අෂ්ටගරුධර්ම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අෂ්ටගරු ධර්ම (පා. අට්ඨගරු ධම්ම) නම් මහාපජාපතිගෝතමී දේවිය පැවිදිව මෙහෙණියස්න පිහිටුවන්නට බුදුරදුන්ගෙන් අවසර ඉල්ලූ විට බුදුරජාණන් වහන්සේ තෙවරක් ප්‍රතික්ෂේප කොට පසුව අනඳ මහතෙරුන්වහන්සේ මහාපජාපති ගෝතමී දේවියට මහණවන්නට ඉඩ සලස්වන ලෙස බලවත් සේ අයැදි කල පනවා වදාළ ගරුධර්ම අටකි. මහාපජාපතිගෝතමීන් වහන්සේ මේ ගරුධර්ම අට පිළිගනිතොත් එතුමියට මහණ උපසම්පදාව පිහිටීමට ඒ පිළිගැන්ම හේතු වන බව බුදුහු වදාළ සේක. බුදුන්ගේ කුඩාමෑණි වූ ඕතොමෝ එය පිළිගත්තාය.

ගරු ධර්ම නම් ගරු කිරීම් වශයෙන් පිළිපදින සිරිත් අටකි. එනම්: වස් සියයක් ගිය භික්ෂුණියක විසිනුදු එදවස උපසම්පදා වූ භික්ෂුවක් වුව ද දැක හුනස්නෙන් නැඟී පෙර ගමන්කොට ඇඳිලි බැඳ ගරු කොට සතුටු සාමීචි පැවැත්විය යුතුය; භික්ෂුණියක අවවාද ලැබීමට සුදුසු තරම් දුරෙක භික්ෂූන් නැති ආවාසයක වස් විසිය යුතු නොවේ; භික්ෂුණියක දෙපෝයක් (පසළොස් දවසක්) පාසා පෝය දිනය කවරදා දැයි අසා භික්ෂුණීන්ට අවවාද දිය යුතුයයි භික්ෂූන්ට ආරාධනා කළයුතුය; වස් විසූ භික්ෂුණියක විසින් වස් අන්තයෙහි භික්ෂු භික්ෂුණී උභය සංඝයා වෙත පවාරණය කළයුතුය; ගරු ඇවතකට පත් වූ භික්ෂුණියක විසින් උභය සංඝයා වෙත දෙපෝයක් වත්මානත් පිරිය යුතුය; උපසම්පදාව අපේක්ෂා කරන මෙහෙණක (සික්ඛමානාවක) විසින් දෙවසක් මුළුල්ලෙහි හික්මිය යුතු ශික්ෂා පුරා උභය සංඝයා වෙතින් උපසම්පදාව ලබාගත යුතුය; භික්ෂුණියක විසින් කවර කාරණයකින්වත් භික්ෂුවකට ආක්‍රෝශ නොකළ යුතුය; මහාපජාපතී ගෝතමීන් වහන්සේ මහණ උපසම්පදාව ලත් දා පටන් භික්ෂුණීන් විසින් භික්ෂූන්ට අවවාද නොදිය හැකි වන අතර භික්ෂූන් විසින් භික්ෂුණීන්ට අවවාද දිය යුතුය යනුයි.

භික්ෂුණීන් තුළ භික්ෂූන් කෙරෙහි ගෞරව සම්මානය තිබෙන බව එළිවන මේ උසස් චාරිත්‍ර අට හෙවත් අෂ්ටගරුධර්ම බුදු සසුනෙහි පැවිදි වන හැම භික්ෂුණියක විසින් ම දිවි තිබෙන තුරු රැකිය යුතු බව බුදුහු වදාළ සේක. මහාපජාපති ගෝතමීන් වහන්සේ මේ ගරු සිරිත් අට මුදුනින් පිළිගත්හ. එයින් ම එතුමියට මහණ උපසම්පදාව පිහිටි බව සඳහන් වේ. මෙයින් අදහස් කෙළේ ස්ත්‍රීපක්ෂයේ ආරක්ෂාව සලස්වා අහංකාරය මැඩ පවත්වා භික්ෂූන් කෙරෙහි ගෞරව උපදවා භික්ෂූන්ගෙන් අවවාද අනුශාසනා ලැබ ශාසන ගෞරව ඇතිව ගුණගරුකව භික්ෂුණීන් සිටිනු දැක්මය. භික්ෂු භික්ෂූණී දෙපිරිස අතර නිගරුවක් භේදයක් අවමානයක් ඇති නොවනු පිණිස මේ ගරුධර්ම බුදුන් පැනවූ බව පෙනේ.

අෂ්ටගරු ධර්ම පිළිගත් පමණින් උපසම්පදාව ලත් එක ම උත්තමාවෝ මහාපජාපතිගෝතමීන් වහන්සේය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අෂ්ටගරුධර්ම&oldid=5794" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි