අසදෘශමහාදානය
රජකු විසින් මුත් අනෙකක්හු විසින් නොදිය හැකි, එක් බුදුකෙනකුන්ට එක් වරක් ම ලැබෙන, කිසිදු දාන වස්තුවකින් අනූන වූ, එහෙයින් ම අන් සියලු දාන පරිත්‍යාගයන්ට අසමාන වූ මහාදානයෙකි. මේ අසදෘශමහාදානය සැවැත් නුවර දී කොසොල් රජු විසින් තුදුස් කෙළක් ධනය වියදම් කොට මල්ලිකා දේවියගේ සංවිධානයෙන් නුවර වැසියන්ගේ සියලු දානපරිත්‍යාගයන් පරදවා බුදුපාමොක් පන්සියයක් මහරහතුන් විෂයෙහි දෙන ලද්දේය.
දිනෙක බුදුහු දඹදිව සැරිසරා පන්සියයක් භික්ෂූන් සමග දෙව්රමට වැඩියහ. කොසොල් රජ වෙහෙරට ගොස් බුදුන්ට ආරාධනා කොට දෙවන දවස් දන් සරසා "අපගේ දන් බලන්නට අව මැනවැ" යි නුවර වැසියන්ට දන්වා යැවීය. නාගරිකයෝ අවුත් රජුගේ දානය දැක පසුදිනට ආරාධනා කොට රජ්ජුරුවන් දුන් දනට වඩාලා දන් සරසා "රජ්ජුරුවන්වහන්සේ අපගේ දනත් බලන්නට වැඩිය මැනවැ" යි දන්වා යැවූහ. රජ නාගරිකයන්ගේ දන් බලා "මොහු නොරජ ව රජ වූ මාගේ දනට වඩාපූහ" යි තුන්වැනි දවසේ නුවරුන් පරයා දන් සැරැසීය. මෙසේ රජු හා නුවරුන් හා ඔවුනොවුන් පරයා දන් දෙන්නාහු සවන දවස් නාගරිකයෝ සියල්ලෙන් අනූන වූ මහාදනක් සැරසූහ. එය රජුගේ දනට වඩා සියක් ලෙසින් දහස් ලෙසින් මහත් විය. රජ "මම මුන්ගේ දනට වඩාලා නොදියැහුණුයෙම් නම් ජීවත්වීමෙන් කම් නැතැ" යි සිතා කණස්සලු වැ යහනෙහි වැදහොත්තේය.
මල්ලිකා දේවී එපවත් දැන "මහරජාණනි, නුවරවැස්සන් කෙතෙක් දෙන එකතුවත් රජ කෙනකුන් පරදවාපූ තැනෙක් නැත; නුඹ වහන්සේගේ විධානයෙන් නුවරුන්ගේ දනට වඩාලිය නොහැකි නම් ඒ දන් මම විධාන කෙරෙමී" කියා රජ කෙනකුන් විනා අන් කිසිවක්හු විසින් නොකටහැකි නියායෙන් අසදිසදන් තුමූ ම විධාන කළහ. සත්වන දවස් බුදුපාමොක් පන්සියයක් දෙනාවහන්සේට තුදුස් කෙළක් ධන විසඳා මහදන් දුන්හ. නැවත මේතරම් දනක් දී ලියහෙන කෙනෙක් නැත. එහෙයින් මේ දනට අසදෘශ දාන යයි කියති. එක් බුදුකෙනකුන්වහන්සේට මෙබඳු දන් එකක් ම වෙයි. කවර බුදුකෙනකුන්වහන්සේටත් මේ දන ඇත් ම ය. එය විධාන කළෝත් ගෑනු කෙනෙක් ම ය.
ධම්මපදට්ඨකථා, පූජාවලී, සද්ධර්මරත්නාවලි ආදි ග්‍රන්ථයන්හි මේ පිළිබඳ විස්තර සඳහන් වේ.
(සංස්කරණය: 1965)