අශ්වරේස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නියමිත පථයක තරඟ සඳහා අසුන් ධාවනය කරවීම අශ්වරේස් හෙවත් තුරඟ තරඟ යනුවෙන් හැඳින්වේ. අශ්වාරෝහකයන් විසින් මෙහෙයවනු ලබන තරඟ ද රථාරෝහකයන් විසින් මෙහෙයවනු ලබන තරඟ ද යනුවෙන් අශ්වරේස් දෙකොටසෙකි. අශ්වාරෝහකයන් විසින් මෙහෙයවනු ලබන වර්තමානයෙහි බෙහෙවින් ජනප්‍රියව පවත්නා අශ්වරේස් කොටස් දෙකකි. එනම් බාධා රහිත තැනිතලා පථයන්හි අභිජාත ජවසම්පන්න අශ්වයන් විහිදුවීම (thorcughbred racing) සහ නොයෙක් බාධක සහිත පථයන්හි පැවැත්වෙන බාධක ධාවන තරඟය (steeple-chasing) යනුයි. අශ්වයන් රථවල යොදා කෙරෙන අශ්වරේස් (harness racing) ජවාධිකයන්ගේ තරඟ ගණයට අයත් නොවේ. ඒ සඳහා ගනු ලබන්නේ පිය ගමනේ නොහොත් හැල්මේ දිවෙන අසුන් ය.

ආදි යුගවල දී මිනිසුන්ගේ ධාවන තරඟ ඉතා ජනප්‍රිය විය. පැරැණි ම ඔලිම්පික් ක්‍රීඩාව වූයේ ද මිනිසුන්ගේ ධාවන තරඟයයි. කල් යත් යත් නොයෙක් ජව තරඟ ඇතිවිය. ඒවා ජනප්‍රිය විනෝදාංග වූවා පමණක් නොව ඔට්ටු ඇල්ලීමට මඟක් හැටියට ද සලකන ලදි. මිනිසා විසින් අශ්වයා හීලෑ කරනු ලැබීමෙන් පසු අසුන් පිට යෑම දියුණු විය; උසස් වර්ගයේ අසුන් බෝකිරීම ද පටන් ගන්නා ලදි. ක්‍රමයෙන් අශ්වරේස්, තරඟ ධාවන ක්‍රීඩා අතුරෙහි ප්‍රධාන තැන ගත්තේය. හෝමර්ගේ ඉලියඩ් නම් ග්‍රන්ථයෙහි දැක්වෙන අශ්වරථ තරඟ පිළිබඳ විස්තරය මෙම ක්‍රීඩා සම්බන්ධයෙන් ඉතිහාසයෙහි එන ප්‍රථම අවස්ථාවේ ඡායා මාත්‍රයක් ලෙස සලකනු ලැබේ. ක්‍රි.පූ. 664 ග්‍රීසියේ ඔලිම්පික් ක්‍රීඩාවලට අශ්වයන් සිව්දෙනකුන් බැඳි අශ්ව රථ තරඟ ඇතුළත් වූ බව සඳහන් වේ.

අශ්වයන් තරඟයට ධාවනය කරවීම ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය දූපත්වල දී යයි අදහස් කරනු ලැබේ. මුලදී රජවරුන්ගේ විශේෂ සැලකිල්ල ලද මෙම ක්‍රීඩාව වංශවතුන්ගේත් උසස් පුද්ගලයන්ගේත් ක්‍රීඩාවක ස්වභාවය ඉසිලීය. එහෙයින් ම රාජකීය ක්‍රීඩාව යන විරුද නාමයෙන් ප්‍රසිද්ධ විය. කල් යත් යත් අශ්වරේස් බ්‍රිතාන්‍යයෙහි කොතරම් ජනප්‍රිය වී ද යත් එහි බොහෝ ක්‍රීඩාලෝලයන් විසින් අද ජාතික විනෝද ක්‍රීඩාව ලෙස එය සලකනු ලැබේ. එංගලන්තයෙහි අශ්වරේස් නියම වශයෙන් සංවිධානය වූයේ පළමුවැනි ජේම්ස් රජුගේ කාලයෙහිය. එකල එය හුදු විනෝදය උදෙසා ම පවත්වන ලදි. රජවරුන් බොහෝ දෙනකුන්ගේ ම අවධානය යොමු වූ රේස් ක්‍රීඩාව 17 වැනි සියවසෙහි දී එංගලන්තයේ පොදු ක්‍රීඩාවක් බවට පත් විය. පාර්ලිමේන්තුව මගින් රේස් පිළිබඳ පාලන නීති-රීති පනවන්නට විය. තුරඟුන්ගේ තරඟ ධාවනය විවිධාකාර ඔට්ටු ඇල්ලීම්වලට ඉඩ සැලසූ බැවින් එය සිය දහස් ගණන් ජනයා එක්ව කරන විශාලතම සූදු ක්‍රීඩාව බවට පත්විය. එබැවින් තුරඟ තරඟ ආදායම් ලබන ව්‍යාපාරයක් වශයෙන් සලකා 1785 දී පළමු වරට රේස් බදු අය කරන ලදි. 1666 වර්ෂය තෙක් එංගලන්තයේ තුරහ තරහ පැවැත්වුණේ සාමාන්‍ය තැනිතලා පිට්ටනිවලය. එතැන් සිට ඕවාලාකාර ධාවන පථ භාවිත වන්නට විය.

අශ්වරේස් සම්බන්ධයෙන් යුරෝපයේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත් රටවල් නම් ප්‍රංසය, ඉතාලිය, ජර්මනිය, ඕස්ට්‍රියාව, හංගේරිය, පෝලන්තය සහ රුසියාවයි. බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ අශ්වරේස් පැතිරී ගිය රටවල් අතුරෙහි ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ කැනඩාව ද ප්‍රධාන අංකයෙහි ලා සැලකිය හැකිය. ඉංග්‍රීසි තුරඟ තරඟ ක්‍රමය ජනප්‍රිය වෙත් ම ඇමෙරිකාව ද එය අනුගමනය කරන්නට විය. සංවිධානාත්මක ලෙස තුරඟ තරඟ පැවැත්වීම ඇමෙරිකාවේ ආරම්භ වූයේ 1664 දී නිඇම්ස්ටර්ඩෑම් (වර්තමාන නිව් යෝර්ක්) ප්‍රදේශය ආක්‍රමණය කළ ඉංග්‍රීසි හමුදාවේ සෙනෙවිතැන වූ රිචඩ් නිකොලස් විසින් ලෝං දිවයිනෙහි පිහිටි සෝල්බරි තැන්නෙහි රේස් පිටියක් ඉදිකිරීමෙනි. කල්ක්‍ යත්රී යත්ඩා අශ්වව රේස් ක්‍රීඩාව දකුණු ඇමෙරිකාවේ ද මුල් බැස ගත්තේය.

එංගලන්තයේ එප්සම් නගරයෙහි පැවැත්වෙන "ඉංග්ලිෂ් ඩාබි" (Derby) නම් තරඟය ලෝකයේ ප්‍රධානතම තුරඟ තරඟයයි. එංගලන්තයේ ලිවර්පූල් නුවර පැවැත්වෙන "ග්රෑන්ඩ් නැෂනල් ස්ටීප්ස් චේස්" නම් තරඟය ද ප්‍රංසයේ "ග්රාං ප්‍රිඩ පරී" (Grand Prix de Paris) නම් තරඟය ද අතිප්‍රසිද්ධය. ඇමෙරිකාවේ බෙහෙවින් ම ප්‍රකට තුරඟ තරඟය වූකලි ලුයිවිල්හි පැවැත්වෙන "කෙන්ටති ඩාබි" නම් තරඟයයි.

ආදියෙහි අශ්වරේස් සඳහා වයසින් වැඩුණු අශ්වයෝ යොදන ලදහ. එසේ ම ඔව්හු දීර්ඝ පථවල විහිදුවන ලදහ. එහෙත් වර්තමානයෙහි මේ සඳහා අවුරුදු දෙකක් හෝ තුනක් වයසැති අසුන් ම යොදති. අවුරුදු සතරෙන් ඉහළ අසුන් යොදනු ලබන්නේ ඉතා කලාතුරකිනි. දුවවන දුරප්‍රමාණය ද පෙරට වඩා අඩුය. සෑම තුරඟ තරඟ වැලක ම තරඟ ප්‍රධාන වශයෙන් දෙයාකාරය. එනම් අසුන්ගේ වයස් අනුව බර අඩු වැඩි කොට අසුන් විහිදුවීම ද හැමට ම සාධාරණ වන පරිදි ජවාධිකයනට වැඩිබර යොදවා අසුන් විහිදුවීම වර්තමානයෙහි තුරඟ තරඟ සම්බන්ධයෙන් පිළිගත් ධාවන පථය ඕවාල හැඩයෙන් යුක්තය. එහෙත් ඒ ඒ ධාවන පථවල පස, වංගුවල ද වේ. සැරකම, ආර්ම්භයේ සිට පළමු වංගුවට ඇති දුර ප්‍රමාණය ආදි අන් වෙනස්කම් බෙහෙවි. අද තරඟ සම්බන්ධයෙන් නොයෙක් අලුත් ක්‍රම අනුගමනය කරති. බාධක ධාවන තරඟය නම් නොයෙක් බාධකවලින් යුත් ධාවන පථයක් ඔස්සේ අසුන් විහිදුවීමයි. මේ ක්‍රීඩාංශය කිරීමේ ක්‍රම පුරාණයෙහි දඩයම් කිරීමේ සහ යුද සිතිය හැකියි. ආශ්‍රයෙන් හැඩගැසුණකැයි බාධක ධාවනය දැන් ජනප්‍රිය රේස් තරඟයකි.

අශ්වරථ තරඟය

ප්‍රධාන වශයෙන් ඇමෙරිකාවේ වැඩී ගිය තරඟ විශේෂයෙකි. මෙම තරඟයෙහි ලා පිළිගත් දුරප්‍රමාණය සැතපුමකි. තරඟය සඳහා භාවිත වන රථ වූකලි සල්කි නමින් හැඳින්වෙන හුළං පුරවන ලද ටයර්වලින් යුත්, රෝද දෙකේන් සැහැල්ලු රථ වෙසෙසකි. මෙය රාත්තල් 25–30 බරය. ඉහත දී රෝද සතරේ රථ වෙසෙසක් ද මේ සඳහා පාවිච්චි කරන ලද නමුදු දැන් ඒ භාවිත නොවේ. අශ්වරථ තරඟ පථ පවත්වා ගෙන යාම දැන් දියුණු වූ විශාල ව්‍යාපාරයකි.

(කර්තෘ: කාර්යාලය)

ලංකාවේ අශ්වරේස්

අශ්වයා ලංකාවට අමුත්තෙක් නොවේ. ක්‍රිස්තු පූර්ව පස්වැනි ශතවර්ෂයේ පටන් ලක්වැසියෝ ඌ ගැන දැන සිටියහ. විජය රජුගේ අභිෂේක මංගලයට මධුරා පුරින් ලැබුණ අගනා ත්‍යාග අතර අශ්වයන් ද වූ බව මහාවංශයේ සඳහන්ය. කරුණු එසේ වුව ද ලංකාවේ අශ්වරේස් ආරම්භය කෙදිනක සිදුවීද යනු නිසැකව කීම අසීරුය. එහෙත් "රාජකීය ක්‍රීඩාව" වශයෙන් හැඳින්වෙන මෙම තුරඟ තරඟ ලංකාවේ ඇතිවූයේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් මෙහි ප්‍රථමවරට පදිංචි වූවායින් පසුව යයි සිතිය හැක. රේස් සඳහාත් ඇති කිරීම සඳහාත් අභිජනිත අසුන් හාහා පුරා ලංකාවට ගෙන්වන ලද්දේ දක්ෂ ක්‍රීඩකයකු වූ ජෝන් බේකර් මහතා විසිනැයි කියති. හේ නුවරඑළියේ තම නිවස අසල කන්දක් වටා පථයක් තනවා අසුන් පුහුණු කළේය.

ලංකාවේ අශ්වරේස් සම්බන්ධයෙන් ලබාගන්නට හැකි ප්‍රථම මුද්‍රිත නිවේදනය 1846 දී "සිලෝන් ටයිම්ස්" නමැති ඉංග්‍රීසි පුවත්පතේ පළවූවකි. ආරම්භයේ දී ඉංග්‍රීසි යුද හමුදා නිලධාරීන්ගෙන් හා වැවිලිකරුවන් ස්වල්ප දෙනකුන්ගෙන්ද සමන්විත වූ "ලංකා තුරඟ තරඟ සමාජය" 1848 සැප්තැම්බර් මස 15 වැනි දින පිහිටුවන ලදි.

1846 සිට 1892 දක්වා කොළඹ අසුන් විහිදුවීමේ වාර්ෂික උළෙල පැවැත්වුණේ එවකට ගාලු මුව දොර පිහිටි රේස්පිටියේ දී ය. 1893 සිට මේ දක්වා කොළඹ අසුන් විහිදුවීම සිදු කෙරෙන්නේ කුරුඳුවත්තේ අක්කර 108ක් පමණ විශාල භූමි ප්‍රදේශයේ තිබෙන ලංකාවේ ඇති ඉතා දැකුම්කලු රේස් පිටිය වශයෙන් සුප්‍රසිද්ධ "හැව්ලොක්" රේස් පිටියෙහිය. එය ප්‍රථම වරට විවෘත කරනු ලැබූවේ 1893 ජූනි මස 22 වැනි දාය. මෙම රේස්පිටියට "හැව්ලොක්" යන නම තැබුවේ එවකට ලකිසුරු පදවිය දැරූ ඒ.ඊ. හැව්ලොක් ශ්‍රීමතාණන්ට ගෞරව කිරීමක් වශයෙනි.

1847 දී ලංකාණ්ඩුකාර ධුරයට පත් වූ ටොරිංටන් සාමිවරයා රේස් ලෝලයකු වූයෙන් ලංකා තුරඟ තරඟ සමාජය එතැන් සිට ශක්තිමත් පදනමක් පිට දියුණුවෙන් දියුණුවට පත්විය. 1848 දී ප්‍රථමවරට පැවැත්වූ "ආණ්ඩුකාරයාගේ කුසලාන" තරඟයේ ජයග්‍රාහක තුරඟා අයිතිකරුට කුසලාන ප්‍රදානය කෙරුණේ ටොරිංටන් සාමිවරයා අතිනි.

ආරම්භයේ දී විදේශිකයන් ස්වල්ප දෙනකුන්ගේ පමණක් අනුග්‍රහය ලත් අසුන් විහිදුවීම් අනුක්‍රමයෙන් ලංකාවේ නානා ජාතිකයන් අතර ඉතා ම ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්විය. ප්‍රාචීන පඬිවරයකු හා දක්ෂ නීතිඥයකු වශයෙන් ද සුප්‍රකට ජේම්ස් ද අල්විස් මහතා විසින් ක්‍රි.ව. 1853 හා 1854 පැවති වාර්ෂික රේස් උත්සව පිළිබඳ රචනා කරන ලද රසවත් කව් පෙළ එයට කදිම නිදසුනකි.

එවකට විසූ ඉතාම දක්ෂ ලාංකික චිත්‍ර ශිල්පියකු වූ ජේ.ඇල් කේ. වැන්ඩෝට් මහතා විසින් තීන්තෙන් ඇඳ තිබෙන 1854 අශ්වරේස් චිත්‍ර සටහන් ද සිත් ඇදගන්නාසුලුය.

අශ්වරේස් පටන්ගත් මුල් අවදියේ කොළඹ ගාලු මුවදොර රේස් පිටිය හැර, පේරාදෙණිය, නුවරඑළිය, වැවිලිකරුවන්ගෙන් ගහන වූ රදැල්ල, තල්දුව සහ ගාල්ල යන ප්‍රදේශාසන්න නගරවල ද රේස් පිට්ටනි තිබුණේය. එම පිට්ටනිවල කඩුලු රහිත රේස් තරඟ මෙන් කඩුලු රේස් ද පැවැත්විණි.

1942 වර්ෂයට එළඹෙන විට අසුන් විහිදුවීම කොළඹ, නුවරඑළිය, ගාල්ල යන ස්ථාන තුනට පමණක් සීමා විය. සෙසු රේස් පිට්ටනි ආදායම් අඩුකම නිසා වසා දමන්නට සිදුවිය. ගාල්ලේ අසුන් විහිදුවීම ගාලු ජිම්කානා සමාජය මගින් මෙහෙයැවුණු අතර කොළඹ සහ නුවරඑළියේ අසුන් විහිදුවීම් ලංකා තුරඟ තරඟ සමාජයෙන් (Ceylon Turf Club) මෙහෙයැවිණ. දැන් තිබෙන බූස්සේ රේස්පිටිය තැනීමට පෙර ගාල්ලේ රේස් පැවැත්වූයේ ගාලු කොටුව අද්දර පිහිටි රේස්පිටියෙහිය. විදේශිකයන්ගෙන් පමණක් සමන්විත වූ ලංකා තුරඟ තරඟ සමාජයට 1885 දී බැඳුණ ප්‍රථම ලාංකික ප්‍රභූන් දෙදෙන ඊ.ඇල්.ඇfප්. ද සොයිසා මහතා සහ සලමොන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමාත්ය. පසු කලෙක මේ දෙදෙන ලංකා අශ්වරේස් ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් ඉසුලුවෝය. සලමොන් ඩයස් බණ්ඩාරනායක ශ්‍රීමතාණන් තුරඟ තරඟ සමාජයට කළ විශිෂ්ට සේවය සදනුස්මරණය කරනු වස්, එතුගේ ප්‍රතිමාවක් එම සමාජය මගින් "හැව්ලොක්" රේස්පිටිය ඉදිරිපිට පිහිටවනු ලැබුයේ ඔහු ජීවත්ව සිටියදී ය.

කොළඹ හැව්ලොක් රේස්පිටියේ දැනට තිබෙන සැපපහසු ආසන පෙළින් යුත් තෙමහල් නව මන්දිරය, 1929 මැයි මස 25 වැනි දින සර් හ'බට් ස්ටැන්ලි ලකිසුරුතුමා විසින් විවෘත කරනු ලැබීමෙන් පසුව මෙහි අසුන් විහිදුවීමේ ව්‍යාපාරයට නව ජීවනයක් ලැබිණ.

ලංකා අශ්වරේස් ඉතිහාසයේ ස්වර්ණාක්ෂරයෙන් ලියැවිය යුතු වූ විශිෂ්ට දස්කම් පෑමෙන් වාර්තා පිහිටුවූ ජවාධික තුරඟුන්ගේ ද උන් සතු ක්‍රීඩා ලෝලයන්ගේ ද විදේශීය හා දේශීය දක්ෂ අසුන් පුහුණු කරන්නන්ගේ හා අසරුවන්ගේ ද නාම රාශියක් රේස් මැදුරෙහි සටහන් කොට ඇත. ඒ නම් අතුරෙන් නසීබ්, රැම්රොඩ්, නයිට්ජාර්, ජින්ගල්, එරේව්ජ් විලියම්, ජැක්ඔලැන්ටර්න්, කම්වෙල්, ෆුට්ප්‍රින්ට්, මෝර්ඩෙනිස්, කුන්ජිලතා, ඕවන්ග්‍රෙන් සහ කොටන්හෝල් යන අසුන්ගේ නම් සුප්‍රකටය.

මෙම දිවයින බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ විසූ සෑම ආණ්ඩුකාරයකුගෙන් ද රජයේ උසස් නිලධාරීන් සෑම දෙනකුගෙන් ම වාගේ තුරඟ තරඟ ක්‍රීඩාවට බලවත් අනුග්‍රහයක් ලැබුණේය. ලංකාවට නිදහස ලැබීමෙන් පසු ද කලක් ම රජයෙන් මෙම ක්‍රීඩාවට ලැබුණේ රුකුලක් මය. එහෙත් මේ අතර ම දීපව්‍යාප්ත සූදු ක්‍රීඩාවකට පරිවර්තනයව පැවති අශ්වරේස් ක්‍රීඩාව මහජන උවදුරක් කොට සැලකූවන්ගේ උද්ඝෝෂණය නිසා රජයේ සුරා සූදු ප්‍රතිපත්තියේ සංශෝධනයක් කරන්නට සිදු විය. 1960 දී බලයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජය එම පක්ෂයේ සුරාසුදු පිළිබඳ ප්‍රතිපත්තිය අනුව ලංකාවේ අශ්වරේස් 1964 සිට නවත්වන තැනට මං සලසා තිබේ.

(කර්තෘ: කේ.ඩී.ඇල්. වික්‍රමරත්න)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශ්වරේස්&oldid=5730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි