අස්වැන්න

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
2-344.jpg
[අලිසිකාපුස් වජිනාලිස් – Alysicarpus vaginalis (L) Dc.]. ලංකාවේ පාතරට වියළි ප්‍රදේශවල බහුලව දක්නා ලැබෙන කුඩා පැළෑටියකි. ලෝකයේ වෙනත් නිවර්තන ප්‍රදේශ වල ද එය වැවේ. ලෙගුමිනාසේ කුලයෙහි පපිලියොනාසේ උපකුලයට අයත් කුඩා පැළෑටියක් වන මෙය විහිදී යන්නාවූ හෝ ඉහළට නඟින්නාවූ කඳන්වලින් යුක්තය. විහිදෙන අතුවල පහත් කොටස්වලින් නොයෙක් විට මුල් ඇදේ. සමහර අස්වැන්න කොළ ලන්සාකාරය. සමහරක් අණ්ඩාකාරය. උපපත්‍ර (stipules) කොළනටු පමණ දිගය, මඳක් කහ පාටය, කඳ බදාගෙන සිටී. මේවා අප්‍රපතනශීලීය. කොට ඒකාක්ෂවල (racemes) මල් හටගනී. මල් දම් පාටය, අඟල් 1/4 පමණ දිගය, සමනළාකාර ය. දිග රෝම ස්වල්පයක් මණියේ තිබේ. ඵලය අඟල් 1/4 සිට 3/4ක් පමණ දිග පුරුක් කීපයක් සහිත රනිලයකි (legume).

ආයුර්වේද මතය

වනෞෂධයක් වශයෙන් ගාලිපර්ණී (බ.) වෙනුවට ලංකාවෙහි අස්වැන්න පැළෑටිය ගනු ලැබේ. ඊට හේතුව නිඝණ්ඩුවල ශාලිපර්ණී යන්නට අස්වැන්න යයි දී තිබීමයි. සංස්කෘත ග්‍රන්ථවල සඳහන් ශාලිපර්ණි පැළෑටිය ඩෙස්මෝඩියුම් ගන්ගෙටිකුම් (Desmodium gangeticum) යැයි හඳුනාගෙන තිබේ. මේ නියමිත ශාලිපර්ණී වනෞෂධය ලක්දිව කඳුකරයේ දක්නට ලැබේ. එහෙත් ඒ වෙනුවට ලක්දිව දේශීය වෛද්‍යවරයෝ දීර්ඝ කාලයක පටන් අස්වැන්න භාවිත කරති.

ශාලිපර්ණි ගුණ

තිත්තය ; උෂ්ණය; පහසුවෙන් නොදිරවයි; විෂනාශකය; ගැබ විනාශ වන්නට නොදී ආරක්ෂා කරයි ; කාමාග්නිදීපනය කෙරෙයි; කෘමිනාශකය; ශරීරය ස්ථූල කරයි; මලබද්ධය ඇති කරයි; උණ, වාතරෝග, මූත්‍රාබාධ, අර්ශස්, ඉදිමුම්, ඇදුම, ශ්වාසනාල ඉදිමීමෙන් ඇතිවන ආබාධ, තුන් දොස්, පිපාසය, වමනය, අතීසාරය, හා පාර්ශ්වශූල නසයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අස්වැන්න&oldid=4968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි