අසුභ
ශුභ නොවන නොහොබනා පිළිකුල් වශයෙන් - අයහපත් වශයෙන් — වැටහෙන මළ සිරුර අසුභ නම් වෙයි. මළසිරුරක් පිළිබඳව අශුභ වශයෙන් සිතට අරමුණු වන අවස්ථා දසයකි. අටුවායෙහි දැක්වූ නයින් අශුභකර්මස්ථානයෙහි යෙදෙන යෝගාවචරයා විසින් ඒ ඒ අශුභයන් අරමුණුකොට භාවනා කිරීමෙන් ධ්‍යාන උපදවාගත හැකිය. යළි ධ්‍යානාඞ්ගයන් විදර්ශනා කොට මාර්ගඵල උපදවා ගත හැකි වේ. අශුභයෝ නම් උද්ධුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක, වික්ඛායිතක වික්ඛිත්තක, හතවික්ඛිත්තක, ලෝහිතක, පුළවක, අට්ඨික යන මොහුය. මේ අවිඤ්ඤාණක දස අසුභයන් අතුරෙහි දිවි තොර වීමෙන් පසු ඉදිමීම හේතු කොටගෙන පිපිණු මළ සිරුර "උද්ධුමාත"යැ; උද්ධුමාතය ම හෝ පිළිකුල් බැවින් කුත්සිත වූ උද්ධුමාතය "උද්ධුමාතක" නම් වෙයි. මිශ්‍රව ගිය නිල් පැහැය "විනීල"යැ; පිළිකුල් කටයුතු හෙයින් විනීලක නමි. මස් අධික තැන්හි රත්පැහැ වූ සැරව පිරුණු තැන්හි සුදු පැහැ වූ වැඩි වශයෙන් නිල් පැහැ වූ මළසිරුරට මේ නමකි. බිඳීගිය තැන්හි ගලන සැරව ඇත්තේ "විපුබ්බ"යැ; පිළිකුල් උපදවන හෙයින් එබඳු මළසිරුර "විපුබ්බක" නමි. දෙකඩකොට සිඳින ලද පිළිකුල් උපදවන මළ සිරුර "විච්ඡිද්දක" නම් වෙයි. තැන් තැන්වල නොයෙක් ලෙසින් බලු සිවලුන් විසින් සපන ලද පිළිකුල් කටයුතු මළ සිරුර "වික්ඛායිතක" නම් වෙයි. අත්පාහිස ආදි අවයව වෙන් වෙන් කොට විසුරුවා දමන ලද පිළිකුල් කටයුතු මළසිරුර "වික්ඛිත්තක" නමි. ආයුධයෙන් විවිධාකාරයෙන් කපා විවිධාකාරයෙන් විසුරුවා දමන ලද අත් පා ආදි අවයව ඇති පිළිකුල් කටයුතු මළ සිරුර "හතවික්ඛිත්තක" නමි. තැන්තැන්වලින් ලේ වැගිරෙන ලෙයින් තැවැරී ගිය පිළිකුල් උපදවන මළසිරුර "ලෝහිතක" නම් වෙයි. පණුවන් විසින් ගැවසී ගත් කුණුව ගිය පිළිකුල් කටයුතු මළසිරුර "පුළවක" නමි. ඇටය "අට්ඨික" නම් වෙයි. පිළිකුල් කටයුතු වූ බැවින් ඇටසැකිල්ල හෝ ඇටකැබැල්ලක් ම හෝ "අට්ඨික" නම් වේ. තව ද මේ උද්ධුමාතකාදි අසුභයන් නිසා උපන් නිමිත්ත ද එයින් ලැබූ ධ්‍යාන ද ඒ නමින් ම ව්‍යවහාර කරනු ලැබේ.
ශරීර ස්වභාව වශයෙන් ද රාගචරිතාදීන්ගේ ප්‍රභේද වශයෙන් ද මෙසේ දසඅසුභයක් ම වදාරන ලද්දේය. මළසිරුරක් පිළිකුල් කටයුතු බවට පැමිණෙනුයේ යට කී උද්ධුමාතක විනීලකාදී ස්වභාවයට පැමිණීමෙනි. එහෙයින් අසුභ දසයකි. විශේෂයෙන් රාගචරිතයන් අතුරෙහි කිසිවෙක් සිරුරු සටහනෙහි ඇලෙති. එසේම සිවිපැහැය, ශරීර ගන්ධය, හැසුණු බව, අඟපසඟ ආදී වශයෙන් රාග චරිතයා දස අයුරකින් ශරීරයෙහි රාගය උපදවයි. එබඳු පුද්ගලයන්ගේ වශයෙන් ද අසුභ දසයක් ම විය.
තවද මේ දසඅසුභයෙහි ම අරමුණ දුබල බැවින් විතර්ක බලයෙන් ම සිත එකඟ ව සිටී. එහෙයින් අසුභභාවනාවෙන් ප්‍රථමධ්‍යානය පමණක් ම ඉපදවිය හැකි වෙයි. අසුහාරම්මණය ඉතා පිළිකුල් වුවද “ඒකාන්තයෙන් මේ ප්‍රතිපත්තිය හේතු කොට ගෙන සසර දුකින් මිදෙන්නෙමි"යි අනුසස් දක්නා බැවින් ද නීවරණ සන්තාපය දුරුවන හෙයින් ද ප්‍රීතිය හා සොම්නස උපදී. දසඅසුභය ම අසුචි-දුග්ගන්ධ-පටික්කූලභාවය ලක්ෂණ කොට ඇත්තේය. මළ සිරුරෙහි මෙන් ජීවමානශරීරයෙහි ද මේ අශුභලක්ෂණය පවතී. අලංකාරයෙන් වැසුණු හෙයින් නොපැනෙයි. එහෙයින් නුවණැති යෝගාවචරයා ජීවමානශරීරයෙහි හෝ මෘතශරීරයෙහි අශුභ නිමිත්ත වඩා කර්මස්ථානය අර්පණාවට පමුණුවා ගන්නේය. මෙහි භාවනාක්රමාදිය පිළිබඳ විභාගය විසුද්ධිමග්ගයෙහි අසුභකම්මට්ඨාන නිද්දේ සයෙන් දත යුත්තේයි. (කමටහන් ද බ.)
(සංස්කරණය: 1965)