ආක්ටික් ප්‍රදේශය
'මහා වලහා' තාරකාවලියෙහි ආක්ට්‍යුරස් නම් වූ තරුව සලකා මේ ප්‍රදේශයට 'ආක්ටික්' යැයි නම්කර තිබේ. උත්තර ධ්‍රැවය වටා, සාමාන්‍යයෙන් ආක්ටික් වෘත්තයට (බ.) උතුරින් පිහිටියා වූ ගොඩබිම් හා ආක්ටික් සාගරය (බ.) මෙම භූගෝලීය පෙදෙසට ඇතුළත්ය. අවුරුද්දකට එක් සම්පූර්ණ දිනක් හෝ ඊට වැඩි කාලයක් හිරු නොබැස පවත්නා සීමාව ආක්ටික් වෘත්තයෙන් ලකුණු වී ඇති නමුත් එය ආක්ටික් ප්‍රදේශයෙහි නියම දක්ෂිණ සීමාව සේ සැලකිය නොහැක. දළ වශයෙන් උත්තරාර්ධගෝලයෙහි රුක් ඉම (බ.) (tree line) ආශ්‍රිතව වැටෙන පැ. 50° ග්‍රීෂ්ම උෂ්ණත්ව රේඛාව ආක්ටික් ප්‍රදේශයේ දක්ෂිණ සීමාව වශයෙන් යෙදීම වඩාත් විද්‍යාත්මක වේ. මේ අනුව ග්‍රීන්ලන්තය, ස්වාල්බාඩ්, ෆ්‍රාන්ට්ස් ජෝසෆ්ලන්තය හා සෙසු ආක්ටික් සාගරික දූපත් ද උතුරු ෆින්ලන්තය, සෝවියට් දේශයේ ආක්ටික් වෙරළ හා උතුරු ඇමෙරිකානු ආක්ටික් වෙරළ ද ආක්ටික් ප්‍රදේශයට ඇතුළත් වන ප්‍රධාන ගොඩබිම්ය. ආක්ටික් සාගරය (බ.) හා ඒ ආශ්‍රිත බෙම්ෆට් මුහුද, ලින්කන් මුහුද, බැෆින් බොක්ක, බැරන්ට්ස් මුහුද, කාරා මුහුද, ලප්ත්‍යෙෆ් මුහුද, නැගෙනහිර සයිබීරියානු මුහුද යන සාගරික කැබැලි ද මෙම භූගෝලීය ප්‍රදේශයට අයත්ය.
අවුරුද්දෙන් වැඩි කාලයක් තිස්සේ හිම තට්ටුවකින් වැසී ඇති හෙයින් ආක්ටික් බිම් පෙදෙස් විද්‍යාත්මක පරීක්ෂණයන්ට භාජන කිරීම දුෂ්කරය.
මෙතෙක් පවත්වා ඇති භූවිද්‍යාත්මක පරීක්ෂණයන්ගෙන් හෙළි වී ඇති අන්දමට දැනට පවත්නා ආක්ටික් කොදිව් හා ඊට දකුණෙන් පිහිටි මහාද්වීපික පෙදෙස් කිසියම් කාලයක දී එකට යාව පැවැති ගොඩබිමක කොටස්ය. මෙම පෙදෙස් ආශ්‍රිතව පවත්නා පාෂාණ ඉපැරණිය. ඉන් කැනේඩියානු ආක්ටික් පෙදෙස්වල ඇති ආකීය පාෂාණ ප්‍රධාන වන අතර, යුරෝපීය හා ආසියාතික ආක්ටික් පෙදෙස්වල පේලියොසික යුගයේ හා ඊට පශ්චිම වූ යුගයන්හි පාෂාණ බහුල බව විද්‍යාත්මක පරීක්ෂණයන්හි ප්‍රතිඵලවලින් ප්‍රත්‍යක්ෂ විය. දැනට මේ පෙදෙස්වල යමහල් (ගිනිකඳු) දුලබ වුව ද ආක්ටික් කොදිව් බොහොමයක පවත්නා තෘතීයික බැසෝල්ට් පාෂාණයෙන් හෙළි වනුයේ කිසියම් කලෙක ගිනිකඳු පිපිරීම් හෝ ඊට සමාන භූවිද්‍යාත්මක සංසිද්ධීන් මේ පෙදෙස්වල සිදු වී ඇති බවයි. ස්පිට්ස්බර්ගන් ආදි සමහර දූපත්වල දැනුදු උණුදිය උල්පත් ඇත. ආක්ටික් පෙදෙස්වලින් වැඩි කොටස සදාකාල හිම තට්ටුවකට යටවී පවත්නේ ප්ලයිස්ටොසීන යුගයේ පටන් යැයි කිව හැකිය. ග්‍රීන්ලන්තයේත් එස්මියර්, බැෆින්, ඩෙවන්, ස්පිට්ස්බර්ගන්, නෝවායා සෙම්ලියා හා ෆ්‍රාන්ට්ස් ජෝසෆ්ලන්තය යන කොදිව්වලත් සදාකල් පවත්නා හිම තට්ටු ඇත.
නිරතුරුව ම අධික ශීතලට හා දැඩි හිමඛාදනයට භාජන වන හෙයින් ආක්ටික් පෙදෙස්වල භූවිෂමතාව ද විවිධය. ග්‍රීන්ලන්තයේත් බැෆින්ලන්තයේ හා උතුරු එල්ස්මියර් දූපත්වලත් ඊසාන දිග සයිබීරියානු පෙදෙස්හිත් උසින් අඩි 10,000 පවා ඉක්මවන ශිඛර සහිත කඳු තිබේ. යුරෝපීය බෝල්ටික් පලිහ, ආසියාතික අංගාරා පලිහ සහ උතුරු ඇමෙරිකානු කැනේඩියානු පලිහ යන පෙදෙස් අධික හිමඛාදනය නිසා ම සානු හෝ සමබිම් බවට පත්ව ඇත. විශේෂයෙන් ම උතුරු කැනේඩියානු පෙදෙස් හා බෝල්ටික් ප්‍රදේශ දැඩි හිමඛාදනය නිසා ඇති වූ විල්වලින් ගහනය. මේ පෙදෙස් ආශ්‍රිත සාගරික වෙරළවල් ද ෆියොඩ් හෙවත් පටු ගැඹුරු බොකුවලින් යුක්ත බැවින් අතිශයින් කඩතොලු සහිතය. යුරෝපා-ආසියාතික ආක්ටික් ප්‍රදේශයේ වැඩි කොටස බොහෝ සෙයින් හිමඛාදනයට භාජන වී ඇති පහත් තැනිතලා බිම් ගණයට වැටේ. ආක්ටික් වෙරළ ආශ්‍රිත පෙදෙස්වල දියළු පස් තැන්පත්වීම නිසා ඇති වූ කුඩා තැනිතලා බිම් ද ඇත. නොගැඹුරු, පටු මුහුදු තීරයක් නිසා මහාද්වීපයෙන් වෙන්ව පවත්නා නව සයිබීරියානු දූපත් ද මහාද්වීපික ආක්ටික් තැනිතලාවෙහි ම කොටස්ය.
