අස්සජි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අසූ මහසව්වන්ගෙන් ද ප්‍රථම ධර්මදූත මෙහෙයෙහි යෙදුණු රහතන්වහන්සේලාගෙන් ද කෙනෙකුන් වූ අස්සජි තෙරණුවෝ පස්වග මහණුන් (බ.) අතුරෙහි පස්වැන්නා වූහ. බමුණු මහසල් කුලයෙහි උපන් උන්වහන්සේ කොණ්ඩඤ්ඤ බමුණාණන්ගේ ඔවා පරිදි ඔවුන් ද වෙනත් බමුණු දරුවන් තිදෙනකුන් ද හා සමග සිදුහත් බෝසතාණන් අනුව පැවිදි වූවෝය. ඉසිපතන්හි දම්සක් පැවැත්වූ ඇසළ පුනුපොහෝදායින් සතර වන දවස්හි බුදුන්වහන්සේ දුන් අවවාදයෙහි පිහිටා සෝවාන් වූ අස්සජි තෙරණුවෝ ඉන් පසු දින බුදුන්වහන්සේ දෙසූ 'අනත්ත ලක්ඛණ' සූත්‍රය අසා කොණ්ඩඤ්ඤ ආදි සෙසු සතරදෙන හා සමඟ රහත් වූ සේක.

බුදුරදුන් රජගහ නුවරට වැඩම කොට එවකට සැට නමක්ව සිටි රහත් භික්ෂූන් අමතා "බොහෝ දෙනාට හිතසුව පිණිස සැරිසරවු"යි වදාළ අනුශාසනයෙහි පිහිටා රජගහ නුවර සැරිසරන්නට වැඩම කළෝ අස්සජි මහරහතන්වහන්සේය. එහි වැඩම කළ දෙවන දා පිඩු සිඟා වඩින අස්සජි තෙරුන්වහන්සේ දැක උන්වහන්සේගේ ඉරියව්වෙහි පැහැදුණු උපතිස්ස පරිබ්‍රාජකයා (සැරියුත් බ.) එතුමන්ගෙන් ගාථාවක මුල් දෙපදය පමණක් ඇසීමෙන් සෝවාන් ඵලයෙහි පිහිටියේය. ඉක්බිති හේ යහළු කෝලිත පරිබ්‍රාජකයා ද සමග සපිරිවරින් බුදුන් වෙත ගොස් ශ්‍රමණ භූමියට ඇතුළු විය. මෙසේ සැරියුත් මුගලන් දෙනම ශාසනගත කිරීමට මූලික වූ සේක් අස්සජි තෙරුන් වහන්සේය. මේ නිසාම සැරියුත් මහරහතන් වහන්සේ අස්සජි මහා ක්ෂීණාශ්‍රවයන්වහන්සේ කෙරෙහි මහත් ගෞරවයක් ඇතිව සිටියහ. සැරියුත් හිමියන් සැතපෙන්නට සැරසෙන සියලු අවස්ථාවන්හි අස්සජි හිමියන් වැඩ සිටුනා දෙසට දෙපය දිගු වේ දෝ යන සැකයෙන් එහිමියන් කවර දෙසක වෙසෙත් දැයි පිරික්සා බලා උන්වහන්සේ වැඩ වෙසෙතැයි සනිටුහන් කරගත් දෙසට පය නොලන්නට පරිස්සම් වූහ යි සඳහන් වේ.

වාද කරනු සඳහා ප්‍රතිවාදීන් සොය සොයා ඇවිදින සච්චකයාට දිනක් වේසාලියෙහි පිඬු සිඟා වඩින අස්සජි මහරහතන්වහන්සේ හමු වූ සේක. ඔහු බුදුන්ගේ ධර්මය ගැන අස්සජි තෙරුන්ගෙන් ඇසීය. උන්වහන්සේ අනත්තලක්ඛණය පිළිබඳ බුද්ධදේශනාව සැකෙවින් දෙසූ සේක. සච්චකයා ලිච්ඡවීන් ද කැටුව බුදුරදුන් හා වාදයට ගියේ මින් පසුවය.

රජගහ නුවර සමීපයෙහි කස්සපාරාමයෙහි දී බලවත් ලෙස රෝගාතුරව හුන් අස්සජි හිමියන් දක්නට බුදුරජාණන්වහන්සේ වැඩ ධ්‍යානයට සම වදින්නට අවවාද දුන් සේකැ යි සංයුත්ත නිකායයෙහි එයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අස්සජි&oldid=4961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි