අෂ්ටායතන

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දඹදිව නානා ජනපදවල බුදුසසුන ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත් කල්හි කුලදරුවන් මහණ කිරීම හා උපසම්පදා කිරීමාදිය පිණිස බුදුරජාණන්වහන්සේ කරාම පැමිණීම දුෂ්කර වූ බැවින් ඒ ඒ ජනපදවල වෙන වෙනම එම කටයුතු කරන ලෙස සංඝයාට අනුදත් බව විනය පිටකයෙහි මහාවග්ග පාළියෙන් පෙනේ. ලක් බුදුසසුන ක්‍රමයෙන් වඩ වඩා පැතිර ගිය කල ද සංඝයාට ස්වකීය විනයකර්මාදි ශාසනික කටයුතු සඳහා නිතිපතා එකම මධ්‍යස්ථානයක් ඇසුරු කිරීමත් සංඝයාගේ පාලනය පවා එකම මධ්‍යස්ථානයකින් සංවිධානය කිරීමත් අතිශයින් දුෂ්කර වූ හෙයින් එම කටයුතුවල පහසුව සඳහා නොයෙක් පළාත්වල වෙන වෙන භික්ෂු සමූහ ඇති වන්නට පටන් ගත් බව පෙනේ. ලංකා ශාසන ඉතිහාසයේ මධ්‍යතන කාලය වන විට මෙබඳු භික්ෂු සමූහ අටක් තිබුණු බව ශිලාලේඛනවල හා සාහිත්‍ය ග්‍රන්ථවලද එන සටහන්වලින් පෙනේ. එක් එක් සමූහයකට ව්‍යවහාර වූ නාමය 'මුළ' යනුයි. 'මුළ' යන්න පසු කාලයක පාලියට පරිවර්තනය කරන ලද්දේ 'මූල' යනුවෙනි. ශ්‍රැතිය සලකා එසේ කරන ලද බව පෙනෙන නමුත් 'මූල' යන්නෙන් 'මුළ' යන්නෙහි යථාර්ථය ප්‍රකාශ නොවේ. වචනාර්ථය සලකා නිසි පරිදි පාලියට නැඟුවෝ 'සමූහ' කියාම යෙදූහ. "සරොගාම සමූහම්හි වසතා සන්තවුත්තිනා" යනාදිය ඊට නිදසුනි. මෙම 'මුළු' හෙවත් සමූහ අතර ධර්ම විනය අතින් හෝ ශාසනික ප්‍රතිපත්ති අතින් හෝ කිසි භේදයක් නොපැවැතිණ. ඒවා වර්තමාන නිකායයන් මෙන් වෙන් වෙන් ශාසන පරම්පරා ද නොවූහ. 'මුළ' යනු හුදෙක් එකට ආශ්‍රය කරන සමූහයකි. වර්තමාන භික්ෂු සංස්ථාවන් අතර පැරැණි 'මුළු'වලට සමාන කළ හැක්කේ මහනුවර අස්ගිරි-මල්වතු උභය පාර්ශ්වයයි. මෙම දෙපක්ෂය මහණ උපසම්පදාදී ශාසන කෘත්‍යයන් වෙන වෙන ම කරතත් දෙපක්ෂයම එකට ධර්මාමිෂ සම්භෝග කරන සමාන සංවාසික සංඝයායි. පැරැණි සඟමුළු අතර පැවැති තත්ත්වය ද මෙබඳුය. සංඝයා අතර 'මුළු' ඇති වීමට හේතුව ඇතැම් බහුශ්‍රැත මහතෙරවරුන්ගේ විශාල ශිෂ්‍ය ප්‍රශිෂ්‍ය සමූහ ඇතිවීමත් එම පිරිස එකට කටයුතු කරන්නට වීමත් වියහැකිය. එම ප්‍රධාන ආචාර්‍ය්‍යපාදයන්වහන්සේ වෙසෙන විහාරය එම මුළෙහි මූලස්ථානයයි. 'ආයතන' යනු එම මූලස්ථානයයි, හෙවත් මුළෙහි මධ්‍යස්ථානයයි. උත්පත්ති දේශය, හේතුව, වාසස්ථානය, ආකාරය, රැස්වෙන ස්ථානය යනාදි අර්ථයන්හි වැටෙන ආයතන ශබ්දය මෙහි යෙදෙනුයේ 'රැස්වෙන ස්ථානය' යන අරුතෙහිය. එක් එක් ආයතනයක් ඒ හා සම්බන්ධ වූ මුළට හෙවත් සමූහයට අයත් සංඝයා රැස්වෙන මධ්‍යස්ථානය වන හෙයිනි. ආයතනයක් වූකලී යම්කිසි 'මුළක' අධ්‍යාපනයේද ශාසනික කටයුතුවල ද සංඝයාගේ පාලනයේ ද මූලස්ථානය වේ. එසේ හෙයින් 'මුළු' අටට ආයතන අටෙකි. 'මුළු' අට නම්:

