අවදානශතකය
මෙය වූකලි පාලි ත්‍රිපිටකයෙහි ඛුද්දකනිකායට අයත් අපදානපාළියෙහි ස්වරූපයෙන් ලියන ලද බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයකි. මෙය හීනයානික සර්වාස්තිවාදී නිකායිකයන්ගේ කෘතියකි. අවදානශතකය කවරක්හු විසින් රචනා කරන ලද දැයි සඳහන්ව නැත. එහෙත් මෙය ථන්දීශ්වරාචාර්යය නම් කෙනෙකුන් විසින් ප්‍රකාශ කරන ලදයි ඇතැම් අනුවාදයෙක සඳහන් වෙයි. ඒ අනුව ථන්දීශ්වරයන් ප්‍රකාශ කළ අවදාන අන්‍ය ලේඛකයකු විසින් ලියා තබන ලදැයි සිතිය හැකි වේ. මේ ග්‍රන්ථයෙහි තිබ්බතීය අනුවාදයක් ද තුන්වැනි සියවසෙහි කරන ලද චීන අනුවාදයක් ද පියෙර් නම් මහතකු විසින් ලියන ලද ප්‍රංස අනුවාදයක් ද ඇත. අවදානශතකය රචනා කළ කාලය සඳහන් වූ තැනක් ද නැත. අටවැනි වර්ගයේ තුන්වැන්න වූ හිරණ්‍යපාණි අවදානයෙහි 'දීනාර' නම් රන්මිල විශේෂය සඳහන්ව ඇත. ඒ වනාහි ග්‍රීක් කාසියකි. ක්‍රිස්තු පූර්ව සිව්වැනි සියවසේ දී මහා ඇලෙක්සැන්ඩර් රජු ඉන්දියාව ආක්‍රමණය කිරීමෙන් පසු දීනාරය ඉන්දියාවෙහි භාවිතයට පැමිණියේය. එහෙයින් ක්‍රිස්තු පූර්ව සිව්වැනි සිය වසටත් චීන අනුවාදය කළ බව දැක්වෙන ක්‍රි.ව. තුන්වැනි සියවසටත් අතර කාලයේ දී අවදානශතකය රචනා කළ බව සිතිය යුතු වේ.
අවදානශතකය වර්ග දසයක සංග්‍රහ කළ අවදාන සියයෙකින් යුක්තය. මෙහි ජාතක, ප්‍රේත වස්තු, ථෙර ථෙරීගාථා ආදිය හා සැසැඳෙන චරිත කථා ද ඇත. ඇතැම් අවදානයන් අතුරෙහි අංගුත්තර නිකාය, ඉතිවුත්තක ආදියෙහි එන කුඩා සූත්‍ර සංග්‍රහ වී ඇත. ධූපාවදානයෙහි අග්ගප්පසාද සූත්‍රය‚ මෛත්‍රකන්‍යකාවදානයෙහි සබ්‍රහ්මක සූත්‍රය, ගුප්තිකාවදානයෙහි අනත්තලක්ඛණ සූත්‍රය ආදිය මෙනි. සුභද්‍රාවදානය ආදී කිසිතැනෙක මහාපරිනිර්වාණ සූත්‍රයෙහි කොටස් ද දීර්ඝනඛාවදානයෙහි මජ්ඣිම නිකායට අයත් දීඝනඛ සූත්‍රය ද දැක්ක හැකිය.
එහි පළමුවන වර්ගයෙහි ශාක්‍යමුනීද්‍රයන් විසින් අනාගත බුදුවරයන් සඳහා විවරණ දුන් සැටි ද බුද්ධත්වයට හේතුවන පින්කම් ආදියද සඳහන්වෙයි. මේ වර්ගයෙහි පස්වැනි සෝමාවදානය දක්නට නැත. එහි තිබ්බතීය අනුවාදයක් ඇතැයි කියති. දෙවැනි වර්ගයෙහි එන අවදානයන්ගෙන් ශාක්‍ය මුනීන්ද්‍රයන් බෝසත්වැ අතීත බුදුවරයන් කෙරෙහි සිට විවරණ ලත් සැටි ද බුද්ධත්වය සඳහා කළ පින්කම් ද එහි විපාක ඵල ද ප්‍රකාශ වෙයි. තුන්වැනි වර්ගයෙහි මුල් අවදාන පසින් අතීත පසේ බුදුවරුන් හා පසේ බුදු බවට කළ පින්කම් ද අග අවදාන පසින් අනාගතයෙහි පසේ බුදුබව පතා බුදුන් හමුයෙහි කළ පින්කම් ආදිය ද සඳහන් වෙයි. සිව්වැනි වර්ගයෙහි බෝධිසත්ව චරිතයන්ට සමාන අවදාන හා ඒ ඒ ජාතියෙහි සිදු කළ කර්මයන්ගේ විපාකඵල ද දැක්වෙයි. පස්වැන්නෙහි පේතවත්ථුප්පකරණයෙහි එන කථා වස්තූන්ට සමාන වූ අකුශලකර්ම විපාක දක්වන අවදාන ද සවැන්නෙහි විමානවස්තු ප්‍රකරණයෙන් දැක්වෙන කථා වස්තූන්ට සමානව ඒ ඒ පින්කම් කොට දෙව්ලොවැ උපනුන්ගේ අවදාන ද සංග්‍රහ වී ඇත. අවසානයෙහි වූ වර්ග සතරින් දැක්වෙනුයේ රහත් ඵලයට පැමිණි භික්ෂූන්ගේ අතීත-වර්තමාන චරිත හා කර්ම-කර්මඵල පිළිබඳ විස්තරයකි.
මේ ග්‍රන්ථයෙහි එන අවදාන සියයෙහි ම ආරම්භය එක් මැ වාක්‍යයෙකින් කරන ලද්දේය. අවසානයෙහි වූ සංගීති අවදානය හැර අන් සියල්ල ම “ඉදමවොචද් භගවාන්, ආත්තමනාස්තෙ භික්ෂවො භගවතො භාෂිතමභ්‍යනන්දන්” (භාග්‍යවත්හු මේ වදාළහ; සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්ගේ භාෂිතය පිළිගත්හ.) යනුවෙන් බුද්ධභාෂිතයන් ලෙස දක්වා ඇත. සංගීතිඅවදානය උපගුප්ත නම් තෙර කෙනකුන්ගේ භාෂිතයකි. ථෙරීය බෞද්ධ ඉතිහාසයෙහි එන මොග්ගලීපුත්තතිස්ස තෙරුන් සඳහා උපගුප්ත යන නාමය දුන් බව පෙනේ. අශෝක රජු බුදුන් පිරිනිවී වර්ෂශතයෙහි උපන් බව ද සඳහන් වෙයි. දිව්‍යාවදානයේ එන අශෝක චරිතයෙහි ද මෙසේ ම සඳහන්ව ඇත. අවදානශතකයෙහි පුනපුනා කියනලද කථාංශයන් බෙහෙවින් දැක්ක හැකිය. මේ හේතුයෙන් අවදානසාහිත්‍යයට (බ.) අයත් වෙනත් ග්‍රන්ථයනට වඩා මෙහි සාහිත්‍යරසය පිරිහී ඇතැයි කිය යුතුය.
ථෙරීය ආචාර්යවංශයෙහි සජ්ඣායනාමාර්ගයෙන් අවිච්ඡින්නව ආ ඇතැම් චරිත මෙහි කල්පනා මාත්‍රයෙන් ලියා ඇති බව පෙනේ. නිදසුනක් මෙසේයි: ජාතකට්ඨකථායෙහි එන ධර්මපාල කුමාරයා සත්වැසිව සිටිය දී පියරජු විසින් වධ දී මරවන ලද්දේය. එහි දී මවුබිසව පුත්‍ර ශෝකයෙන් ළය පැළී මළාය. ධර්මපාලාවදානයෙහි කාමකෝපයෙන් රුෂ්ට වූ මව ධර්මපාල කුමාරයා මරවා ගලලෝහිතය පානය කළාය.
සුරූප අවදානය පාලි පොත්වල එන දහම්සොඬ කථාවය. දහම්සොඬරජ දහම් සොයා වල්වැදුණේ රාක්ෂසයාගේ මුඛයට පැන්නේය. අවදානශතකයෙහි සුරූප රජ සිය පුතු හා බිසව හා රකුසාට දී දහම් ඇසීය. තවද, අවදාන ශතකයෙහි බෝසත් සෙයින් දැක්වෙන මෛත්‍රකන්‍යක තෙමේ ජාතක අටුවාවෙහි එන මිත්තවින්දකයායි. මෙපරිද්දෙන් මේ ග්‍රන්ථයෙහි එන අවදාන බෙහෙවින් පාලි සාහිත්‍යයෙහි ආභාසයෙන් ලියැවී ඇති බව පෙනේ.
(සංස්කරණය: 1965)