අ‍ග්‍රේශයෝ (ප්‍රිමාටේස් - Primate)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
C-10.jpg
මෙය ලිනෙයස් (බ.) විසින් අග්‍ර යැයි සලකනු ලැබූ ක්ෂිරපායී සත්ව ගෝත්‍රයයි මේ ග්‍රෝතයට මිනිස් උසස් වානර (apes) වඳුරු, උනහපුළු, ටාසියර, ලිමර ආදි සත්තු අයත් වෙති. අ‍ග්‍රේශයන් හඳුනා ගැනිමේ ලක්ෂණ විවිධ ලෙස දක්වා තිබේ. එහෙත් එම ලක්ෂණ අතුරෙන් අත් පා නියපොතු සහිතවීම, අක්ෂකාස්ථියක් (අකු ඇටයක්) (collar bone) තිබීම, සාමාන්‍යයෙන් සරල ආමාශයක් තිබීම, යටිබාහුවේ තිබෙන අරාස්ථිය (radius) හා අන්වරාස්ථිය (ulna) නැමති අස්ථි දෙක කිසිවිටෙකත් හා නොවීම. අක්ෂි කූපය (orbit of the eye) අස්ථික ආවරණයකින් සම්පූර්ණයෙන් වට වී බොහෝ විට ඉස්සරහට හැරි තිබීම කෘන්තක (incisors) රදනක (canies) පුරශ්චාර්වක (Premolars) සහ චාර්වක (molars) යැයි සතර වර්ගයක දත් තිබීම, කිරි දත් පෙළ යයි ද ඊට පසුව ඇති වන ස්ථිර දත් පෙළ යයි ද යන දත් පෙළවල් දෙකක් ජීවිත කාලය තුළ දී ඇතිවීම මස්තිෂ්කයේ (cerebrum) අපර ඛණ්ඩිකාවක් (posterior lobe) තිබීම, මස්තිෂ්ක
C-11.jpg
අර්ධගෝලවල (cerebral hemispheres) පිට පැත්තෙහි මධ්‍යාක්ෂ හිදැසක් (median fissure) තිබීම, අත්පාවල හරස් අතට තැබිය හැකි මහපටැඟිල්ලක් තිබීම. පපුවෙහි ස්තන ග්‍රන්ථි යුවළක් තිබීම යන කරුණු ප්‍රධානය. බොහෝ ක්ෂීරපායි සතුන්ගේ හම මෙන් අග්‍රේශයන් ගේ හම ද මයිල්වලින් හෝ ලොම්වලින් වැසී ඇත. මේ ලක්ෂණ තනි තනිව ගතහොත් ඒවා මේ ගෝත්‍රයට පමණක් සීමා වී නැති බව පෙනේ. එහෙත් සියලුම ලක්ෂණ එකට සලකා බැලීමෙන් මේ ගෝත්‍රය හඳුනාගත හැකිය. ටුපයියා ආදි ගස් හික්මීයන්ට (හික්මීයා (බ.)) ද ඇතැම් ලීමර ලක්ෂණ තිබේ. මොවුන් ද අග්‍රේශයන් වශයෙන් සැලකිය යුතු යැයි මතයක් තිබෙන බව මෙහි දී සඳහන් කළ යුතුය.
C-12.jpg

අද අග්‍රේශයන් වැඩි වශයෙන් සිටින්නේ නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවලයි. අග්‍රේශ විශේෂ බොහෝ ගණනකගේ ගාත්‍රා ගස්වල වාසයට උචිත පරිදි අනුවර්තනය වී ඇත. උන්ගේ ආහාරය ප්‍රධාන වශයෙන් පලතුරත් ඇට වර්ගත්ය. එහෙත් සමහර අග්‍රේශයෝ කෘමින් ද බිත්තර ද කති. අග්‍රේශයන්ගේ ඉතිහාසය ප්ලයොසීන අවධි ය පටන් නූතනය දක්වායි.

බිම වසන සාමාන්‍ය ක්ෂීරපායින්ගේ මෙන් නොව ගස්වල වලන වඳුරන්ගේ ඇස් පෙනීම ඉවට වඩා තියුණුය. එහෙයින් දෘෂ්ටියට සම්බන්ධ මොළයේ කොටස් බොහෝ විශාලය. බොහෝ විට ඇස් දෙක හිසෙහි ඉදිරිපස තිබිම නිසා ද්විනේත්‍රික (binocular) දෘෂ්ටිය ද ත්‍රිමාන (stereo) දෘෂ්ටිය ද උන්ට තිබේ. සාපේක්ෂව බලන කල වඳුරු මොළය සාමාන්‍ය බිම වසන ක්ෂිර පායින්ගේ මොළයට වඩා විශාලය. සංචලිතය (convoluted) එසේ ම උන්ගේ ශරිරයේ සමබර රැක ගැනීම සහ අතපය මෙහෙයයැවීම පිළිබඳ කොටස් ද විශාලය.

C-13.jpg

ලීමරයන් වැනි ආදිකල්පක අග්‍රේශයන්ගේ හනු සිහින්ය. දිගය. උන්ගේ හොම්බ උල්ය. වඩා දියුණු (වඳුරු) ලක්ෂණ පෙනෙන වඳුරන්ගේ හනු කොටස හොම්බ පළල්ය. අග්‍රේශයන්ගේ චාර්වක දත් තුණ්ඩ (cusps) සහිතය. ඔවුන්ගේ නැහැයේ ද තොල්වල ද මිනිස් ලක්ෂණ පෙනේ. ලීමරයන් හැර සියලු අග්‍රේශයන්ගේ කුඩා පැටවුන්ගේ පවා යටි හනුවේ භාග දෙක එකට පැහි ඇත. ලීමරයන්ගේ හැර සෙසු සියලු අග්‍රේශයන්ගේ කලල බන්ධය (placenta) තැටියක් වැනිය. එය ගර්භාශයේ බිත්තියට මනාව සම්බන්ධ වී තිබේ. සාමාන්‍ය යෙන් අග්‍රේශයන් වදන්නේ එක පැටවකු බැගිනි. වර්ගීකරණය : අග්‍රේශේයන්ගේ වර්ගීකරණය පිළීබද තව ම ඒකමතික තීරණයක් නැත. ආදි කෘමි භක්ෂකයන්ගෙන් (Insectivora) භින්න වුණු මොවුහු ඉයෝසිනයේ පටන් ඇති අවුරුදු දශලක්ෂ 50 තුළ දී නැවත නැවතත් ශාඛා ප්‍රශාඛාවලට බෙදී ගොස් සිටිති. දැන් ජීවත් වන්නාවුත් පාෂාණීයධාතු වශයෙන් දන්නාවුන් සියලු අග්‍රේශයෝ සිම්සන් විසින් ගණ 150කට බෙදන ලදහ. මෙයින් තුනෙන් දෙකක් වද වී ගොස්ය. සිම්සන්ට අනුව ප්‍රිමාටේස් ගෝත්‍රයෙහි ප්‍රොසිම් (ආදි වානර) සහ අන්ත්‍රොපොයිඩෙයා (මානවකල්ප) යැයි මහා උප ගෝත්‍ර දෙකකි.

ප්‍රොසමි: ප්‍රොසිමි උප ගෝත්‍රය කෘමි භක්ෂකයන් ගෙන් භින්න වියැයි පෙන්වන ආදි කල්පික ලක්ෂණ ඇත්තේ ය. ප්ලොසීනයේ පටන් පැවත එන මෙම උප ගෝත්‍රික සතුන්ගේ මුහුණ දිගටිය; ඇස් පිහිටා තිබෙන්නේ හිසේ දැලෙහිය; මොළය කුඩාය. මේ උප ගෝත්‍රය ලෙමුරි පෝමේස් ලොරිසි පෝමේස් සහ ටාසි පෝමේස් යැයි තුනකට බෙදා තිබේ.

ලෙමුරිපෝමේස් නමැති බෙදුමට මැඩගස්කර යෙහි වසන ලීමරයා (බ.) ද උගේ පාෂාණිභූත නෑයෝ ද ආයිආයියා (බ.) ද අයත්ය. ගතිගුණවලින් ද පෙනුමෙන් ද උන්ගේ ආදිකල්පික බව ප්‍රකටය. උන්ගේ මස්තිෂ්ක අර්ධගෝල කුඩාය. එය අනුමස් තිෂ්කය (cerebellum) නොවසා සිටි. කෘමි භක්ෂකයන්ට තිබෙනවාට වඩා කුඩා වුවද අනික් අග්‍රේෂයන්ට තිබෙනවාට වඩා ලොකු ආඝ්‍රාණ (olfactory) ප්‍රදේශයක් තිබේ. උන්ට ද්විනේත්‍රික දෘෂ්ටිය නැත. අඩි 3 ක් පමණ දිගට වැඩෙන විශාල ම ලීඹරයා වන ඉන්ඩිරි දෙපයින් ඇවිදීමට ද පිළිවන් සතෙකි.

ප්ලෙයිඅඩපිඩේ යනු ලෙමුපෝමේස් නමැති බෙදුමට අයත් පැරණිතම කුලයයි. ප්ලෙසිඅඩපිස් නොතාක්ටුස් ආදි වද වූ සතුන් කිපදෙනෙක් මේ කුලයට අයත්ය. උතුරු ඇමෙරිකාවේත් යුරෝපයේත් ප්ලයොසීන සහ ඉයෝසීන නිධිවලින් උන්ගේ පාෂාණිධාතු (fossils) ලැබී තිබේ. ලේනකු තරමේ සිට බළලකු තරම් වන තෙක් වැඩුණු උන් කෙරෙහි ගස් හික්මීයන්ගේ ලක්ෂණ ද නූතන ලීමර ලක්ෂණ ද පැවැත්තේය.

ලෙමුරිඩේ කුලය මෑතක දී මැඩගස්කරයට හා ඒ අවට තිබෙන කුඩා දුපත්වලට පමණක් සිමා වී තිබේ. මෙයට ලීමරයෝ අයත්ය. ලීමරයෝ අතු උඩ දුවන පනින සත්තුය. උන්ගේ අත්පා අතු බැඳීමට යෝග්‍යය. ඔවුහු ශාක ද්‍රව්‍ය ද කෘමින් ද කන්නාහ. ලීමර විශේෂ කිපයක් සිටිති. එයින් ඉන්ඩ්රි හැර සෙසු සාමාන්‍ය ලීමරයෝ නිශාචර (nocturnal) ය. මික්‍රොසේබුස් කොකුවරෙලි නමැති ලීමරයා දවල් කාලය ගත කිරීමට ගස් උඩ ඉපල්වලින් කූඩුවක් තනා ගන්නා බැව් කියති.

ආයිආයියා (බ.) (ඩෝබෙන්ටෝනියා මඩගල් කරියෙන්සිස්) පුදුම සතෙකි. ඌට රදනක දත් නැත. උගේ හක්කේ දත්වල මස්තක පැතලිය. උගේ වඩාත් වැදගත් ලක්ෂණය නම් නොකඩවා වැඩෙන්නාවූ ද පිටපැත්තෙහි පමණක් ඉනැමල් ඇත්තාවු ද කෘන්තක දත්ය. කෘන්තකයන්ගේ (rodent) වැනි වූ මේ දත් ඌ ලැටිගෑමට භාවිත කරයි. උගේ අතෙහි තුන් වැනි ඇඟිල්ල ඉතා දිග සිහින් එකකි. කඳන් ඇතුළෙහි වසන පණුවන් ඇදගැනීමට එය භාවිත කරතැයි කියති.

ලොරිසිපෝමේස් නමැති බෙදුමට මැඩගස්කරයෙන්ජීවත්වන උනහපුළුවා (බ.) ගලාගෝ සහ පෙරොඩිස්ටිකුස් යන සත්තු අයත්ය. මොවුහු ද තරමක් දුරට ලීමරයන් වැනියහ. මොවුන්ගේ පෘෂාණීධාතු ලැබෙන්නේ ප්ලයොසීන යුගයේ පටන් පමණකි. උනහපුළුවෝ ලංකාවෙහි ද දකුණු ඉන්දියාවෙහි ද සිටිත්.

ටාසිපෝමේස් නමැති බෙදුමට ටාසියරයා (බ.) උගේ වඳ වුණු නෑයෝ ද අයත්ය. මොවුහු කෘමි භක්ෂකයන්ගේ ද ලීමරයන්ගේ ද ලක්ෂණ පෙන්වමින් ඒ අතර ම බොහෝ දුරට මානව කල්පයින්ට (anthropodia) අනුරූප ගතියක් ද පෙන්වති. නොයෙක් විශේෂ වූ ලක්ෂණ තිබීම නිසා උන්ගෙන් කෙළින් ම උසස් වානරයන් පහළ වූහයි යන මතය නිවැරදි යයි ගැනීම උගහටය. මෙය ප්‍රධාන පරිණාමයේ පුරාණ අත්තකැයි සැලකීම යුක්තියුක්තය.