(1) උතුරුමුළ

(2) දකුණුමුළ

(3) කපාරාමුළ

(4) මහනෙත්පාමුළ

(5) වාදුම්මුළ

(6) සේනාපති (සෙනෙවිරද්) මුළ

( 7 ) විල්ගම්මුළ

( 8 ) ගලතුරුමුළ යන මේයි.

එක් එක් මුළක් එහි මූලස්ථානය හෙවත් ආයතනය පිහිටි ගමේ නමින් හෝ මූල විහාරයේ නමින් හෝ එය කරවා දුන් දායකයාගේ නමින් හෝ ව්‍යවහාරයට පැමිණි බැව් මෙයින් පෙනේ. නිකායසංග්‍රහයෙහි එන වියත්පත් අටගණය යනු ද මෙම 'මුළු' අට යැයි සලකනු ලැබේ. ආයතනයන් ශාසන පාලනයේ මධ්‍යස්ථානයන් වීම හේතු කොටගෙන ඒ ඒ ආයතනයෙහි අධිපතීන්වහන්සේ රාජකීය විශේෂ ගෞරවාදරයට පාත්‍ර වූ කෙනෙක් වූහ. ආයතනාධිපතීන්වහන්සේ කෙනකුන්ගේ අභාවයෙන් පසු එම ආයතනයෙහි ආධිපත්‍යයට හෙවත් 'සමූහනාථ' පදවියට සුදුස්සෙක් පත් කරන ලද්දේ ද රාජකීය සම්මාන සහිතවය. තවද ලංකා ශාසන පාලනය ගැනත් ශාසනය හා රජය අතර පැවැති සම්බන්ධය ගැනත් විශාල වගකීමක් සමූහනාථයන් සතුව තිබුණු බවත් රජතුමා උන්වහන්සේගේ උපදෙස් සෙවීම සිරිතක්ව පැවැති බවත් සිතිය හැකිය. මහාපරාක්‍රමබාහු රජතුමා විසින් ආයතන අටෙහි අධිපතීන් වහන්සේලාට අගනුවර ජේතවන විහාරයෙහි ප්‍රාසාද අටක් කර වූ බව මහාවංසයෙහි 78 වන පරිච්ඡේදයෙහි එන "තත්ථායතනවාසීනං - ථෙරානං ථිරසීලිනං

මහග්ඝෙ අට්ඨපාසාදෙ - කාරාපෙසි තිභූමකෙ”

යන්නෙන් ප්‍රකාශිතයි. රජතුමාට උපදෙස් දීමට අගනුවරට පැමිණි අවස්ථාවල උන්වහන්සේලාගේ වාසය පිණිස මෙම ප්‍රාසාද කර වූ බව සිතිය හැකි වේ.

(කර්තෘ: ඇම්. ශ්‍රී රම්මණ්ඩල)

මූල අට

ආයතනයන් අතුරෙන් වැඩි කොටසක් අභයගිරි හෝ ජේතවන නිකායයන් ඇසුරු කොට පැවැත්තේය. මහාවිහාරික භික්ෂූහු ග්‍රාමවාස අරණ්‍යවාස වශයෙන් වෙන්ව සිටියහ. මහාපරාක්‍රමබාහු රජුගේ නිකායසාමග්‍රියෙන් (ක්‍රි.ව. 1165 පමණ) පසු ආයතනයන් පිළිබඳව ද මහත් විපර්යාසයෙක් සිදු විය. නිකායත්‍රය වාසීහු ම එක් මැ මහාවිහාරය හා සංසන්දනය වූ හෙයින් කවර භික්ෂුගණයකට අයත් වුව ද ආයතනපාලනයෙහි දක්ෂ වූ කෙනකුන් මූල පදවියට පත් කිරීම සිරිත විය. නිදසුන් වශයෙන් සූර්‍ය්‍යශතකයට සන්න ලියූ පරාක්‍රමබාහු විල්ගම්මුළ තෙරණුවෝ ගලතුරුමුළ පදවිය දැරූ ෂඩ්භාෂාපරමේශ්වර ත්‍රිපිටකවාගීශ්වර ශ්‍රී රාජගුරු මහාස්වාමීන්ගේ ශිෂ්‍ය කෙනෙක් වූහ. මේ ගුරු ශිෂ්‍ය දෙදෙන වෙන වෙන ආයතනයන්හි ප්‍රධානත්වය ඉසුලූ බව සැලැකිය යුතුය. මූල එකිනෙක අතර සම්බන්ධය පැවැති බැව් ද පෙනේ. දැදිගම විහාරයෙහි මූල හතරකට අයත් භික්ෂූන්වහන්සේ සතර නමක් විසූ බව වුත්තමාලායෙහි කියන හෙයිනි.

දඹදෙණියෙහි රජ පැමිණි පණ්ඩිත පරාක්‍රමබාහු රජු විසින් අෂ්ටායතනවාසී මහතෙරවරුන් අට දෙනාගේ නිවාසයට යෝග්‍ය වූ ආරාමාදිය කරවා පිළිගැන්වූ බව මහාවංසයෙහි (84.17–18) සඳහන් වන නමුදු 14-15 ශතවර්ෂ වන විට මෙයින් කීපයක් අභාවයට ගිය බව සිතිය හැකිය. වුත්තමාලායෙහි ඇතැම් මූලයන් ගැන සඳහන් නොවූයේ එහෙයිනැයි ද සිතිය හැකිය.

1. උත්තරමූල (උතුරුමුළ): අභයගිරි විහාරයට අයත්ව ගොඩනැඟුණු උත්තරමූලය ආයතනයන් අතුරෙහි ඉතා උසස් තැනක් ගන්නෙකි. ලක්දිව සාහිත්‍ය වර්ධනය සඳහා උපස්තම්භ වූ ආයතනයන් අතුරෙහි උත්තරමූලය ප්‍රධාන වෙයි. "මූලස්ථානමාභිය අභයගිරිමහාවිහාරත්තු අග්‍රායතනමාන උත්තෝරුළ් මුලෛයිල්"යී පොළොන්නරු වෙළෛක්කාර සෙල්ලිපියෙහි අභයගිරිය මූලස්ථාන කොට ඇති ආයතනයන් අතුරෙන් උත්තරෝලය අග්‍රායතනය බව සඳහන් වෙයි.

එහෙත් මෙය කවර කලෙක කවුරුන් විසින් ගොඩනඟන ලද දැයි නිශ්චය කළ නොහැකිය. මෙය මානවම්ම රජු විසින් කරවන ලදැයි පූජාවලියෙහි හා දළදා සිරිතෙහි සඳහන් වේ. සේන I (833–853) රජතුමා මහාදිපාදව සිටිනා කල්හි කපුරු පිරිවෙන්හි ද උත්තරාළ්හ විහාරයෙහි ද ආවාස කරවූ බව මහාවංසයෙහි (50.77) සඳහන් වෙයි. මේ උත්තරාළ්හය උතුරුමුළ වී නම් එහි ආරම්භය සේන රජුට ද පූර්වයෙහිය.

තවද මන්ත්‍ර ජපයකට ගොස් ඇසක් අන්ධ වූ මානවම්ම තෙමේ අභයගිරි විහාරයෙහි පැවිදි විය. රජබවට පැමිණි ඔහුගේ සොහොයුරු මාණ තෙමේ ඒ රාජකීය තෙරුන්ට 'උත්තරොල' නම් පිරිවෙනක් කරවා සසියක් භික්ෂූන් එහි නැවැත්විය. (ම.ව. 57.21). මේ උත්තරොල පිරිවෙනින් උත්තරමූලය ආරම්භ වී නම් ඒ දසවැනි සියවස පමණෙහි දීය. දළදා හිමියන් පවා මේ භික්ෂු ගණයා භාරයෙහි කලක් පැවැතුණු බව පෙනේ. අනුරුද්ධ ශතක නම් බුද්ධස්තෝත්‍රය රචනා කළ අනුරුද්ධ තෙරණුවෝ උත්තරමූලයෙහි උපස්ථවිර පදවිය දැරූ කෙනෙකි. විජයබා පිරිවෙන් හිමි ෂඩ්භාෂාපරමේශ්වර ශ්‍රී රාහුල සංඝරාජයන්වහන්සේ ද උත්තරමුල රාහුල නම් මහතෙර කෙනකුන්ට මුනුබුරුව සිටි බව කව්සේකර, බුද්ධිප්පසාදනී ආදියෙහි සඳහන් වෙයි. එහෙයින් විජයබා පිරිවෙන් හිමියෝ ද උත්තරමූලයෙහි කෙනෙක් වූහ යි ඇතැම් විචාරකයෝ සිතති. එහෙත් ඒ බව සඳහන් වූ තැනෙක් නැත.

2. දක්ඛිණමූල (දකුණු මුළ): දකුණු විහාරය, දකුණුගිරි විහාරය, දකුණු නගරංගණවිහාර යයි අනුරාධපුරය සමීපයෙහි විහාර තුනෙක් විය. එයින් දකුණුගිරි විහාරය ප්‍රභව කොට මේ ආයතනය ඇරැඹුණු බව සිතිය හැකිය. සූරතිස්ස රජ දකුණුදිග නගරංගණ විහාරය කැරැවිය (ම.ව. 21.4). වළගම්බා රජුගේ ඇමැති උත්තිය තෙමේ දකුණු විහාරය කැරැවිය (ම.ව. 33.90). ශාසන ඉතිහාසයෙහි ඉතා ප්‍රසිද්ධ වූ කළුබුද්ධරක්ඛිත තෙරුන් උපන්නේ දකුණුගිරි විහාරයට අයිති ගොදුරුගම්හිය (පපඤ්චසූදනී-මහාසච්චක සුත්තවණ්ණනා). එහෙයින් දකුණුගිරිය සැදැහැතිස් රජුගෙනුදු පූර්වයෙහි ගොඩනැඟුණු බව පෙනේ. වෝහාරතිස්ස රජුගේ පින්කම් අතර දක්ෂිණමූල විහාරය හා දක්ෂිණ විහාරය වෙන වෙන ම සඳහන් වන හෙයින් (ම.ව. 36.33) දකුණු වෙහෙර දකුණුමුළ නොවූ බව නිශ්චිත වෙයි.

ගෝඨාභය රජුගේ කාලයෙහි උස්සිලියාතිස්ස නම් තෙර කෙනෙකු අභයගිරි ධම්මරුචිනිකායෙන් වෙන්ව ගොස් සඟුන් තුන්සියයක් සමඟ දකුණුගිරි විහාරයෙහි විසූ බව ද සාගල නම් මහතෙර කෙනෙක් එහි ම හිඳ ආගමව්‍යාඛ්‍යාන කළහයි ද නිකාය සංග්‍රහයෙහි එයි. මෙසේ දකුණුගිරියෙහි ආරම්භ වූ භික්ෂුගණයා දක්ෂිණමූල නම් වී යයි සැලකීම යෝග්‍යතර වෙයි. දකුණුමුළ වැසියෝ මහසෙන් සමයෙහි ජේතවන විහාරයෙහි ව්‍යාප්ත වූහ.

