අසාෆ් අලි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියානු දේශපාලනඥයෙකි. ඉන්දියානු ජාතික සංගමයේ ප්‍රමුඛ සාමාජිකයෙකි. එරට නිදහස ලැබීමෙන් පසු එක්සත් ජනපදයේ පළමුවැනි ඉන්දියානු තානාපති වශයෙන් පත්ව ගියේ මොහුය.

දිල්ලියෙහි සාන්ත ස්ටීවන් විද්‍යාලයේ අධ්‍යාපනය ලත් මෙතෙම 1912 දී බැරිස්ටර්වරයකු වශයෙන් නීතිඥ වෘත්තියට ඇතුළු විය. පසුව ඉන්දියාවෙහි නිදහස පතා කරගෙන ගිය සහයෝගතා වර්ජනය ව්‍යාපාරයට හා සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරයට එක්වූ මොහුට කිහිපවිටක් ම සිර දඬුවම් විඳීමට සිදුවිය. 1935-1946 දක්වා මධ්‍යම මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් අසුන් ගත් මේතෙම එහි කොංග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කළේය. ඔහු ජාතික සංගමයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙක් ද විය. 1946-47 දක්වා වූ අතුරු ආණ්ඩුවේ ප්‍රවහණ සහ දුම්රිය සේවා කටයුතු පිළිබඳ ඇමති වශයෙන් කටයුතු කළ මොහු එක්සත් ජනපදයේ ඉන්දීයානු තානාපති වශයෙන් පත් වූයේ ඉන් පසුවය. 1948-52 දක්වා ඔරිස්සාහි ආණ්ඩුකාර පදවියෙහි සේවය කළ මෙතෙම අනතුරුව ස්විට්සර්ලන්තයේ ඉන්දීයානු තානාපති වශයෙන් පත්ව ගියේය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසාෆ්_අලි&oldid=4606" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි