අස්ත දිශා
හිරුගේ රාශ්‍යන්තර ගමන අනුව ඇතිවන්නකි. සර්වතෝභද්‍ර චක්‍රයෙහි (සර්වතෝභද්‍ර චක්‍රය බ.) වෘෂභ, මිථුන, කටක යන රාශි තුන පෙරදිගට ද සිංහ, කන්‍යා, තුලා යන රාශි තුන දකුණට ද වෘශ්චික, ධනු, මකර යන රාශි තුන බටහිරට ද කුම්භ, මීන, මේෂ යන රාශි තුන උතුරට ද ඇතුළත් කර තිබේ. සූර්යයා ගමන් කරන රාශිය මෙකී යම් දිශාවකට හිමි වේ නම් ඒ දිශාව තුන්මාසයක් ගත වන තුරු අස්තව පවතී. කලින් කල මෙසේ අස්ත වන දිශා අස්ත දිශා නම් වේ.
සර්වතෝභද්‍ර චක්‍රයෙහි ඊශාන, ගිනිකොන, නිරිත, වයඹ යන අනුදිශාවන්හි පිහිටා ඇති ස්වරයෝ පිළිවෙළින් නැගෙනහිර, දකුණ, බස්නාහිර, උතුර යන ප්‍රධාන දිශාවන් හා සම්බන්ධයහ. මින් යම් දිශාවක් අස්තව පවතී නම් ඒ දිශාවට සම්බන්ධ ස්වරයෝද අස්තව පවතිත්. මෙසේ අස්ත වන්නේ ස්වර පමණක් නොවේ. නක්ෂත්‍ර, වර්ණ, රාශි, තිථි හා දිශා ද අස්ත වෙයි. ස්වරය අස්ත වූ කල ශෝක ද නක්ෂත්‍රය අස්ත වූ කල රෝග ද වර්ණය අස්ත වූ කල හානි ද රාශිය අස්ත වූ කල විස්න (බාධා) ද තිථිය අස්ත වූ කල භය ද නක්ෂත්‍රාදි පඤ්චකය ම අස්ත වූ කල මරණය ද වන බවත් ජන්මනක්ෂත්‍රාදිය අස්තව ඇති මනුෂ්‍යයා අස්තදිශාභිමුඛව යාත්‍රා, යුද්ධ, විවාද ආදිය පිණිස නික්ම නොයායුතු බවත් සඳහන් වේ. ජන්මනක්ෂත්‍රාදිය අස්ත ව පවත්නා කල්හි කිසි ම ශුභාශුභ කර්මාන්තයක් ආරම්භ නොකළ යුතු බව ද කවියුද්ධ (කූටෝපායයෙන් කරන යුද්ධ), කෝටයුද්ධ (බලකොටුවල සිට කරන යුද්ධ), ද්වන්ද්ව යුද්ධ, චතුරංග යුද්ධ හා මහා සංග්‍රාම ජය ගනු කැමැත්තේ අස්තයට පැමිණි ස්වරවර්ණාදිය ඇති භටයන් නොයෙදිය යුතු බව ද ප්‍රකාශ වේ. ස්වරවර්ණාදීන්ගේ අස්තය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන සිටීම ඉෂ්ටානිෂ්ට කාව්‍යකරණය පිණිස ද ප්‍රයෝජනවත් වේ.
(සංස්කරණය: 1965)