3. කප්ඵාරමූල (කපාරාමුළ ): හත්ථදාඨ (දාඨෝපතිස්ස) රජ අභයගිරියෙහි කප්පූර පිරිවෙන කැරැවිය (ම.ව. 43.28). කපාරාමුළ යයි ව්‍යවහාරයට පැමිණියේ මේ යැයි සලකනු ලැබේ. කසුප් රජ සුළුකපාරා, මහකපාරා නමින් දෙපිරිවෙනක් කරවූ බව පූජාවලියෙහි එයි. කාශ්‍යප රජුගේ ජේතවන පුවරු ලිපියෙහි "අබහය් ගිරි වෙහෙරැ කපාරා මුලට් සලමෙය්වන් පව් කර ය"යී ද “මහකපාරා පිරිවෙනැ පිරිවෙන් ලදුවහට්"යී ද දෙතැනෙක ම “කපාරා" යනු සඳහන් වෙයි. ශ්‍රී මෙහි මහකපාරාව පිරිවෙනැයි ගත් හෙයින් හත්ථදාඨ රජුගේ කපුරු පිරිවෙන ම පසු කලෙක කපාරාමුළ වී යයි සිතිය හැකිය. අග්බෝ රජ කපාරායෙහි පහයක් කැරැවිය (ම.ව.44.21). සිලාමේඝසේන රජ කපාරා-උත්තරෝල දෙපිරිවෙන් දියුණු කෙළේ ය (ම.ව. 50.77). මහවිජයබා රජුගේ දියණි වූ යසෝධරාවන් කප්පූරමූලයෙහි පිළිමගෙයක් කරවූ බව ද (ම.‍ව. 60.84) සඳහන්ව ඇත. මේ ආයතනය මහපැරකුම්බාවන් නිකායසාමග්‍රිය කරන සමයෙහි දුර්වලවැ තිබුණා විය හැකිය. දඹදෙණි යුගයෙන් පසු කාලයෙහි මේ ආයතනය ගැන සඳහනක් දක්නට නැත.

4. මහානෙත්තපා(සා)දමූල (මානෙත්පාමුළ): කෝට්ටේ රාජධානියෙහි අවසානය තෙක් පැවැති මේ ආයතනයාගේ ආරම්භය කවර කලෙක වී දැයි නිශ්චය නැත. අග්බෝ IV රජු විසින් 'මහානෙත්තාදිපාද' නම් ආවාසය වෙන් කරවා අභයගිරි ධම්මරුචික භික්ෂූන්ට දෙන ලදැයි (ම.ව. 46.2) සඳහන්වන හෙයින් එයින් පෙර ද මෙය ආවාසයක්ව පැවැති බව සිතිය යුතුය. ජේතවන සෙල්ලිපියෙහි “මහනෙත්පා වහදු දෙඅවසටද්"යී දැක්වූ හෙයින් කසුප් V රජුගේ රාජ්‍ය සමය වන විට ද මූලායතනයක් නොවූ බව පැහැදිලිය. පොළොන්නරුවේ මහානෙත්තපබ්බතයෙන් මෙහි ආරම්භය වී යයි සලකනු අහේතුකය. මහනෙත්පා මුළ ඇත්තෝ එ පව්යෙහි විසූහ යි ද එයින් ඒ පව්ව ද උපචාර විසින් එනම් වී යයි ද කියනු නම් මැනවි. නිකායසාමග්‍රියෙන් පසු උද්දීප්ත වූ ආයතනයන් අතුරෙන් මෙය ද එකෙකි.

මයුරපාදපිරිවෙන් හිමි බුද්ධපුත්‍රමහාස්ථවිරයන් වහන්සේ ස්වකීය කෘතිය වූ පූජාවලියෙහි "මානෙත්පාමුළ සුමංගල මහාස්ථවිරයන්ගේ සහෝදර ඔවුන්ගෙන් ම කිසියම් දහම්නයක් දැනගත්තා වූ" යනාදිය ලියමින් එවකට සුමංගල මහතෙරණුවෝ මානෙත්පාමුළ පදවිය දැරූහ යි දැක්වූහ. මෙ කියන සුමංගල තෙරණුවෝ අභිධම්මත්ථවිකාසිනී නම් අභිධම්මාවතාර ටීකාව කළ ශාරිපුත්‍රසංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍ය වූ තෙරණුවෝ යයි සිතීමට ඉඩ තිබේ. දැතිගම්පුර රජ පැමිණි පැරකුම්බාවන් සමයෙහි රචනා කළ වුත්තමාලා සන්දේසයෙහි ද දැතිගම් වෙහෙර විසූ මහතෙරවරුන් අතුරෙහි මහනෙත්පාමුළ මහතෙරණුවෝ ද විසූහ යි දැක්වෙයි. එහෙත් ඒ තෙරුන්ගේ පූර්වනාමය සඳහන් ව නැත. තවද මානෙත් පාමුළ පදවිය ලත් තෙරවරුන් අතුරෙහි රම්මුංගොඩ දීපංකර තෙරණුවෝ ද උසස් තැනෙක වැජඹුණාහ. බෞද්ධාගමචක්‍රවර්ති ශ්‍රී චන්ද්‍රභාරතී බ්‍රාහ්මණපඬිතුමන් විසින් වෘත්තමාලාඛ්‍යාව ලියන ලද්දේ මේ තෙරුන්ගේ චරිතය වර්ණනා කිරීමෙනි. උන්වහන්සේ රම්මුංගොඩ ශ්‍රී නිවාස පරිවෙණාධිපතිව සිට ගලතුරුමුළ පදවියට ද මානෙත්පාමුළ මංගල මහාස්වාමීන්ගෙන් පසු එම පදවියට ද පත් වූ බව එහි සඳහන් වේ. ඊට පසු මානෙත්පාමුළ පදවිය දැරුවෝ ලෝවැඩසඟරා, බුදුගුණාලංකාර ආදිය කළ වීදාගම මෛත්‍රෙය මහතෙරණුවෝය. මෙසෙයින් මානෙත්පාමුළ ආයතනය ලෝසසුන් දෙකට මහත් වැඩදායීව පැවැත්තේය. වීදාගම තෙරුන්ගෙන් පසු මේ පදවිය ලැබූ කෙනකුන් ගැන දැනගන්නට නැත.

5. වාහදීපකමූල (වාදුම්මුළ): මේ ආයතනය ගැන දැක්වෙන තොරතුරු ඉතා ස්වල්පය. පූජාවලියෙහි "මහලෑපාණෝ පරදෙසට ගොස් කසාවට්ටි රටින් බලසෙන් ගෙන අවුත්... උතුරළමුළ වාදුමුළ... කරවා" යනාදීන් දැක්වෙනුයේ මාණවම්ම රජ වාදුමුළ කරවූ බවෙකි. එහෙත් කසුප් රජුගේ ජේතවන ලිපියෙහි "මහනෙත්පා වහදු දෙඅවසටද්"යී දැක්වූයෙන් එවකට ද එය මූලායතනයක් බවට නොපැමිණ තුබූ සේ හැඟෙයි. "තෙලුමපාලිං" යන්නට අරුත් දක්වන බෝධිවංශ ගැටපදයෙහි "හේ වාදුයෙන් දකුණුදෙසේ කුඩපිඩවාවිය දකුණු පවුරු තැන්"යී මහාසීමාවට නිමිත්ත කී තැන්හි මහා සීමාවට ඇතුළුව වාදු නම් ස්ථානයක් තුබූ සේ කියන ලදි. එහෙයින් මානවම්ම රජ එතැන්හි ආරාමයක් කළ බව ද පසු කලෙක එය මූලායතනයක් බවට පැමිණි බව ද සිතිය හැකිය.

6. සෙනාපතිමූල (සෙනෙවිරද්මුළ): වුත්තමාලා සන්දේසයෙහි දැතිගම්පුර විහාරයෙහි සේනාපතිමූල පදවිය ලැබූ මහතෙරණුවෝ ද වැඩවිසූහයි "විරාජෙති සෙනාපතීමූල ථෙරො"යී දක්වන ලද්දේය. මෙහි ආරම්භය ගැන ඇතැම් විමංසකයෙක් කරුණු දක්වමින් දෙවන පෑතිස් රජුගේ දීඝසන්ද සෙනෙවියා විසින් කරවන ලද 'දික්සඳසෙනෙවියා' පිරිවෙන ඇසුරු කොට මෙය පහළ වී යයි කියයි (සිළුමිණ 13.11.45). අනෙකෙක් 8 වැනි සියවසෙහි ඇරැඹුණු සේ සිතයි. සේනරජුගේ සෙනෙවියකු වූ කුට්ඨක (කුට්ඨා) තෙමේ මහාවිහාරයෙහි "සෙනසෙනාපති" නම් පිරිවෙනක් කරවී යයි (ම.ව. 51.88–89; ; ලං.ශි.සං. I. 273; V2. 284) සඳහන් වෙයි. මිහිඳු IV රජුගේ ජේතවන ලිපියෙහි (ලං.ශි.සං. III. 226 පිට) "සෙනෙරද්මුළ"යී සඳහන් කරන ලද්දේ මේ ආයතනය බව සිතිය හැකිය. මේ අදහස පිළිගත හැකි වුවහොත් සෙනාපතිමූලය ජේතවන නිකායට අයත්ව තුබූ ආයතනයක් බව පිළිගත යුතුය.

7. සරෝගාමමූල (විල්ගම්මුළ): මේ ආයතනයෙහි ආරම්භය පිළිබඳව අනුමානයෙන් හෝ කරුණු කියන්නට මේ තාක් සාධක ලැබී නැත. විහාර අස්නෙහි සඳහන්වන 'විල්ගම' නම් විහාරයක් සත්කෝරළයේ කුරුණෑගලට සමීපව ද 'විල්ගම්වෙහෙර' නම් ස්ථානයක් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සමීපයෙහි පෙරියකුලම් වැවට ආසන්නව ද ඇති බව කියැවෙයි. මෙයින් යම්කිසි ස්ථානයක් මුල්ව ගෙන විල්ගම්මුළ ඇරැඹිණි දැයි සිතනු යෙහෙකි. මෙයින් එකක් විල්ගම්මුළ වී නම් එය මහාවිහාරයට අයත් ආයතනයක් විය යුතුය. මහපැරකුම්බා රජු විසින් පොළොන්නරුවෙහි කරවන ලද මහාජේතවන විහාරයෙහි වැඩ විසූ අභිධානප්පදීපිකා කාරක මුගලන් මහතෙරණුවෝ එවකට විල්ගම්මුළ පදවිය දැරූහ.

"මහාජෙතවනාඛ්‍යම්හි විහාරෙ සාධුසම්මතෙ

සරොගාම සමූහම්හි වසතා සන්තවුත්තිනා"

(අභිධානප්පදීපිකා නිගමන) යනු සැලකිය යුතුය. ජේතවන නාමය සඳහන් වූ පමණින් ම මුගලන් තෙරණුවෝ ජේතවන නිකායෙහි කෙනෙකැ යි කියන්නට කිසි කෙනෙක් යුහුසුලු වෙති. මේ වන විට ජේතවන නිකායක් නොවූ බව සිතාගත යුතුය. මෙයින් පසුව විල්ගම්මුළ පදවිය දැරූ උතුමන් කීපදෙනකුන් ගැනම ග්‍රන්ථාන්තරයෙහි දක්නට ලැබේ. සූර්යශතකයට සන්න ලියූවෝ පරාක්‍රමබාහු විල්ගම්මුළ මහාථෙරසාමීහුය. සිංහල අනාගතවංශය ලියන ලද්දේ දඹදෙණියෙහි දෙවැනි පැරකුම්බා රාජ්‍ය සමයෙහි විසූ විල්ගම්මුළ මහතෙරණුවන් විසිනි. නිකායසංග්‍රහයෙහි “සාහිත්‍ය විල්ගම්මුළ"යී දක්වන ලද්දේ මේ තෙරණුවන් සඳහා විය යුතුය. සිංහල බෝධිවංශය ලියන ලද්දේ ද කිත්සිරිමෙවන් කැලණියෙහි විසූ විල්ගම්මුළ පදවිය දැරූ තෙර කෙනකුන් විසිනි. දැතිගම්පුර විහාරයෙහි ද විල්ගම්මුළ සඳහන්ව ඇත. වුත්තමාලාසන්දේසය ලියන ලද්දේ මේ තෙරුන්ගේ භාගිනෙය්‍ය වූ ගතාර නම් උපතපස්වීන් විසිනි.

