අසත්කාර්‍ය්‍යවාදය
නිපැත්ම ගැන ප්‍රධාන වාද හෙවත් මත සතරක් සාඞ්ඛ්‍යතත්ත්වකෞමුදී නමැති සාඞ්ඛ්‍ය විවරණ ග්‍රන්ථයෙහි වාචස්පති මිශ්‍ර ආචාර්‍ය්‍යවරයා සඳහන් කරයි. එය ම මාධවාචාර්‍ය්‍යවරයා විසින් ද ස්වකීය සර්වදර්ශනසඞ්ග්‍රහයෙහි සාඞ්ඛ්‍ය දර්ශන කොටසෙහි දක්වා තිබෙයි. එනම්:
(1) අභාවයකින් භාවයක් හටගනියි (අසතඃ සත්);
(2) භාවයකින් පෙර නොතුබූ භාවයක් හටගනියි (සතො'සත්);
(3) එක ම භාවයක් නිසා විවර්තයට පත් වූ මේ මුළු මහත් විශ්වය ම ඇස්බැන්දුමකි (සතො විවර්තඃ කාර්‍ය්‍යජාතම්);
(4) භාවයකින් තවත් භාවයක් පරිණත වෙමින් පවතියි (සතඃ සත්).
පිළිවෙළින් මේ මත සතර (1) මාධ්‍යමික සම්ප්‍රදාය (2) නෛයායික සම්ප්‍රදාය (3) වේදාන්ත සම්ප්‍රදාය (4) සාඞ්ඛ්‍ය සම්ප්‍රදාය යන සම්ප්‍රදාය සතරට අභිමත කාර්යය-කාරණභාවය පිළිබඳ සිද්ධාන්තයි.
මේ සතරින් සාඞ්ඛ්‍යයන්ගේ සත්කාර්‍ය්‍යවාදය ද න්‍යාය-වෛශේෂිකයන්ගේ අසත්කාර්‍ය්‍යවාදය ද ප්‍රතිවිරුද්ධ මත දෙකක් හෙයින් විශේෂ වාදයකට භාජන වෙයි. මේ දෙපස අතර විවාදයට භාජනව පවත්නේ කාර්‍ය්‍යය මිස කාරණය නොවෙයි. ඒ දෙපක්ෂය ම කාරණය සත්බව පිළිගනිති. එසේ ම කාර්‍ය්‍යයත් කාරණයත් දෙක ම සත් (හෙවත් අභාවාත්මක නොවන) බවත් ඒකමතිකව ම පිළිගන්නාහ. එසේ ද වුවත් නිපදවනු ලබන කාර්‍ය්‍යය නැති දෙයක්, නුවූ දෙයක් අමුතුව ඇති කරවීමක්, බිහිකරවීමක් නොව කාරණස්වරූපයෙන් පෙර තුබූවක් ම යයි සාඞ්ඛ්‍යවාදීහු පවසති. ඊට ප්‍රතිවිරුද්ධ වූ න්‍යාය-වෛශේෂිකයන්ගේ මතය නම් කාර්‍ය්‍යය වනාහි පෙර නුවූ අමුතු ම බිහිකිරීමක්ය, නිපදවීමක්ය යනුයි.
සත්කාර්‍ය්‍යවාදය අනුව භාවාත්මක වූ හෙවත් සත් වූ රන්කැබැල්ල භාවාත්මක වූ ම වළල්ලකට පරිණත වෙයි. නැවත එය මුදුවකට ද නැවතත් එය කරාබුවකට ද පරිණත වෙයි. එක එක ස්වරූපයට පරිණත වෙමින් නානා අයුරින් මෙහි ලා පෙනී සිටින්නේ කාරණාත්මක වූ එකම ස්වර්ණය හෙයින් කාරණයෙන් භින්න වූ කාර්‍ය්‍යයක් හෙවත් පෙර කොහෙත් ම නොතිබී අමුතුව ඇතිවූවක් නොවෙයි. හුදෙක් කාරණයාගේ ම පරිණතයකැයි යනු සාඞ්ඛ්‍ය මතයයි (සත්කාර්‍ය්‍යවාදය බලනු).
අසත්කාර්‍ය්‍යවාදය යන්නෙහි අදහස නම්: කාර්‍ය්‍යය වනාහි අසත් (අභාවාත්මක) වූවක් හෝ අසත් නිසා ඇති වූවක් හෝ නොවේ යනුයි. කාර්‍ය්‍යය ම අසත් වූවකි, එනම් නිපැත්මට පෙර සත් නොවූවකි, විද්‍යමාන නොවූවකි; පෙර නොතිබුණා වූ අමුතු ම බිහිවීමකි නොහොත් නොතිබුණු දෙයක බිහිවීමකි. බිහි වූ වස්තුව බිහිවීමට පෙර නොතිබිණ. ඊට පෙර තිබුණේ එහි අභාවයයි. ඊට පෙර-අභාවය නොහොත් ප්‍රාගභාව යයි කියති. මෙම ප්‍රාගභාවයේ අවසානය ඇති කරමින් ඊට ප්‍රතිවිරුද්ධව, ප්‍රතියෝගීව හටගන්නා භාවාත්මක වස්තුව කාර්යය නම් වේ (තර්කසංග්‍රහ).
සත්කාර්‍ය්‍යවාදී සාඞ්ඛ්‍යයන් කියන පරිදි කාර්‍ය්‍යයක් ඇතිවන්නට පෙරත් එය කාරණයෙහි නොපැනීවත් තිබෙයි නම් ඕනෑ ම දෙයකින් ඕනෑ ම දෙයක් නිපැදවිය හැකිය. එහෙත් ඒ එසේ නොවෙයි. උපාදාන කාරණ ම හෙවත් උපාදේය වූවක් ම (ඒ නිපදවනු ලබන දෙයට පිරිමැහෙන දෙයක් ම) සොයා ගනු කාර්‍ය්‍යය නිපදවන්නන්ගේ සිරිතය. පැදුරක් වියනු කැමැත්තා පන් සොයා ගනියි. රෙද්දක් වියනු කැමැත්තා නූල් සොයා ගනියි. කාරණාවස්ථාවෙත් (කාරණයෙහිත්) කාර්‍ය්‍යය සත් නම් (ඇති නම්) උපාදාන කාරණ ම සෙවීම අවශ්‍ය නොවෙයි. එය නිෂ්ඵල සෙවීමක් ම වෙයි. තෙල් ඇතැයි සිතා වැලි වුවත් තෙල් නිපදවන්නාට ගතහැකි විය යුතුය. එසේ නොගත හැක්කේ උපාදාන කාරණ ම කාර්‍ය්‍යය නිපදවීමෙහි ලා අවශ්‍ය වන හෙයිනි. "කාර්‍ය්‍යය පෙර පටන් ම (හෙවත් කාර්‍ය්‍යය ඇතිවන්නට පෙරත්) කාරණ තුළ පවතියි" යන සත්කාර්‍ය්‍යවාදය නුසුදුසු යයි පවසන්නේ මේ නිසාය. යම් හෙයකින් කාර්‍ය්‍යය පෙර ම කාරණයෙහි තිබෙයි නම් “අසවල් කාර්‍ය්‍යය දැන් නිපදවනු ලබයි", "අසවල් කාර්‍ය්‍යය මතු නිපදවනු ලබන්නේය" යන කාලභේදය හඟවන ව්‍යවහාර ද සත්කාර්‍ය්‍යවාදීන්ට කළ නොහෙයි (ගෞතම න්‍යාය සූත්‍ර 4.1.49–50). එබඳු කාලභේද ව්‍යවහාර කළ හැක්කේ මැටි ආදි කාරණයෙහි පෙර නොතුබූ ඝට (කළ) ආදි කාර්‍ය්‍යය අමුතුව ම නිපදවනු ලබන හෙයිනි.
අසත්කාර්‍ය්‍යවාදය යන්නෙහි අර්ථය "අසත් (නැති දෙයකින්) කාර්‍ය්‍යය (සත් දෙයක්) නිපදවයි" යන අර්ථය නොවෙයි. "අසත් (කාරණයෙහි පෙර නොතුබූ) කාර්‍ය්‍යය (අමුතුව ම) නිපදවයි" යන අර්ථයයි. “කාර්‍ය්‍යය කාරණය තුළ පෙර සිට ම පවතියි" යන මතයට සත්කාර්‍ය්‍යවාදයයි ව්‍යවහාර කරන්නාක් මෙන් ම “උපාදාන කාරණ සහාය කරගෙන පෙර නොතුබූ කාර්‍ය්‍යයක් නිපදවයි" යන මතයට අසත්කාර්‍ය්‍යවාදය යයි ව්‍යවහාර කරනු ලැබෙයි. අසත්කාර්‍ය්‍යවාදයට පටහැණිව සත්කාර්‍ය්‍යවාදය ගතුවන් නඟන චෝදනා ගැන “සත්කාර්‍ය්‍යවාදය" බලනු.
(සංස්කරණය: 1965)