අවරිය
ඉන්ඩිගෝ (බ.) නමැති නීල වර්ණය ලබා ගැනීම පිණිස මේ ශාකය බොහෝ රටවල වවනු ලැබේ. මෙය ඉන්දියාවේ ඉතා බහුලය. මේ ශාකයෙහි ඉන්ඩිගෝ අඩංගු වී නැතත් ශාකයෙහි අඩංගු ඉන්ඩිකන් නමැති ග්ලූකොසයිඩ් වර්ගයෙන් එය නිෂ්පාදනය කරනු ලැබේ. වෙනත් ශාක විශේෂවලින් ද ඉන්ඩිගෝ ලබා හැකිය.
අවරිය ලෙගුමිනෝසේ (බ.) කුලයෙහි පපිලියොනාසේ උපකුලයට අයත් ශාකයකි.
ආයුර්වේද මතය
සංස්කෘතයෙන් නීලී, නීලිකා, රංජනී ආදි නම් මේ ශාකයට ව්‍යවහාර කරනු ලැබේ. අවරිය මුල්, කොළ සහ සම්පූර්ණ පැළෑටිය බෙහෙතට ගනිති. අවරිය යුෂ යොදනු ලබන නීල්‍යාදි තෛලය හිසකෙස් වැඩීමට භාවිත කරනු ලැබේ. විශේෂයෙන්ම හිසකෙසට හිත ඖෂධයක් හැටියට අවරිය ප්‍රසිද්ධයි. අවරිය තිත්ත රසයි, උෂ්ණවීර්යයි, මූත්‍රකාරකයි, රේචකයි, විෂවායු නසයි, සිහිමුළාව හා භ්‍රමය (කරකැවිලි ගතිය) පහකරයි, වා, සෙම්, ප්ලීහ, වාතරක්ත, උදරයෙහි හා හෘදයෙහි ආබාධ, උමතුව, වායුගෙඩි, උණ, සුදුකබර, මූත්‍ර කෘච්ඡ්‍ර, ක්ෂය, සර්ප විෂ, දන්තක්ෂය හා කෘමි රෝග ද නසයි.
(සංස්කරණය: 1965)