8. සේලන්තරමූල (ගලතුරුමුළ): දාඨෝපතිස්ස රජුගේ මුනුබුරු කෙනෙක් පැවිදිව වනසෙනසුනක විසූහ යි ද ලංකේශ්වර තෙමේ ඒ තෙරුන් නුවරට ගෙන්වා එහි පහයක් කරවා වැස්වී යයි ද ඒ තෙරුන් සේලන්තරයෙන් නික්ම අවුත් භික්ෂූන් රැස් කොටගෙන වාසය කළ හෙයින් ඒ විහාරය 'සේලන්තරසමූහ' යයි ප්‍රසිද්ධියට ගියේ යයි ද මහාවංසයෙහි (57.31–40) සඳහන් වෙයි. මහාපරාක්‍රමබාහු රාජාණන්ගේ ශාසන ශෝධනයෙහි සේලන්තරායතන වාසී නන්ද ස්ථවිරපාදයන් රුහුණු රට තුන්නිකාය වාසී භික්ෂූන්ට ප්‍රමුඛ වූ බව ද එහි ම (78. 10-11) දැක්වෙයි. දෙවුන්දර තුබුණු තුන්මහල් ගලතුරුමුළ පායක් ගැන පරෙවි සන්දේශයෙහි (153) කියැවේ. මේ අනුව සේලන්තරායතනය රුහුණෙහි වූ බව සලකා ගත හැකිය. තම මුනුබුරු තෙරුන් සඳහා දාඨෝපතිස්ස රජු කරවූ පහයත් දෙවුන්දර ගලතුරුමුළ පායත් එකක් ම වීමට ද බැරි නැත; දාඨෝපතිස්ස රජුගේ පරපුර රුහුණෙහි ව්‍යාප්තව ගිය බව මහාවංසයෙහි එන කරුණුවලින් සිතාගත හැකි හෙයිනි. මහාසාමි යයි ප්‍රසිද්ධියට පැමිණ සිටි කාශ්‍යප කුමරුගේ ආණ්ඩුකාලයෙහි සේලන්තරමූලය ආරම්භ වූ බව පැනෙන නමුදු කාලය හෝ ස්ථානය පිළිබඳ නිශ්චිත නිගමනයකට බැසගැනීමට මේතාක් ම සාධක ලැබී නැත. තවද සේලන්තරමූලය මහාවිහාරයෙහි ආරණ්‍යක භික්ෂූන්ගෙන් ප්‍රභව වී යයි ද සිතිය හැකි වේ.

අනතුරුව සේලන්තරමූල පදවිය දැරූ භික්ෂූන් කිහිප දෙනකුන් ගැන ද ඉතිහාස ග්‍රන්ථයන්හි සඳහන් වෙයි. දඹදෙණි රාජ්‍ය සමයෙහි වැඩවිසූ ශ්‍රී සංඝරක්ෂිත සංඝරාජයන් වහන්සේගේ ආචාර්‍ය්‍යපාදයෝ සේලන්තරායතනවාසික වූ 'ශීල' නම් තෙර කෙනෙකි. ඒ බව වුත්තෝදය නිගමනයෙහි:

"සෙලන්තරායතනවාසික සීලථෙර

පාදොගුරූ ගුණගුරූ ජයතං මමෙසො"

යනුවෙන් දැක්වේ.

සූර්‍ය්‍යශතකයට අර්ථව්‍යාඛ්‍යාන කළ ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුළ තෙරණුවන්ට ආචාර්යය වූවෝ ෂඩ්භාෂා පරමේශ්වර ත්‍රිපිටකවාගීශ්වර ශ්‍රී රාජගුරු ගලතුරුමුළ මහාස්වාමිපාදයෝය. වුත්තමාලා සන්දේසයෙහි සඳහන්වන පරිදි දැතිගම්පුර විහාරයෙහි ද සේලන්තරමූල පදවිය දැරූ ස්ථවිර කෙනෙක් වාසය කළහ. එසේ ම වෘත්තමාලාඛ්‍යාවෙහි රම්මුංගොඩ දීපංකර තෙරණුවන්ගේ ප්‍රව්‍රජ්‍යාචාර්යයෝ ශෛලාන්තරමූලාධිපති මහා ස්වාමීහු යයි දක්වා ඇත. මේ දීපංකර තෙරණුවෝ පසු කලෙක මහානේත්‍රප්‍රාසාදමූල පදවිය හා ශෛලාන්තරායතන මූලපදවියත් දැරූහ යි එහි ම සඳහන්ව ඇත.

පොත්පත්

මැදඋයන්ගොඩ විමලකිත්ති හිමි-ශාසනවංශ ප්‍රදීපය

පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි-ථෙරවාද ආචාර්‍ය්‍යවරය‍ෝ

අනාගත වංශය-වටද්දර මේධානන්ද සංස්කරණය, 1934 (ප්‍රස්තාවනාව)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අෂ්ටායතන&oldid=6311" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි