අස්ථිමිංජාදාහය
සාමාන්‍යයෙන් රෝගය වැලඳෙන්නේ ළදරුවන්ට හා කුඩා ළමුන්ටය. එහෙත් එය කලාතුරකින් වයස්ථයන්ට ද වැලඳේ. ක්ෂතය (trauma) හෙවත් තුවාළ වීම බොහෝ විට අස්ථිමිංජාදාහයට තුඩු දෙන කරුණකි. ඕනෑ ම පූයජනක (pyogenic) ජීවියකු හේතු කොට ගෙන අස්ථිමිංජාදාහය ඇති විය හැකිය. එහෙත් ආසාදනයන්ගෙන් වැඩි සංඛ්‍යාවකට හේතුභූත කාරක වනුයේ රක්තභඤ්ජක (haemolytic) ස්ටැපිලොකොකුසන් (staphylococci)ය. එතරමට ම නුවූවද ස්ට්‍රෙප්ටොකොකුසයන් මගිනුත් කලාතුරකින් නියුමොකොකුසයන්, හිමොෆයිලුස් ඉන්ෆ්ලුවන්සායි, ගොනොකොකුසයන් හා කෝලියාකාර බැසිලයන් (coliform bacilli) වැනි ජීවීන් මගිනුත් මේ ආසාදනය හටගනී.
තවද අසල තිබෙන මෘදුපටකයන්හි ආසාදනයක් කෙළින් ම පැතිරී යෑමෙන් ද සංයුක්ත භංගයක දී හෝ වෙඩි වැදීමක දී හෝ වන තුවාළ වැනි මෘදු පටක තුවාළයක් නිසා ඊට යටින් පිහිටි සැකිලි පද්ධතිය අනාවරණය වී ඇටය ආසාදිත වීමෙන් ද බැක්ටීරියා ආක්‍රමණය සිදු විය හැකිය. මේ රෝගය ස්ථානීය රිෂ්ටයක් (lesion) හා සම්බන්ධ කොට ගිණිය හැකි ලක්ෂණයන්ගෙන් යුත්ව හදිසියේම උණගැනී හටගන්නා උග්‍ර ජ්වරිත සංස්ථෙමක රෝගයක් වශයෙන් දෘශ්‍යමාන වේ. අස්වාස්ථ්‍යය, උණ, සන්නිය හා ශ්වේත සෛටෝසියාව ද එසේම ගැස්මක ස්වභාවය ඇති සේ බොහෝ විට විස්තර කරනු ලබන උග්‍රතර බවට පැමිණිය හැකි ස්ථානීය වේදනාව ද මේ රෝගයෙන් පෙළෙන ළමයින්ට ඇත. මතුපිටින් තිබෙන පටක රතු වී ඉදිමේ. ඒවා රිදෙනසුලු බවට පැමිණේ. මේ සලකුණු හා ලක්ෂණ රෝගය හැඳින ගැනීමට ප්‍රමාණවත් වුව ද ඇටය විනාශ වී ඇති බව X කිරණ ඡායාරූප මගින් පෙනී ගිය විටය, නිගමනය තහවුරු වනුයේ.
උග්‍ර අවස්ථාවල දී අප්‍රමාද ව ප්‍රතිජෛවක (antibiotic) ඖෂධ නොමඳව ගැනීමට සැලැස්සීමෙන් ආසාදනය නවත්වා ඇටයේ බලවත් විපන්‍යයක් (necrosis) ඇතිවීම වළක්වා ලිය හැකිය. එවැනි ප්‍රතිකාර නිෂ්ඵල වුවහොත් ශල්‍යකර්මයක් කොට සැරව වෑස්සීමට සැලැස්සීම හා කැඩී වෙන්වූ මළ පටක කැබලි ඉවත් කිරීම ද බොහෝ විට අවශ්‍ය වේ. දුර්වල ඇටය ඉබේ ම බිඳීමෙන් හෝ යාබද සන්ධිවලට ආසාදනය පැතිරීමෙන් හෝ රෝගය වැඩී යන ආකාරය සමහර විට ආකුල වේ. ස්ථානීය විනාශයට අතිරේක ව අස්ථිමිංජාදාහය ශරීරයේ වෙනත් පටකවල පූයරක්තක විස්ඵෝට සාදමින් බොහෝ විට ආසාදනය රක්තජ ලෙස පතුරුවා හැරීමට පූයරක්තතාව (pyaemia) හේතුවේ. සමහර විට මේ පූයරක්තක විස්ඵෝට හෘදය කපාටවල සෑදේ. (නි. උග්‍ර බැක්ටීරියා අන්තෝකන්තුදාහය- bacterial endocarditis).
(කර්තෘ: ජී.එච්. කුරේ)
(සංස්කරණය: 1965)