අවද්‍රවණතාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Deliquescence). වාත ස්පර්ශය ලත් ඇතැම් ද්‍රව්‍ය මගින් වාතයෙහි ඇති ජල වාෂ්පය අවශෝෂණය කිරීමේ ගුණයට අවද්‍රවණතාව යැයි කියනු ලැබේ. එවැනි ද්‍රව්‍ය එසේ අවශෝෂණය කරන ලද දියෙහි සම්පූර්ණයෙන් ම වාගේ දියවේ. දෙන ලද උෂ්ණත්වයක දී කිසි යම් ද්‍රව්‍යයක ජලීය ද්‍රාවණයක ජලවාෂ්ප පීඩනය එම උෂ්ණත්වයෙහි දී වායුගෝලයේ ජලවාෂ්ප පීඩනයට අඩු වේ නම්, එම ද්‍රාවණය තුළ වායුගෝලයෙන් ජලවාෂ්පය ඝනීභවනය වෙයි. ද්‍රාවණයේ ජලවාෂ්ප පීඩනය වායුගෝලයේ ජලවාෂ්ප පීඩනයට සමාන වන තෙක් මේ කාර්යය සිදු වෙයි.

කැල්සියම් ක්ලෝරයිඩ් අතිශයින් අවද්‍රාව්‍යය. මැග්නීසියම් ක්ලෝරයිඩ් ද එසේ මය. සාමාන්‍ය ලුණු අවද්‍රාවණය නොවන සෝඩියම් ක්ලෝරයිඩ්වලින් සැදුණ ද, එහි අපද්‍රව්‍යයක් වශයෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් තිබීම නිසා අවද්‍රවණතාව දක්වයි.

යටකී ද්‍රව්‍ය හැරුණ විට සාන්ද්‍ර සල්පියුරික් අම්ලය, ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ග්ලිසරොල්, 100% එතිල් ඇල්කොහොල්, පොස්පරස් පෙන්ටොක්සයිඩ් ආදි ද්‍රව්‍ය, සුලභව දක්නා අවද්‍රාවක ද්‍රව්‍යවලින් සමහරකි.

ආවෘත අවකාශයක වූ මේ ද්‍රව්‍ය මඟින් එහි ඇති ජලවාෂ්ප ප්‍රමාණය අඩු කරනු ලැබේ. රසායනික ප්‍රතික්‍රියාවල දී ජල අවශෝෂණ කාර්යය සඳහා පොස්පරස් පෙස්ටොක්සයිඩ් වැනි ද්‍රව්‍ය භාවිත කරනු ලැබේ. ජලය සමඟ මිශ්‍ර නොවන ද්‍රව්‍යවලින් ජලය අවශෝෂණ කරගැනීමට ද නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් වැනි ද්‍රව්‍ය භාවිත කරනු ලැබේ.

සමහර ස්ඵටික ද්‍රව්‍ය විශේෂ ආචරණයක් දක්වයි. එනම් වායුගෝලයේ ජලය අවශෝෂණය කරගෙන තවත් ස්ඵටික ආකාරයකට ඒවා හැඩ ගැස්සෙයි. වෙනත් ඒවා තව දුරටත් ජලය අවශෝෂණය කරගැනීම හේතු කොටගෙන ජලයෙහි ද්‍රවණය වෙයි.

(කර්තෘ: ඩී.ඇස්. වීරසූරිය)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවද්‍රවණතාව&oldid=6098" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි