අවරෝඊස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(අබු අල් වාලිද් මුහම්මද් ඉබ්න් රෂීද්). (1126–98). ඉස්ලාම් දර්ශන ඉතිහාසයේ උත්කෘෂ්ට තැනක වැජඹුණු මෙතෙමේ දක්ෂ වෛද්‍යවරයෙක් ද නීති විශාරදයෙක් ද විය.

ස්පාඤ්ඤයේ කෝර්දෝවාහි අග්‍රවිනිශ්චයකාරයකුගේ පුත්‍රයා වූ අවරෝඊස් නීතිය, දේවධර්මය, ගණිතය, වෛද්‍ය විද්‍යාව හා දර්ශනය ආදි විෂයයන් උගත්තේය.

යූසුප් නම් කාලිප්වරයාගේ ප්‍රසාදය දිනාගැනීමේ භාග්‍යය ලත් හෙතෙම ක්‍රි.ව. 1169 දී සෙවිල්හි අග්‍රවිනිශ්චයකාර ධුරයට පත්විය. ඉක්බිති යූසුප්ගේ රාජ වෛද්‍ය තනතුර දරමින් සිටිය දී 1184 දී කාලිප්වරයා මියගියෙන් අනතුරුව සිංහාසනාරූඪ වූ අල්මන්සූර් යටතේ සේවයට පත්විය. 1194 දී අවරෝඊස්ගේ දාර්ශනික අදහස් ගැන උදහස් වූ අල්මන්සූර් ඔහුගේ සියලු පොත් විනාශ කර දමා ඔහු රටින්ද නෙරපා දැමීය. පසුව නැවත රාජ ප්‍රසාදය ලැබ මරාකෙෂ් (මොරොක්කෝ) කරා කැඳවනු ලැබූ අවරෝඊස් ටික දිනකින් මිය ගියේය.

අවරෝඊස් ද අවිසෙනා (බ.) මෙන් ඇරිස්ටෝටල්ගේ දර්ශනය ඉතා උසස් කොට පිළිගත්තේය. ඇරිස්ටෝටල්ගේ දර්ශන ග්‍රන්ථයනට සන්න හා ව්‍යාඛ්‍යාන සැපයූ හෙතෙම තර්කය, භෞතික විද්‍යාව, ආධ්‍යාත්මික විද්‍යාව, නීතිය, නක්ෂත්‍ර විද්‍යාව ආදිය ගැන ද ග්‍රන්ථ ලීවේය. එවක සිටි සුප්‍රසිද්ධ ඉස්ලාම් දේවධර්මවිද්‍යාඥ අල් ඝසාලි විසින් දර්ශනයට විරුද්ධව ලියන ලද ග්‍රන්ථයට පිළිතුරු වශයෙන් ද ඔහු පොතක් ලීවේය. අවරෝඊස් ලියූ කිතාබ් අල් කුලියත් නම් වෛද්‍ය විශ්වකෝෂය ලතින් භාෂාවට පෙරළන ලදුව යුරෝපීය විශ්වවිද්‍යාලයන්හි භාවිත කරන ලදි.

ලෝකය සදාකාලික යයි ද ආකාශ වස්තූන්ගේ ගමනෙහි අගක් මුලක් නැතැයි ද ලෝකය මැවීමේ කථාව මිථ්‍යාවකැයි ද ඔහු කී නමුත් දෙවියන්ගේ ධාරක බලය නිසා ලෝකය පවත්නා බව සලකා දෙවියෝ ලොව මැවූහයි කීම යුතු බව ද ඔහු පැවසීය. දැඩි ආගමික නීතිරීතිවලට දාර්ශනිකයාට එකඟ විය නොහැකි නමුත් දර්ශනය ගැඹුරට හැදෑරීමේ දී දර්ශනය හා ආගම අතර සම්බන්ධය ගැන වඩා හොඳ අවබෝධයක් ලැබිය හැකි බව ද ඔහු කීවේය. එකිනෙකට ඉඳුරා වෙනස් වුව ද සැබෑ වු ආගමික සත්‍යයක් හා දාර්ශනික සත්‍යයක් පිළිබඳ ඔහුගේ ඉගැන්වීම ද්විත්ව සත්‍ය න්‍යාය නමින් ක්‍රිස්තු ලබ්ධිකයන් අතර පතළ විය.

ඉස්ලාම් භක්තිකයෝ අවරෝඊස්ගේ ඉගැන්වීම්වලට විරුද්ධ වූහ. ඔහුගේ ග්‍රන්ථ විනාශ කළහ. ඔහුගේ ඉගැන්වීම්වලින් වැඩි ප්‍රයෝජනය ලැබුවෝ යුදෙව් හා ක්‍රිස්තියානි දාර්ශනිකයෝය. යුදෙව්වරුන් හේබ්‍රෙව් භාෂාවට පෙරළුැ ඔහුගේ සමහර කෘතීන් ක්‍රිස්තියානි දාර්ශනිකයෝ ලතින් භාෂාවට හැරවූහ. ක්‍රිස්තියානි ඉගැන්වීම් කෙරෙහි අවරෝඊස්ගේ මත බෙහෙවින් බලපාන්නට වූයෙන් තෝමස් ඇක්වයිනාස් ඒවා සිඳ දැමීමට ක්‍රියා කෙළේය. එහෙත් ඇක්වයිනාස් පවා අවරෝඊස්ගෙන් මහත් ආභාසයක් ලැබූ බව කිව හැක. 1277 දී පාප්තුමා විසින් අවරෝඊස්ගේ මත ප්‍රතික්ෂේප කරන ලදි. එහෙත් අවරෝඊස්ගේ අනුගාමිකයෝ ඔහුගේ ද්විත්ව සත්‍ය න්‍යාය සහ ඇරිස්ටෝටල්ගේ කෘතීන්ට සපයන ලද ව්‍යාඛ්‍යාන දිගට ම හදාරන්නටත් උගන්වන්නටත් වූහ. දර්ශනය හා විද්‍යාව දේවධර්මයෙන් පරිබාහිර කොට තැබීමේ අදහස මධ්‍යකාලීන යුරෝපයෙහි ව්‍යාප්ත වී යෑමට මෙයින් ලැබුණේ බලවත් රුකුලකි. 14 වන සියවසේ දී රජය හා ශාසනය වෙන් වශයෙන් පැවතිය යුතු බවට තර්ක කළෝ ද අවරෝඊස්ගේ අනුගාමිකයෝය. අවරෝඊස්ගේ කෘතීන්ගෙන් බොහොමයක් ශේෂව ඇත්තේ අත් ලිපි හැටියට ය. ඉන් සමහරක් ජර්මන් ආදි භාෂාවන්ට පෙරළා තිබේ.

අරාබි (ඉස්ලාම්) දාර්ශනිකයන් අතර අවිසෙනාට පමණක් දෙවැනි වූ අවරෝඊස්ගෙන් පසු කාලිප්වරුන්ගේ ද ඉස්ලාම් භක්තිකයන්ගේ ද දර්ශන විරෝධි ක්‍රියාවන් කරණ කොටගෙන උසස් ඉස්ලාම් දාර්ශනිකයෝ පහළ නොවූහ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අවරෝඊස්&oldid=6116" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි