අසදිසදා කව
(අසදෘශජාතක කාව්‍යය). සෙංකඩගලපුර රජ පැමිණි ශ්‍රී රාජාධිරාජසිංහ මහරජාණන් විසින් රචනා කරන ලද කාව්‍ය ග්‍රන්ථයෙකි. ක්‍රි.ව. 1780–84 කාලය තුළ මෙය ලියන ලදැයි සලකනු ලැබේ. රචනාවට හේතු වූයේ සිය ඇදුරු වූ මොරතොට ධම්මක්ඛන්ධ යතීන්ද්‍රයන්ගේ ආරාධනාවයි. අසදිසජාතකය මෙහි කථාශරීරය වෙයි. මේ කවියා ස්වකීය රචනය සඳහා මේ ජාතකය ම තෝරාගන්නා ලදුයේ සිය ඇදුරු වූ මොරතොට හිමියන්ට උපාලි තෙරුන් විසින් "අස දිසො භික්ඛු"යි ප්‍රශංසා පිණිස කී වචනය ඇසුරු කොට යයි සලකති.
බඹදත් රජුට පුත්ව උපන් මහබෝසත් තෙමේ සියලු ශිල්පයෙහි කෙළ පැමිණ 'අසදිස' කුමර යැයි වෙසෙමින් තමහට පත් රජය මල්හට දී වසකට ලක්ෂයක් වැටුප් ලබමින් අනෙක් රජක්හට උපස්ථාන කොට වෙසෙයි. උයන් කෙළියට ගිය ඒ රජතෙමේ අඹ ගසක් මුදුනෙහි අඹකැනක් දැක එය ඊතලයෙන් විද දෙව යි අසදිසකුමරුට කීය. හෙතෙම දුටුවන් විස්මය පත් කෙරෙමින් බස්නා ඊතලයෙන් විද අඹකැන ද ඊතලය ද දෑතින් ගත. රජ ද මහජනයා ද ඔහුට මහා සම්පත් දුන්හ. පසුව බරණැස් නුවර වටලා ගත් සතුරු රජුන් පලවා හැර තෙමේ තපෝවනයට වැද සමවත් උපදවා බඹලොව උපනි. මේ එහි කථාසාරයයි.
මේ කාව්‍යයෙහි සෙංකඩගලපුර, දළදාහිමි, මල්වතුවෙහෙර හා මොරතොට හිමි ද වර්ණනා කෙරෙයි. බුද්ධ චරිතය ද දැක්වූ මෙහි වන වර්ණනා, මාර්ග වර්ණනා ආදි කාව්‍යාංග ද ඇතුළත් වේ.
(සංස්කරණය: 1965)