ටාසියර හිස ලීමර හිසකට වඩා වඳුරු හිසකට සමානය. හොම්බ කොටය. නහයේ සංචලිත (turbinal) අස්ථි දුර්වලය. උඩු තොල පැලී නැත. බොහෝ ක්ෂීපාරයීන්ට ද ලීමරයන්ට තිබෙන්නාක් වැනි තෙත නාස් තුඩක් ද නැත. නාසයේ ස්පර්ශක ශක්තිය මෙසේ හීන වී ගියේ ස්පර්ශය සඳහා අත යොදාගැනීමට පුරුදු වූ නිසායයි සිතිය හැකිය. උගේ ඇස් බොහෝ විශාලය. රෑ කාලයෙහි පමණක් පෙනීමේ ශක්තිය ඇත. එහි තිබෙන්නේ දෘෂ්ටි යෂ්ටි (rods) පමණකි.

දැන් ටාසියරයන් සිටින්නේ සුමාත්‍රා බෝර්නියො සෙලිබිස් සාංගිර් දුපත් හා පිලිපයින් යන රටවලය. උන්ගේ පාෂාණිධාතු ප්‍රංසයේ ප්ලයෝසීන සහ ඉයෝසීන නිධිවලින් ලැබී තිබේ. ටාසියරයාගේ කකුල් දිගය. ඌට ඈත පැනීමට පිළිවන. ව්‍යුහය අනුව ටාසියරයා එක් අතකින් ගස් හික්මීයන්ට හා ලීමරයන්ටත් අනික් අතින් වඳුරන්ට උසස් වානරයන්ට හා මිනිසාටත් අතරෙහි ලා ගිණිය හැකිය.

අන්ත්‍රොපොයිඩෙයා: උසස් අග්‍රේශයන් අන්තර්ගත මේ උපගෝත්‍රය ප්ලට්රිනා සහ කටරිනා යැයි කොටස් දෙකකට බෙදා තිබේ. ප්ලටරිනා නම් කොටස ඇමරිකානු වඳුරන්ගෙන් සමන්විතය. පුරාණ ලෝකයේ වඳුරෝ ද උසස් වානරයෝ ද මිනිසා ද කටරිනා කොටසට අයත්ය.

ප්ලයොසීනයේ දී ලීමරයන් උනහපුළුවන් හා ටාසියරයන් අන්තර්ගත ප්‍රොසිමි උපගෝත්‍රෙයන් ඉයොසීනයේ දී මානවකල්පයන් (අන්ත්‍රොපොයිඩෙයා) ඇති වූ බවත් ඒ මුල් කාලවල දී ම මේ ශාඛාව අලුත් ලෝක වඳුරන් ද පුරාණ ලෝක වඳුරන් හා උසස් වානරයන් ද බවට බෙදෙන්ට ඇතැයි කියාත් සිතනු ලැබේ.

මේ උපගෝත්‍රය ඉතා සාර්ථක එකකි. මෙහි ගණ 66ක් ඇති බව සිම්සන් පෙන්වා දී තිබේ. ඉන් වඳ වී තිබෙන්නේ 30ක් පමණකි. මේ උපගෝත්‍රයේ පාෂාණිය ධාතු ඔලිගොසින අවධියේ පටන් පෙනේ. ඔවුහු සමූහවාසිය දිවාචරය.

C-14.jpg

ප්ලට්රිනා: මේ වඳුරන්ගේ නාසයේ ආවාරය පැතලිය, පළල්ය. උන්ට පුරශ්චාර්වක දත් තුනක් තිබේ. ආහාර තබාගැනීමට කපෝල කෝෂ්ඨයක් (cheek pouch) නැත. කනෙහි මැද විශාල වළල්ලක් වැනි කර්ණ පටහ අස්ථියක් (tympanic bone) තිබේ. සට්ටම් ගැට (ischial callosities) නැත. සමහරකුගේ වලිගය පරිග්‍රාහිය (prehensile) මෙය අනිත් අග්‍රේශයන්ට නැති ලක්ෂණයකි. දකුණු ඇමරිකාවට දැන් සීමා වී සිටින ප්ලටිරිනා වඳුරෝ කලිත්‍රිසිඩේ සහ සෙබිඩේ යයි කුල දෙකකට බෙදා තිබේ. කලිත්‍රිසිඩේ කුලයට ඉතා ම ආදිකල්පිත වඳුරෝ අයිතිවෙත්. ඔවුන්ට පැතලි නියපොතු තිබෙන්නේ පයෙහි මහපටැඟිල්ලේ පමණකි. උන්ගේ වලිගය අපරිග්‍රාහිය. ඔවුහු ගස් නැගීමට සමත්තුය. කෑම අල්ලා ගැනීමට අත යොදා ගනිතත් ඔවුහු අතින් එපමණ වැඩ නොගනිත් සමහරු ලේනුන්ට වඩා කුඩාය. මාමොසෙට් (බ.) මීට නිදසුනකි.

සෙබිඩේ කුලයේ විශේෂ ලක්ෂණයක් නම් ඇතැමුන්ගේ වලිගය පරිග්‍රාහවීමයි. (නි. මකුළු වඳුරා බ.) ඔවුහු අතු වෙළාගැනීමට ද ගවේෂණයට ද අතක් මෙන් වලිගය යොදති. උන්ගේ අතපය සිහින්ය. දිගය. උන්ට අත්තෙන් අත්තට පැද්දී පැනීමට පිළිවන. විශාල ම ඇමෙරිකානු වඳුරා වනාහි වලිගයක් සමග ගත් විට අඟල් 40ක් පමණ දිගට වැඩෙන්නාවු හු වදුරා (බ.) ය. මේ වදුරා හු කීමට ඉතා ප්‍රසිද්ධය. ඒ හූව හැතැප්ම කීපයක් ඈතට ඇසේ. උගේ ද වලිගය පරිග්‍රාහිය. මේ කුලයට අයත් අපුචින් වදුරා ද ඉතා ප්‍රසිද්ධ එකෙකි. උගේ වලිගය තරමක් දුරට පරිග්‍රාහීය.

කටරිනා: ඇමෙරිකාවෙන් පිට ලෝකයෙහි හෙවත් පුරාණ ලෝකයෙහි වසන සියලු වඳුරෝ ද උසස් වානරයෝ ද මිනිසා ද මීට අයත්ය. උන්ගේ නාස්පුට පාතට නැමී තිබේ. එහි ආචාරය පටුය. කටරිනා කොටස ඔලිගොසීන අවධියේ පටන් දන්නා එකකි. එහි කුල හතරකි.

පරපිතෙසිඩේ නමැති පළමු වැනි කුලය වඳ වූ එකකි. ඊට අප්‍රිකාවේ වාසය කළ පරපිතෙකුස් අයත්ය. උසස් වානරයන් සහ මිනිසා පහළ වූයේ සමහර විට මෙවැනි සතකුගෙන් වීමට පිළිවනැයි කියති.

සෙර්තොපිතෙසිඩේ කුලයට රිළවා (බ.) වඳුරා, බැබුන් (බ.) සහ මරන්ඩ්රිල් (බ.) අයත් ය. මොවුන්ට පුරාණ ලෝක වඳුරෝ යැයි කියති. ලොම් රහිත ඝන වූ සට්ටම් ගැට උන්ට තිබේ. ආහාර තබා ගැනීමට උන්ට බොහෝවිට කපෝල කෝෂ්ඨ ඇත. බොහෝවිට මොවුන්ට සංකීර්ණ ස්වරාල කෝෂයක් (laryngeal sack) තිබේ. කනෙහි අස්ථිමය කර්ණ පටහනාලයක් (tympanic tube) ද වෙයි. වලිගයක් ඇතහොත් එය කිසි විටෙකත් පරිග්‍රාහි නොවේ. මොවුහු සර්වභක්ෂකය (omnivorous) සමහර විශේෂවල ආහාරය පලතුරු පමණකි. ඉන්දියාවෙහි සිටින රිළා විශේෂයක් ජලාශයන්හි අද්දර සිටින කකුළුවන් ආදි කවවධරයන් (crustanceans) පමණක් කයි. සෙර්කොපිතෙසිඩයන්ගේ චාර්වක දත් චතුරස්‍රාකාරය: ඇඹරීමට හරස් දැති භාවිත කළ හැකි පරිදි තුණ්ඩ ඒකාබද්ධ වී තිබේ. චාර්වක දත්වල මේ විශේෂ ලක්ෂණයෙන් පෙන්නනක් නම් අද සිටින සෙර්කොපිතෙයිඩයන් උසස් වානර යන්ගේ හෝ මිනිසාගේ මුත්තන් වීමට ඉඩ නැති බවයි. උන්ගේ මහාන්ත්‍රකයේ (colon) බොහෝ විට සිග්මාකාර (sigmoid) නැම්මක් තිබේ. කුඩා උණ්ඩුකයක් (caecum) ද තිබේ. ප්‍රජනනය මිනිසාගේ හා උසස් වානරයන්ගේ වැනිය.

C-15.jpg

පොන්ගිඩේ කුලයට ගිබන් (බ.) ඔරංඔටන් (බ.) චිම්පන්සියා (බ.) සහ ගොරිල්ලා (බ.) යන උසස් වානරයෝ අයත් වෙති. මීට අයත් පාෂාණිභූත සතුන් ගණනක් ද ඔලිගොසීන නිධිවලින් සොයා ගෙන තිබේ. මිනිසා හා උසස් වානරයන් පහළ වූයේ එක ම පුරාණ මුලකින් විය හැකිය. දත් විභාග කිරිමෙන් ද ගමන් කරන ක්‍රමය සලකා බැලීමෙන් ද උසස් වානරයන් සෙර්කෝපිතෙයි ඩයන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට පිළිවන. මොවුන්ට වලිගයක් නැත. පළල් වූ පපුවක් ද දිග කරක් ද දිග අතපය ද විශාල හිසක් ද තිබීම නිසා සියලු උසස් වානරයෝත් මිනිසාත් සෙර්කොපි තෙසිඩයන්ගෙන් වෙනස් වෙති. මොවුන් අතුරින් වඩා ම ආදි කල්පිකයා ගිබන්ය. එහෙයින් එක් අතකින් බලන විට මිනිසාගේ ළඟ ම නෑයාත් ඌය. උන් ගස්වල ගමන් කරන විට වඳුරන් මෙන් හතර ගාතයෙන් යෑමක් නැත. උන් ගමන් කරන්නේ දැතින් අතුවල එල්ලී අතින් අත මාරු කරමිනි. මෙසේ යන අතර කෑම ගෙන යෑමට ගිබනයෝ උන්ගේ පා උපයෝගි කරගනියි. බිම කෙළින් ඉඳගැනීමට ද දෙපයින් කෙළින් බිම ඇවිදීමට ද ගිබනයන්ට පිළිවන. උන්ට ද වඳුරන්ට මෙන් සට්ටම් ගැන තිබේ. එහෙත් පැතලි උරෝස්ථියක් ද උණ්ඩුකපුච්ඡයක් (appendix) ද තිබීමෙන් ඌ වඳුරන්ගෙන් වෙනස් වී සෙසු උසස් වානරයන්ට ද මිනිසාට ද සමාන වේ. ගිබන් විශේෂ කිහිපයකි.

ඔරංඋටනය ගස්වල ජීවත් වීමට විශේෂයෙන් හැඩගැසුණු සතෙකි. ගොරිල්ලා එක්තරා ප්‍රමාණය කට බිම ඇවිදින්නෙකි. චිම්පන්සියා මේ දෙවර්ගයට අතරතුර සතෙකි. උගේ අත් දිගය. කකුල් කොටය. හතර ගාතයෙන් යන විට අතැඟිලිවල පිට පැත්ත බිම තබයි. ඌට සට්ටම් ගැට හෝ කපෝල කෝෂ්ඨ නැත. මේ උසස් වානරයෝ ව්‍යුහය අතින් ද කායික ක්‍රියාවල් අතින් ද නොයෙක් අයුරින් මිනිසාට සමානකම් පෙන්වති. උසස් වානරයන් අතුරෙන් මිනිස් ලක්ෂණ අඩුවෙන්ම ඇත්තේ ඔරංඋටන් කෙරෙහිය. (මානවකල්ප වානරයෝ බ.)

හොමිනිඩේ කුලයට අද ජීවත් වන සියලුම මිනිස් ජාතීහු අයත්ය. මේ කුලය ප්ලයිස්ටොසීන යුගයේ සිට පැවතෙයි. ජාවා මිනිහා, පීකිං මිනිහා ආදීහු ද මේ කුලයට අයත්ය. (මිනිහා බ.)

(සංස්කරණය:1963)