අශ්වකෝච්චිය
මෙරට දුම්රිය සේවය ආරම්භ කිරීමට ප්‍රථම බ්‍රිතාන්‍ය පාලන සමයේ දී තැපැල්ගෙනයාම හා මගීන්ගේ ගමනාගමනය පිණිස යොදා තිබුණු වාහනය අශ්වකෝච්චියයි. කොළඹ මහනුවර රාජකීය අශ්වකෝච්චිය, කොළඹ මහ නුවර වෙළඳ අශ්වකෝච්චිය, ගාලු රාජකීය වික්ටෝරියා අශ්වකෝච්චිය, කොළඹ මීගමු අශ්ව කෝච්චිය සහ කොළඹ රත්නපුර අශ්වකෝච්චිය මෙරට මුලින් ආරම්භ කරන ලද ප්‍රධාන පන්තියේ අශ්ව කෝච්චි කීපයෙකි.
ලංකාවේ අශ්ව කෝච්චි සේවය පළමුවෙන් ආරම්භ වූයේ විල්මට් හෝටන් ලංකාණ්ඩුකාර තුමාගේ කාලයේ (1832) දීය. එහි ද මුල්ම අංශය වූයේ කොළඹ-නුවර රාජකීය අශ්වකෝච්චි සේවයේ මහහේන දක්වා වූ කොටසයි. මෙය වූ කලි ලක්දිව පමණක් නොව සමස්ත ආසියාවේ ම ප්‍රථම අශ්වකෝච්චි සේවය හැටියට ද විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි. පස් මසකින් එහි සේවය මහනුවර දක්වා දීර්ඝ කරන ලදි. මුලින් සතියකට තෙවරක් පමණක් දිව වූ කොළඹ නුවර අශ්ව කෝච්චිය පසුව දිනපතා සේවයක් කරන ලද්දේය. 1867 දී උඩරට දුම්රිය ගමනාගමනය පටන් ගන්නා තුරු ම කොළඹ හා මහනුවර අතර තැපැල් හා මගීන් එහා මෙහා ගෙන යනු ලැබූයේ අශ්ව කෝච්චිය මගිනි. මෙම අශ්ව කෝච්චි සේවය යුරෝපීය වෙළඳ ව්‍යාපාරයක් මගින් පවත්වන ලද්දෙකි. පවුම් 50 කොටස් 40ක අරමුදලක් ඇතුව අරඹන ලද එම ව්‍යාපාරයේ ලාංකිකයන් සතුව පැවතියේ කොටස් 5 1/2 ක් පමණි. එහෙත් මෙරට ආණ්ඩු කාරයාට පමණක් කොටස් 6ක් හිමි විය.
අශ්වකෝච්චියෙන් කොළඹ සිට මහනුවරට යෑමට පැය 14ක් පමණ ගත විය. ආපසු ගමනට ගත වූයේ සාමාන්‍යයෙන් පැය12ක් පමණ කාලයකි. මහහේන ( අඹේපුස්ස) කොළඹ - මහනුවර සේවයේ ප්‍රධාන නැවතුම්ම්පොළ විය. කොළඹ සිට මහනුවරට ගාස්තුව පවුම් 2 1/2ක් විය. අතරතුර මගීන් ගෙන් හැතැප්මකට පැන්ස 9 බැගින් අය කැරිණ. මහර (හැ. 8 1/2), හෙනරත්ගොඩ (හැ. 16 1/2), උතුවන් කන්ද (හැ. 55) මේ මාර්ගයේ නැවතුම් පොළවල් කීපයෙකි.
උතුවන්කන්දේ දී, සුප්‍රකට සොරදෙටුවකු වූ සර්දියෙල් විසින් අශ්ව කෝච්චිය කීපවරක්ම ආපසු හරවා යවන ලද බව ද මේ නිසා ම ඔහු ඇල්ලීමට හමුදා යැවීමට සිදු වූ බව ද කියනු ලැබේ. සාමාන්‍යයෙන් මෙරට අශ්ව කෝච්චිය අසුන් දෙදෙනෙකු යොදන ලද්දකි. මුලින්ම දිවූයේ තනි අසකු යොදන ලද කෝච්චියකි. කොළඹ ගාලු පාරෙහි තනි අසකු යෙදූ අශ්වකෝච්චියක් ද දිවිය. ගාලු මාර්ගයෙහි ගමන් ගාස්තුව හැතැප්ම කට පැන්ස 7ක් වූ අතර කොළඹ සිට ගාල්ලට ගාස්තුව පවුම් 2ක් විය.
දුම්රිය මාර්ග විවෘත වීමෙන් පසු මුලින් ඇරඹූ ප්‍රධාන අශ්වකෝච්චි සේවා නතර කරන ලද නමුත්, දිවයිනේ ප්‍රධාන නගර සම්බන්ධ කරන මහාමාර්ග වැටෙත් ම තැපැල් ගෙනයෑම හා ගමනාගමන පහසුව අරභයා අශ්ව කෝච්චි සේවාව වඩ වඩාත් දියුණු කරන ලදි. එහෙත් මෝටර් වාහන දිවීම දියුණු වන්නා හා ම අශ්වකෝච්චිය යල්පැනපු සේවයක් බවට පත්විය. 1875 දී මේ රටේ අශ්ව කෝච්චි සේවා 9 ක් පමණ පැවැත්තේය. 1911 වන විට ඉහත කී සේවා කීපයක් නතර කර තිබුණු නමුත් ඒ ඒ තැනදිවූ අශ්ව කෝච්චි සේවා 14 ක් පමණ දක්නා ලදි. අවිස්සාවේල්ල - රත්නපුර - බලන්ගොඩ සේවය, පැල්මඩුල්ල - රක්වාන සේවය, මීගමු - පුත්තලම් සේවය, යාපන - කයිට්ස් සේවය, මාතර-හම්බන්තොට සේවය මාතර-දෙණියාය සේවය, තලවකැලේ - ආගරපතන සේවය මින් සමහරෙකි. එම වර්ෂයේ දී රත්නපුරය-පැල්මඩුල්ල අතර ද මීගමුව - මිනුවන්-ගොඩ අතර ද මාන්කුලම් - මුලතිව් අතරද තැපැල් හා මගීන් එහා මෙහා ගෙන යාම පිණිස ගොන් කෝච්චි යොදා තිබුණේය.1921 වන විට අශ්ව කෝච්චි සේවා වෙනුවට මෝටර් වාහන සේවා යෙදීම නිසා අශ්ව කෝච්චිය සම්පුර්ණයෙන් ම වාගේ අභාවයට ගොස් තිබුණේය. එහෙත් 1927 වර්ෂයේ දී පවා ගොන්කෝච්චිය (බ.) ඈත ප්‍රදේශයන්හි තැපැල් සේවය සඳහා යොදා පැවතිණ.
(සංස්කරණය: 1965)