවතාර දශයක් ගැන හින්දූහු සඳහන් කරති.
(1) මත්ස්‍ය (2) කූර්ම (ඉබි) (3) වරාහ (ඌරු) (4) නෘසිංහ (අර්ධ මනුෂ්‍ය හා අර්ධසිංහ ආකාර) (5) වාමන (6) රාම (7) පරශුරාම (8) කෘෂ්ණ (9) බුද්ධ යනුවෙන් පහළ වූයේ විෂ්ණු දෙවියන්ම යයි අදහන හින්දූහු අනාගතයෙහි ඔහු (10) කල්කි අවතාර නමින් පහළ වෙතැයි සලකති (දස අවතාර බලනු).
දලයිලාමා අවලෝකිතේශ්වර නාථයන්ගේ අවතාරයකැයි තිබ්බත (ටිබැට්) බෞද්ධයන් අදහන්නේත් හින්දූන්ගේ අවතාර වාදයේ බලපෑමකින් යයි හැඟෙයි.
(සංස්කරණය: 1965)