ආක්ටික් ප්‍රදේශයට අයත් වන මහාද්වීපික පෙදෙස් උතුරු දෙසට ම බෑවුම් වී ඇති හෙයින් එදෙසට ගලන ගංගා ද බොහෝය. ලෝකයේ ඉතා ම දිග ගංගා දහයෙන් හතරක් වන ඕබ්, යැනිසි, ලීනා හා මැකෙන්සි යන ගංගාවන්හි පහළ මිටියාවත් හා මෝයවල් ආක්ටික් වෘත්තය ආශ්‍රිතව ම පිහිටා ඇත. භූගෝලීය පිහිටීම නිසා ආක්ටික් පෙදෙස ඔස්සේ උතුරට ගලන ගංගාවන්ගේ මෝයවල් දිය මිදී ඇහිරී පැවැතීම හේතුකොටගෙන එම ගංගාවන්හි පහළ හා මධ්‍ය නිම්න ආශ්‍රිත පෙදෙස් ජලගැලීම්වලට භාජන වේ. මෙම ගංගා නිම්න ආශ්‍රිත පෙදෙස් සංවර්ධනය කිරීමේ දී මුහුණපෑමට සිදුවන ප්‍රධාන බාධකය මේ දිය මිදීමයි.
ඉහත සඳහන් පරිදි ආක්ටික් පෙදෙස්වල හිම ඛාදනය නිසා ඇති වූ විල් බහුලය. කැනඩාවේ ග්‍රේට් බෙයාර්, ග්‍රේට් ස්ලේව් යන විල් ද බැෆින් දූවේ නෙට්ලින් හා අමාඩ්ජුවාන් යන විල් ද සයිබීරියාවේ ලඩෝගා හා ටයිමිර් යන විල් ද විශාලතම ඒවාය. මේ හැර බෝල්ටික් ඇලස්කා හා කැනේඩියානු ආක්ටික් දේශයන්හි හිම ඛාදනය නිසා ඇති වූ විල් දහස් ගණන් ඇත.
පටුන
[සඟවන්න]දේශගුණය
ගොඩබිම්වල දේශගුණය සාගරික බලපෑම අනුව විශේෂත්වයක් ලබන හෙයින් ලෝකයේ දේශගුණය මහාද්වීපික ය ද්වීපික යයි දළ වශයෙන් වර්ග කරනු ලැබේ. විශාල මහාද්වීපයන්හි පවා සාගර හා මුහුදු වෙරළ ආශ්‍රිත පෙදෙස්වල ද්වීපික දේශගුණ ලක්ෂණ ඇති වේ. උත්තරධ්‍රැවය වටා විහිදි ආක්ටික් ප්‍රදේශය ප්‍රධාන වශයෙන් ගොඩබිම්වලින් වට වූ මහා සාගරයකින් යුක්තය. එහෙයින් ආක්ටික් ප්‍රදේශයෙහි පවත්නේ සාගරික දේශගුණයකි. උත්තරධ්‍රැවාශ්‍රිත භූගෝලීය පිහිටීම ආක්ටික් පෙදෙස්වල දේශගුණය කෙරෙහි බලපාන වැදගත් සාධකයකි.
සාමාන්‍යයෙන් යම් පෙදෙසක මහාද්වීපික ගොඩබිම්වලට වඩා සාගරික පෙදෙස්වල මධ්‍යස්ථ දේශගුණයක් පවත්නේය. ඒ අනුව ආක්ටික් ප්‍රදේශයෙහි ධ්‍රැවාසන්න සාගරික පෙදෙස්වලට වඩා ඒ වටා පිහිටි ගොඩබිම් දේශගුණ අන්තයන්ට භාජන වේ. එහෙයින් ආක්ටික් ප්‍රදේශයේ ඉතා ම අධික ශීතලය පවත්නේ උත්තරධ්‍රැවාසන්නයෙහි හෝ දුෂ්ප්‍රාප්‍ය ධ්‍රැවය (Pole of inaccessibility) නමින් හඳුන්වන ආක්ටික් සාගරික අයිස් මධ්‍යයෙහි හෝ නොව, අර්ධ ආක්ටික් ගොඩබිම්වලය. උත්තරාර්ධගෝලයේ ඉතා ම ශීතල ප්‍රදේශය වන සයිබීරියානු යකුට්ස්ක් පළාත හා උතුරු ඇමෙරිකාවේ යූකොන් නිම්නය මීට නිදසුන්ය. ශීත ඍතුවේ දී යකුට්ස්ක් පළාතේ උෂ්ණත්වය පැ.-90° දක්වා බසී. එහෙත් ආක්ටික් දිවයින්වල ශීත ඍතුවේ උෂ්ණත්වය පැ.-60°ට වඩා අඩු වන්නේ කලාතුරකිනි. ආක්ටික් සාගරික ප්‍රදේශයේ වුව ද ශීත ඍතුවේ උෂ්ණත්වය පැ.-55°කට අඩු නොවෙතැයි විශ්වාස කරනු ලැබේ.
ආක්ටික් පෙදෙස්වල වුව ද ග්‍රීෂ්ම ඍතුවේ දී පැ.-80°ක පමණ උෂ්ණත්වයක් ඇතිවන මහාද්වීපික පෙදෙස් තිබේ. ඇලස්කාහි ආක්ටික් ප්‍රදේශයේ ෆෝට් යූකොන් කාලගුණ නිරීක්ෂණාගාරයේ පැ.100°ක වාර්තාවක් ද කැනඩාවේ චෙස්ටර්ෆීල්ඩ් නිරීක්ෂණාගාරයේ පැ-84°ක වාර්තාවක් ද ඇත. වෘක්ෂලතාදියෙන් තොර වූ සුදුවන් ආක්ටික් පෙදෙස මත වැටෙන සූර්‍ය්‍ය රශ්මිය ඉන් පරාවර්තනය වීම හා ආක්ටික් පෙදෙසෙහි පවත්නා අයිස් තට්ටුවලින් විහිදෙන සිසිල එම පෙදෙසට වැටෙන සූර්යරශ්මිය මැඩ පැවැත්වීමත් අධික ශීතලයට හේතු වන සාධකයෝය. එහෙයින් ග්‍රීෂ්ම ඍතුවේ දී දැඩි උෂ්ණත්වයක් ඇති වන්නේ සූර්ය රශ්මිය අවශෝෂණය කරගන්නා ආවරණය වූ පෙදෙස්වලය.
ආක්ටික් ප්‍රදේශයේ තද සුළං ඇති වන්නේ කලාතුරකිනි. මෙහි වර්ෂණය එතරම් අධික නොවේ. ශීත ඍතුවේ හිම පතනය හා ග්‍රීෂ්ම ඍතුවේ වර්ෂාපතනය එක් කළ විට ආක්ටික් ප්‍රදේශයට ලැබෙන සාමාන්‍ය වාර්ෂික වර්ෂණය අඟල් 10ක් පමණ වේ. මේ ප්‍රදේශයෙහි ආර්ද්‍රතාව හා උෂ්ණත්වය අතින් විවිධ වූ වාත ප්‍රවාහයන්ගේ ගැටීම නිසා ඝන ධූමිකා ඇති වේ.
පැළෑටි හා සත්තු
හිරු එළිය ලැබෙන කාල සීමාව සත්ව හා උද්භිද ජීවිතය කෙරෙහි බලපවත්වන හෙයින් ග්‍රීෂ්ම ඍතුවේ දී ආක්ටික් ප්‍රදේශයේ පැළෑටි වර්ධනය ඉතා ශීඝ්‍ර වන අතර එහි සත්ව හා කෘමි ජාතීහු වඩා කඩිසර වෙති. ආක්ටික් ප්‍රදේශයේ ශාක විශේෂ 'තුන්ද්‍රා' නමින් හැඳින්වේ. මෙය බොහෝ සෙයින්ම පෙඳ පාසි හා තණ වර්ගයන්ගෙන් යුක්තය. සයිබීරියානු අර්ධ ආක්ටික් පෙදෙස්වල 'මස්කෙග්' නමින් හැඳින්වෙන වගුරු සහිත තණබිම් වේ. සයිබීරියාවේ හා කැනඩාවේ අර්ධ ආක්ටික් ප්‍රදේශවල උත්තර කේතුධර වනාන්තර ද ඇත. ආක්ටික් පෙදෙසෙහි උද්භිද ජීවිතය පෙඳ හා පාසි වර්ගයන්ට පමණක් සීමාවී ඇතැයි බොහෝ දෙනා සිතන නමුත් එහි මීවන හා මල් හටගන්නා පැළෑටි ද බහුලය. විශේෂයෙන් ම ග්‍රීෂ්ම ඍතුවේ දී මනාව හිරු එළිය වැටෙන හෙල් බෑවුම් මල් සහිත පැළෑටිවලින් වැසී යන්නේය.
අපට ගවයා යම්සේ ද, ආක්ටික් ජනයාට පිනිමුවා එසේ මය. ආක්ටික් සයිබීරියාවේත් ඇලස්කාවේ හා කැනඩාවේත් පිනිමුවන් ඉතා විශාල රංචු වශයෙන් ඇති කරන එඩේරු සිටිති. සමහර අර්ධ ආක්ටික් පෙදෙස්වල ගව, එළු, බැටළු ආදි සතුන් ද ඇති කළ හැකි නමුත් පිනිමුවන් ඇති කිරීම පමණ එය ලාභ ප්‍රයෝජන ලැබෙන්නක් නොවේ. ආක්ටික් පැළෑටි ආහාර කොට ගන්නා ඔවිබොස් නම් වූ සතුන් ඇති කිරීම කෙරෙහි ද ආක්ටික්වාසීන්ගේ සැලකිල්ල යොමු වී තිබේ. මේ හැර කැරිබු, සුදුවලහා, මූස්, ලෙමිං යන සතුන්ට ද හාවුන්ට හා සිවලුන්ට ද ආක්ටික් හිම හා ලඳු පෙදෙස් වාසභූමි වේ. 'ස්නෝ බන්ටිං' හා මුහුදු ලිහිණින් ආදි සංචාරක පක්ෂීන් මෙන් ම ටාමිගන් වැනි දේශීය පක්ෂීහු ද ආක්ටික් පෙදෙසේ ගැවසෙති.
ඛනිජ ධනය
ආක්ටික් පෙදෙසෙහි භූගත සම්පත් ද නැත්තේ නොවේ. එහෙත් අංග සම්පූර්ණ භූ විද්‍යාත්මක ගවේෂණයන්ට හා නිරීක්ෂණයන්ට භාජන වී නැති හෙයින් ආක්ටික් ප්‍රදේශයේ ඛනිජ සම්පත් ප්‍රමාණය කෙතරම් දැයි නිගමනය කළ නොහැක. එසේ වුව ද ආක්ටික් පෙදෙස්වල ගල් අඟුරු නිධිවලින් සමහරක් හාරා ඇත. සෝවියට් දේශයට අයත් ස්පිට්ස්බර්ගන් දූවෙහි ද පෙචෝරා, ටුන්ගුස්කා හා ලීනා හා කෝලීමා නිම්නයන්හි ද ග්‍රීන්ලන්තයට අයත් ඩිස්කෝ දූවෙහි ද ගල් අඟුරු ආකර කර්මාන්තය කරනු ලැබේ.
ආක්ටික්හි බොහෝ පෙදෙස්වල ඛනිජ තෙල් ඇති බව වාර්තා වී ඇති නමුත් ඛනිජ තෙල් ළිං කැණ ඇත්තේ කැනඩාවේ මැකෙන්සි මුවදොර සමීපයේත් ඇලස්කාවේ බැරෝ තුඩුවේ හා සෝවියට් දේශයේ පෙචෝරාහිත් පමණි. තවද රන්, රිදී, ඊයම්, තඹ, තුත්තනාගම් හා ගල්ලුණු ආදි ඛනිජ වර්ග ආක්ටික් පෙදෙස්වල ඇති බව නිගමනය කර තිබේ. බෙයාර් විල හා වික්ටෝරියා දිවයින අතර ප්‍රදේශයේ විශාල තඹ නිධි ඇතැයි සලකනු ලැබේ.
ජනගහනය
බොහෝකොට ම පිනිමුවන් ඇති කරමින් ජීවත්වන උතුරු යුරෝපීය ලැප්වරු ද සයිබීරියානු සැමොයඩ්වරුන් හා චුක්චිවරු ද උතුරු ඇමෙරිකානු හා ග්‍රීන්ලන්ත වාසී ඇස්කිමෝවරු ද ආක්ටික් ප්‍රදේශය වාසභූමි කරගත් මුල් පදිංචිකාරයන්ගෙන් පැවත එන්නෝය. ග්‍රීෂ්ම ඍතුවේ දී වෙරළාසන්න පෙදෙස්වල වෙසෙමින් සීල්, වෝල්රස්, තල්මස් ආදි සාගරික සතුන් දඩයම් කර ගැනීමෙන් ජීවත්වන මොව්හු සාමාන්‍යයෙන් ශීත ඍතුවේ දී එතරම් ශීතල නොවන අර්ධ ආක්ටික් පෙදෙස්වලට සංක්‍රමණය වෙති. සිනිඳු ලොම් සඳහා සතුන් දඩයම් කිරීම ආක්ටික් දේශවාසීන්ගේ වැදගත් ආදායම් මාර්ගයකි.
මොවුන් හැර ආක්ටික් ප්‍රදේශ කරා සංක්‍රමණය වන වෙනත් ජනයාද වෙති. මොවුන්ගෙන් සමහරකු එම පෙදෙස් වාසභූමි කර ගැනීමට යන්නන් වන අතර සෙස්සෝ ලොම් වෙළෙඳාම ද ආගමික හා විද්‍යාත්මක කටයුතු ද සඳහා යන්නෝය.
ජනාවාස පිහිටුවීම හා අනාගතය
ආක්ටික් ප්‍රදේශයන්හි තවදුරටත් ජනපද පිහිටුවීම ගැන මෑත කාලයේ දී සැලකිල්ල යොමු වී ඇත. යහපත් දේශගුණය හා ස්වාභාවික ධනය නිසා පදිංචිවීම සදහා ඒ ප්‍රදේශ කරා ජනයා ඇදගැනීම දුෂ්කර නොවෙතත් දේශ සීමාන්තර ප්‍රාන්තයක් වශයෙන් එහි ජනාවාස පිහිටුවීම පිළිබඳව යම් යම් ප්‍රශ්න පැන නැගෙනු ඇතැයි අදහස් කරනු ලැබේ.
ආක්ටික් ප්‍රදේශයේ අනාගත දියුණුව එහි භූගෝලීය පිහිටීම මත රඳා පවතී. මේ වනාහි දියුණු වූ රාජ්‍යයන් රාශියකට මැදිව පිහිටා ඇති අපක්ෂපාත ප්‍රදේශයකි. උතුරු අමෙරිකානු, උතුරු යුරෝපීය සහ සෝවියට් දේශීය ප්‍රදේශ අතර කෙටිම ගමන් මාර්ගය ආක්ටික් දේශය ඔස්සේ වැටේ. දිය මිදීම හා පාවෙන අයිස් කැටි ආදිය නිසා ගමන් මාර්ගයක් වශයෙන් ආක්ටික් සාගරයේ අගය අඩු වුවත් මේ ප්‍රදේශය හරහා ගුවනින් ගමන් කළ හැකි බැවින් ද යුද්ධෝපායයන්හි දී යුදකඳවුරු වශයෙන් යෙදවිය හැකි බැවින් ද එම ප්‍රදේශයෙහි අගය ඉතා විශාලය. ආක්ටික් ප්‍රදේශයන්හි ස්වාභාවික ධනය මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රයෝජනය පිණිස යොදා ගැනීමත් එමඟින් ඒ ප්‍රදේශ දැනට වඩා ජනාවාස කිරීම හා දියුණු කිරීමත් රඳා පවත්නේ භූගෝලීය පිහිටීම නිසා ම යුද්ධෝපාය ලක්ෂ්‍යයක් වශයෙන් ඇති අගය මතය.
ආක්ටික් ගවේෂණය
ආක්ටික් ප්‍රදේශ පිළිබඳ කරුණු සොයාගත් ආදි ම ජනයා ග්‍රීකයෝ යයි පිළිගැනීමට ප්‍රමාණවත් වන සාක්ෂි ඇත. ගණිත ක්‍රමයන් අනුව පෘථිවි ගෝලය ඝර්ම, සමශීතෝෂ්ණ හා ශීත කලාපයන්ට බෙදූ ඔව්හු මනුෂ්‍යවාසයට අයෝග්‍ය තරම් ශීතාධික වූ ප්‍රදේශයක් ඉතා උතුරෙහි පිහිටි බව ද දැන ගත්හ.
ඉතිහාසයෙහි සඳහන් වන අයුරු ආක්ටික් වෘත්තය අසල ප්‍රදේශයන් කරා මුලින් ම යාමේ ගෞරවය හිමි වී ඇත්තේ මැසාලියාහි පයිතියස් නම් වූ ග්‍රීක නැවියාටය. ක්‍රි.පූ. 325 දී පමණ බටහිර යුරෝපීය වෙරළ ඔස්සේ උතුරු දෙසට යාත්‍රා කළ මොහුගේ සටහන්වල ත්‍යුලී දේශය යනුවෙන් හඳුන්වන ලද්දේ වර්තමාන නෝර්වේ රටෙහි උතුරු පෙදෙස් යැයි සලකනු ලැබේ.
එහෙත් නෝර්ස් වර්ගයා ආක්ටික් ප්‍රදේශ පිළිබඳව යම් අවබෝධයක් ලබා සිටි බව ඔවුන්ගේ පාරම්පරික පුරාවෘත්තයන්ගෙන් හෙළි වේ. නෝර්ස් වර්ගයා ක්‍රි.ව. 874 දී පමණ අයිස්ලන්තය වාසභූමි කර ගත්හ. එහෙත් ඊට ප්‍රථමයෙන් (ක්‍රි.ව. 795 දී) අයිරිෂ් ජාතික පූජක පිරිසක් එහි විසූ බව අයිස්ලන්තයේ පැරණි කථාවන්හි සඳහන් වේ. ක්‍රි.ව. 870 දී පමණ බැරෙන්ට්ස් මුහුද හා සුදු මුහුද සොයා ගත්තාවූත්, ඩ්වීනා මුව දොර අසල පෙදෙසෙහි 'බියාර්ම්ස්' (රුසියන්) නම් වූ ජන සමූහයක් විසූ බව වාර්තා කළාවූත් ඔටර් නම් නෝර්වීජියානු ජාතිකයකු පිළිබඳ විස්තරයක් එංගලන්තයේ මහා ඇල්ෆ්‍රඩ් රජුගේ ග්‍රන්ථයක ලියා ඇත. ගුම්බ්යර්න් උල්ෆ්සොන් (Gumbjorn Ulfsson) නමැත්තකු අයිස්ලන්තය බලායාත්‍රා කරද්දී ග්‍රීන්ලන්තයේ නැගෙනහිර වෙරළට අහම්බෙන් ගසා ගෙන ගිය බවක් සඳහන් වී ඇති නමුත් නියම වශයෙන් ග්‍රීන්ලන්තය සොයා ගන්නා ලද්දේ අයිස්ලන්තයෙන් පිටුවහල් කරනු ලැබූ එරික් ද රෙඩ් නම් වූ නෝර්ස් ජාතිකයකු විසිනි. ක්‍රි.ව. 981–984 දී පමණ ග්‍රීන්ලන්තයේ බටහිර වෙරළ ගවේෂණය කළ එරික් අයිස්ලන්තයට පෙරළා පැමිණ ග්‍රීන්ලන්තයේ පදිංචියට කැමති ජන සමූහයක් කැඳවාගෙන ගොස් එහි ජනපද පිහිටුවූයේය.
හැරල්ඩ් හාර්ඩ්රාඩ් නම් වූ නෝර්වීජියානු රජකු ආක්ටික් දේශය ගවේෂණය කළ බවක් ද ඉතිහාස ගත වී ඇත. 1194 දී නෝර්ස් ජාතිකයන් විසින් ස්වාල්බාඩ් පෙදෙස (ස්පිට්ස්බර්ගන්) සොයා ගැනීම ද ආදි කාලීන ආක්ටික් ගවේෂණයන්ට ඇතුළත් වේ.
මේ අතරතුර අග්නිදිග සයිබීරියාවෙන් ක්‍රි.ව. 200 දී පමණ උතුරු ඇමෙරිකාවේ ආක්ටික් ප්‍රදේශයන්ට පැමිණි ඇස්කිමෝ ජනයා ක්‍රි.ව. 600 වන විට දැනට පොයින්ට් බැරෝ, ඇලස්කා යන නම්වලින් හැඳින්වෙන පෙදෙස්වල මාහැඟි ශිෂ්ටාචාරයක් ගොඩනැඟූහ. මොව්හු ක්‍රි.ව. 900 වන විට හඩ්සන් බොක්කට හා බැෆින් දූපත්වලටත් ක්‍රි.ව. 1000 දී ග්‍රීන්ලන්තයටත් පැමිණියහ.
පැරණි නෝර්ස් ජාතිකයෝ නැගෙනහිරින් නෝවායාසෙම්ලියාහි සිට බටහිරින් ලබ්‍රදෝර් දක්වා වූ පෙදෙස ගැන අවබෝධයක් ලබා සිටියහ. එහෙත් තත්කාලීන ආක්ටික් ගවේෂණයන් නියම වශයෙන් ආරම්භ වූයේ යුරෝපයේ වෙළෙඳ නාවික ව්‍යාපාරයන්හි ව්‍යාප්තියත් සමඟ යැයි පිළිගැනීම නිවැරදි විය හැකිය. 1497 දී ජෝන් කැබට් හා ඔහුගේ පුත්‍ර සෙබස්තියන් කැබට් විසින් නිව්ෆවුන්ඩ්ලන්තය හා ලබ්‍රදෝර් ප්‍රදේශය සොයා ගන්නා ලදැයි සාමාන්‍යයෙන් පිළිගෙන ඇතත් ඒ බව නිශ්චිත වශයෙන් සනාථ කරන සාධක නොමැත. වයඹ දිග යුරෝපයේ සිට වයඹ දිගට හෝ ඊශාන දිගට යාත්‍රා කර ආසියාතික රටවලට ළඟා විය හැකි වූ මාර්ගයක් සොයා ගැනීමට වෑයම් කළා වූ යුරෝපීය හා ඇමෙරිකානු ගවේෂකයන් විසින් ආක්ටික් ප්‍රදේශ සමහරක් අනාවරණය කරනු ලැබීය. 1521 දී පමණ 8 වැනි හෙන්රි රජුගේ අනුග්‍රහයෙන් ආක්ටික් ගවේෂණයෙහි යෙදුණ සෙබස්තියන් කැබට් ද 1527 දී ආක්ටික් සාගරය ඔස්සේ චීනයට නාවික මාර්ගයක් සෙවීමෙහි නියුක්ත වූ ජේ. රට් ද ඔවුන්ගේ ගමන්වලින් සැලකිය යුතු ප්‍රතිඵල ලැබූ බවක් කිව නොහැකිය. ආක්ටික් ගවේෂණ කටයුතු දියුණු කිරීම උදෙසා සෙබැස්තියන් කැබට් යටතෙහි පුරෝගාමී වෙළෙඳුන්ගේ සංගමය (Company of Merchant Adventurers) නම් වූ සංගමයක් ද ලන්ඩන්හි පිහිටුවනු ලැබීය. මෙම සංගමයේ අනුග්‍රහය යටතෙහි, ඊශාන දිග මාර්ගය සොයා ගැනීම උදෙසා 1553 දී ආක්ටික් සාගරයට යාත්‍රා කළ සර් හියු විලබි හා සර් රිචඩ් චාන්සලර් යන දෙදෙනාගෙන් නෝවායා සෙම්ලියා පමණක් දුටු විලබි හා ඔහුගේ පිරිස ලප්ලන්ත වෙරළේ දී විනාශයට පත් වූහ. සුදු මුහුද ද තරණය කළ චාන්සලර් ආකේන්ජල් දක්වා යාත්‍රා කර ගොඩබිම ඔස්සේ මොස්කව් නගරයට ගොස් ඉවාන් ද ටෙරිබල් සාර් රජු බැහැදැක්කේය. එහි දී එංගලන්තය හා රුසියාව අතර වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගත් හෙතෙම පෙරළා එංගලන්තයට ගියේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වෙළෙඳ කටයුතු සඳහා ආක්ටික් ගවේෂණය වැදගත් වන බව වඩාත් අවබෝධ වූ හෙයින් ගවේෂකයන් ධෛර්යයවත් කිරීමෙහි යෙදුනාවූ පුරෝගාමී වෙළෙඳුන්ට හෙවත් මොස්කව් සංගමයට 1555 දී එංගලන්තයේ පිලිප් හා මේරි යන රාජකීයයන් විසින් ප්‍රඥප්තියක් ද ප්‍රදානය කරනු ලැබීය. මෙම වර්ෂයේ දී ම සුදු මුහුද හරහා මොස්කව් නගරයට නැවත වරක් ගිය චාන්සලර් ආපසු ගමනේ දී ස්කොට්ලන්ත වෙරළෙහි දී අනතුරකට භාජන විය. මේ ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම වරට රුසියානු තානාපතිවරයෙක් එංගලන්තයට එවනු ලැබීය. ඉන් පසු මොස්කව් සංගමයේ මෙහෙයීමෙන් ඕබී ගඟ සෙවීමට 1556 දී පිටත් කරනු ලැබූ ස්ටීවන් බරෝ, පෙචෝරා ගංමෝයටත් නෝවායා සෙම්ලියා හා වයිගාක් දූපත්වලටත් ගොස් ආපසු පැමිණියේය. 1576 දී මොස්කව් නගරයේ සිට සැමොයි ප්‍රදේශය ඔස්සේ උතුරු සයිබීරියානු වෙරළට ගිය ඔලිවර් බ්‍රැනල් නම් වූ ඕලන්ද නැවියෙක් ඕබී ගංමෝය සොයා ගත්තේය. 1580 දී ද මොස්කව් සංගමයේ මෙහෙයීමෙන් ඊශාන දිග මාර්ගය සෙවීමට යවන ලද ආතර් පෙට් හා චාල්ස් ජැක්මන් යන ගවේෂකයෝ කාරා මුහුද දක්වා ගොස් ආපසු පැමිණියහ. 1594-1597 අතර කාලයේ දී ඕලන්ද ගවේෂකයෝ ඊශාන දිග මාර්ගය සෙවීමට බොහෝ වෙහෙස ගත්හ. මොවුන් අතුරෙහි වඩාත් වැදගත් වනුයේ තෙවරක් ම ආක්ටික් දේශය කරා ගිය බෙයාර් හා ස්පිට්ස්බර්ගන් දූපත් සොයා ගැනීමෙහි ගෞරවයට හිමි වූ විලියම් බැරෙන්ට්ස්ය.
හෙන්රි හඩ්සන් (1607) හා ජේ. වූඩ් ආදීන්ට ද කාරා මුහුදේ අයිස් බාධකය මැඩ ඉදිරියට යාමට නොහැකි වූ හෙයින් 18 වැනි සියවසෙහි ගවේෂකයෝ ඊශාන දිග මාර්ගය සෙවීම උදෙසා වෙහෙස වීමට මඳක් මැළි වූහ. මේ අතරතුර රුසියානු ගවේෂක කණ්ඩායම් උතුරු ආසියා මහාද්වීපය ඔස්සේ ආසියාතික ආක්ටික් වෙරළ ගවේෂණය කළහ. 1648 දී ඩෙශ්නව් නම් වූ රුසියානු නැවියෙක් බීරිං සමුද්‍ර සන්ධිය තරණය කෙළේය. මේ සමුද්‍ර සන්ධියට ඒ නම් ලැබුණේ 1721 දී එය තරණය කළ වයිටස් බීරිං නැවියාගේ නාමය නිමිති කරගෙනය. 1733 සිට 1742 දක්වා කාලයේ දී චැරිටන් ලප්ත්‍යෙෆ් හා චෙල්යුස්කින් යන රුසියානු නැවියන් ටයිමිර් අර්ධද්වීපය ගවේෂණය කළ අතර චෙල්යුස්කින් දැනට ඔහුගේ නාමයෙන් ම හැඳින්වෙන වෙල්යුස්කින් තුඩුව කරා ගියේය.
යුරෝපයේ සිට ආක්ටික් සාගරය ඔස්සේ නැගෙනහිර ආසියාතික වෙරළට යාමේ (1878–1879) හෙවත් ඊශාන දිග මාර්ගය සොයා ගැනීමේ ගෞරවය හිමි වී ඇත්තේ ඇන්.ඒ.ඊ. නූර්ඩන්ෂ'ල්ඩ් නම් වූ ස්වීඩ් ජාතික නැවියාටය. බොහෝ කාලයක් තිස්සේ රුසියන් ජාතිකයන් උතුරු සෝවියට් ආක්ටික් වෙරළ ඔස්සේ වෙළෙඳ නැව් මෙහෙය වූ නමුත් නියම වශයෙන් ඊශාන දිග මාර්ගය වෙළෙඳ කටයුතු සඳහා විවෘත කරන ලද්දේ 1932 දී 'සයිබීරියාකොෆ්' නමැති හිම කඩන නෞකාව හා 1934 දී 'ලිව්කේ' නෞකාව ද උතුරු යුරේසියානු ආක්ටික් මුහුද තරණය කළායින් පසුවය.
යුරෝපයේ සිට ආසියාවට යාමට ඊශාන දිග මාර්ගයක් මෙන් ම වයඹ දිග මාර්ගයක් ද සොයා ගත හැකි බව පිළිගෙන තුබුණු හෙයින් බොහෝ ගවේෂකයෝ යුරෝපයේ සිට වයඹ දිගට ද යාත්‍රා කළහ. 1576 හා 1578 අතර වූ කාලයේ දී මාටින් ෆ්‍රෝබිෂර් තෙවරක් බැෆින් දූපත දක්වා ද වරක් ෆ්‍රෝබිෂර් බොක්ක දක්වා ද යාත්‍රා කෙළේය. 1585 හා 1587 අතර කාලයේ දී ග්‍රීන්ලන්තයේ බටහිර වෙරළ පිරික්සූ ජෝන් ඩේවිස්, ඩේවිස් සමුද්‍ර සන්ධිය තරණය කෙළේය. 1661 දී විලියම් බැෆින්, බැෆින් බොක්කේ උතුරු කෙළවර පිහිටි ස්මිත් සවුන්ඩ් දක්වා ගොස් එහි භූචුම්බක පරීක්ෂණ කීපයක් ද පැවැත්වූයේය. ඊශාන දිග මාර්ගය සෙවීමෙහි යෙදී ආක්ටික් ගවේෂණය පිළිබඳ පළපුරුද්දක් ලබා සිටි හෙන්රි හඩ්සන් 1610 දී වයඹ දිගට යාත්‍රා කර දැනට ඔහුගේ නමින් හැඳින්වෙන සමුද්‍ර සන්ධිය හා බොක්ක සොයා ගත්තේය. හඩ්සන් බොක්කේ විශාලත්වය නිසා එය තවත් සාගරයක් යැයි හඩ්සන් විසින් වරදවා නිගමනය කළත් 1612 දී එහි ගිය තෝමස් බ’ටන් එය බොක්කක් මිස සාගරයක් නොවන බව පෙන්වා දුන්නේය. මින් පසු රොබට් බ්ලයිට්, තෝමස් ජේම්ස් හා ලූක් ෆොක්ස් ආදි වෙනත් බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද හඩ්සන් ප්‍රදේශය තවදුරටත් ගවේෂණය කළහ. මේ කාලයේ දී හිම කතර තරණය කිරීමට වඩා සිනිඳු ලොම් වෙළෙඳාමෙහි යෙදීම වඩාත් ලාභ සහිත යැයි පිළිගැනුණු හෙයින් උතුරු ඇමෙරිකානු ආක්ටික් වෙරළාශ්‍රිත ගවේෂණ කටයුතු කෙරෙහි සියක් වසක් පමණ කාලයක් තුළ වැඩි සැලකිල්ලක් දක්වනු නොලැබීය.
වයඹදිග මාර්ගය සොයා ගැනීමෙහි උද්‍යෝගයක් ඇති කරලීම සඳහා පවුම් විසිදාහක ත්‍යාගයක් ප්‍රදානය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉදිරිපත් විය. 1818 දී බ්‍රිතාන්‍යයෙන් පිටත් වූ ජෝන් රොස් හා ඩබ්ලිව්.ඊ. පැරී යන දෙදෙන ලැන්කැස්ටර් සවුන්ඩ් දක්වා ගියහ. 1819 දී පැරී, මෙල්මිල් සවුන්ඩ් ඔස්සේ ද 1829 දී රොස්, බෙලෝ සමුද්‍රසන්ධිය ඔස්සේ ද යාත්‍රා කළෝය. පසු කාලයේ දී බුතියා දිවයින හා කිං විලියම් දූපත ද රොස් විසින් ම නම් කරනු ලැබීය. වයඹදිග මාර්ගය සෙවීම උදෙසා 1845 දී සර් ජෝන් ෆ්රැන්ක්ලින්ගේ නායකත්වය යටතේ පිටත්වූ ගවේෂක කණ්ඩායමක් තෙවසක් මුළුල්ලේ මැකෙන්සි ගංමෝය හා බීච් තුඩුව අතර ප්‍රදේශයන්හි ගවේෂණ කටයුතුවල යෙදී සිට හදිසියේ අතුරුදන් වූහ. මෙම ෆ්රැන්ක්ලින් ගවේෂක කණ්ඩායම සෙවීමෙහි නියුක්ත වූ වෙනත් ගවේෂකයන්ගේ ගමන් නිසා වයඹ දිග උතුරු ඇමෙරිකානු ආක්ටික් පෙදෙස බොහෝ දුරට අනාවරණය කර ගනු ලැබීය. කැප්ටන් ඩබ්ලිව්. කෙනඩි, ජේ.ආර්. බෙලෙෂ් (1857), සර් එෆ්.ඇල්. මැක්ලින්ටොක් (1849, 1850-51, 1853-1854, 1857-59), කොලින්සන්, ආර්. මැක්කලූර් ආදීහු ද ෆ්රැන්ක්ලින් කණ්ඩායම සෙවීමට වෙහෙසුණාහ. ආපසු ගමනේ දී අයිස් පර අතරට මැදි වූ මැක්කලූර් කණ්ඩායම සර් එඩ්වඩ් බෙල්බර් විසින් බැරෝ සමුද්‍ර සන්ධිය අසල දී සොයා ගනු ලැබීය. නැවත වරක් වයඹ දිගට ගිය මැක්කලූර් දිය මිදී පැවති වයඹ දිග මාර්ගය ඔස්සේ පයින් ගමන් කළේය. එහෙයින් මැක්කලූර්ට බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් පවුම් 10,000ක් හා නයිට් පදවියක් පිරිනැමිණ. ෆ්රැන්ක්ලින් කණ්ඩායමට වූ විපත ඇස්කිමෝ ජනයාගෙන් සොයා දැනගත් ජෝන් රේට ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ත්‍යාගයක් හිමි විය.
අන්තිමේ දී වයඹ දිග මාර්ගය සම්පූර්ණ වශයෙන් නිම කරන ලද්දේ යෝවා (Gioa) නම් වූ කුඩා යාත්‍රාවකින් පිටත් වූ (1903–1906) රෝආල් ආමුන් සන් (බ.) විසිනි. 1940–1942 අතර කාලයේ දී රාජකීය කැනේඩියානු පොලිස් සේවයෙහි යෙදී සිටි කපිතන් හෙන්රි ඒ. ලාර්සන්, සාන්ත රොක් නම් නෞකාවෙන් වෑන්කූවර් සිට හැලිෆැක්ස් දක්වා වයඹ දිග මාර්ගය ඔස්සේ යාත්‍රා කළේය.
ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් වයඹ දිග මාර්ගය සොයා ගැනීම වැදගත් වූ නමුත් ආර්ථික වශයෙන් හෝ වෙළෙඳ මාර්ගයක් වශයෙන් එය වැඩදායක නොවීය. ආරම්භයේ දී වෙළෙඳ හා ආර්ථික අභිප්‍රායයන් මුදුන් පත් කර ගැනීම සඳහා ආක්ටික් ගවේෂණ මෙහෙයවනු ලැබූ නමුත් පසු කාලයේ දී උත්තර ධ්‍රැවය සොයාගැනීම ද ගවේෂකයන්ගේ සැලකිල්ලට යොමු විය. උත්තර ධ්‍රැවයට ප්‍රථමයෙන් පා තැබීමේ ගෞරවය දිනා ගැනීම උදෙසා විවිධ ජාතිවලට අයත් ගවේෂක කණ්ඩායම් නොයෙක් අනතුරුවලට මුහුණ දී ආක්ටික් සාගරය තරණය කිරීමට වන්හ. 1853–1856 අතර කාලයේ දී ඇමෙරිකානු නැවියකු වූ එලීෂා කෙන්ට් කේන් ද 1860–1861 දී දොස්තර අයිසැක් ඊශ්‍රායල් හේස් ද බැෆින් බොක්ක හා ස්මිත් සවුන්ඩ් ඔස්සේ උත්තරාක්ෂභාග 80° 27′ පිහිටි කොන්ස්ටිට්‍යුෂන් තුඩුව තෙක් යාත්‍රා කළහ. 1871–1873 අතරේ දී සී.ඇෆ්. හෝල් නමැති නැවියා පෝලාරිස් නෞකාවෙන් උත්තරාක්ෂභාග 8° 11' දක්වා යාත්‍රා කෙළේය. 1875–1876 දී සර් ජී.ඇස්. නෙයාර්ස් විසින් මෙහෙයවනු ලැබූ බ්‍රිතාන්‍ය ගවේෂක කණ්ඩායමක් උත්තරාක්ෂ භාග 8° 20′ දක්වා ද ඒ.ඩබ්ලිව්. ග්‍රිලි විසින් මෙහෙයවනු ලැබූ ඇමෙරිකානු කණ්ඩායමක් උත්තරාක්ෂභාග 83° 30′ දක්වා ද ගියහ. කීප වාරයක් ම (1891, 1894, 1900, 1902, 1906 යන වර්ෂයන්හි) උත්තරධ්‍රැවයට ළඟා වීමට වෑයම් කළ රොබට් ඊ. පියරි 1909 අප්‍රියෙල් 6 දින උත්තර ධ්‍රැවයට පා තැබීය. පියරි එල්ස්මියර් දිවයිනෙහි වාඩිලා සිය උත්තර ධ්‍රැව ගවේෂණය මෙහෙය වූයේය. අවසානයේ දී පියරි සමඟ උත්තරධ්‍රැවයට ළඟා වූවන් අතර අවසාන නීග්‍රෝ ජාතික මැට් හෙන්සන් නම් වූ පියරිගේ සහායකයෙක් ද ඇස්කිමෝ ජාතිකයන් සිව් දෙනෙක් ද වූහ.
මේ හැර 1892 හා 1902 අතර කාලයේ දී ෆ්රෑම් නම් වූ නෞකාවකින් උතුරු ඇමෙරිකාවේ වයඹ දිග පෙදෙස් ගවේෂණය කළා වූ ප්‍රිජොෆ් නැන්සන් නොයෙක් දුෂ්කරතා මධ්‍යයෙහි උත්තරාක්ෂභාග 86° 14′ දක්වා ගිය අතර ඕ. ස්වර්ඩ්රුප් විසින් ඇක්සල් හේබ'ග් දූව හා තවත් විශාල දූපත් කීපයක් ම සොයාගනු ලැබීය. 20 වැනි ශත වර්ෂයේ මුල් කාලයේ දී ඇම්. එරික්සන්, ජේ.පී. ද කොක්, ජේ.ඇම්, ව’ඩ්, එච්.ජී. වොට්කින්ස්, ඒ. වේග්නර්, ඇම්. ලින්ඩ්සේ ආදී කීහිපදෙනෙක් ම ග්‍රීන්ලන්තය පිළිබඳ කරුණු සෙවීමෙහි නියුක්ත වූහ. මේ හැර ඩේනිෂ්, නෝර්වීජියානු හා රුසියානු ගවේෂක කණ්ඩායම් ද ආක්ටික් පෙදෙස් වැඩිදුරට ගවේෂණය කිරීමෙහි යෙදුණහ. 'මෝඩ්' නෞකාවෙන් ආක්ටික් ගවේෂණයෙහි යෙදුණ, නව සයිබීරියානු දූපත් සොයාගත්, නෝර්වීජියානු කණ්ඩායම ද 'සෙදොෆ්' නම් වූ හිමකඩනයෙන් නව සයිබීරියානු දූපත්වල සිට ග්‍රීන්ලන්තය අවට මුහුදට පිවිසි රුසියානු කණ්ඩායම ද මෙහි දී විශේෂයෙන් ම සඳහන් කළ යුතු වේ.
විසි වැනි ශතවර්ෂය වන විට අහස්යාත්‍රාවලින් ද ආක්ටික් ප්‍රදේශ කරා යෑමට ගවේෂකයෝ පෙලඹුණාහ. 1897 දී ඇස්.ඒ. ආන්ඩ්රේ නමැති ස්වීඩන් ජාතිකයෙක් බැලූනයකින් ආක්ටික් ගවේෂණයෙහි යෙදී අනතුරකට භාජන විය. ආක්ටික් ගවේෂණ කටයුතු සඳහා පළමුවෙන් ම අහස්යානයක් යොදවන ලද්දේ (1914) නාගුර්ස්කි නම් වූ රුසියානු ජාතිකයෙකි. අහස්යානයකින් සාර්ථක ලෙස උත්තර ධ්‍රැවයට ගොස් ආපසු පැමිණියේ අද්මිරාල් රිචඩ් ඊ. පියරිය (1926). ඊට සති දෙකකට පසුව රෝආල් ආමුන්සන් හා උම්බ'ටෝ 'නෝබීලේ නෝර්ග' නම් වූ අහස්නැවෙන් ස්පිට්ස්බර්ගන්හි සිට උත්තරධ්‍රැවය හරහා ඇලස්කාව දක්වා ගියහ. 1928 දී සර් ජී.එච්. විල්කින්ස් හා කාල් බෙන් ඊල්සන් ඇලස්කාවේ බැරෝතුඩුවේ සිට ස්පිට්ස්බර්ගන් දක්වා සැතපුම් 2,200ක් පැය 20, 1/2කින් අහස් නැවකින් තරණය කළහ. මෙම ගමන් විස්තර ආක්ටික් ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් මෙන් ම ගමන් මාර්ග සොයාගැනීම සම්බන්ධයෙන් ද ඉතා ම වැදගත් ඓතිහාසික වාර්තාවක් විය. 1931 දී ආක්ටික් හිම තට්ටු යටින් සබ්මැරීනයකින් උත්තර ධ්‍රැවයට ළඟා වීමට තැත් කළ විල්කින්ස්ගේ උත්සාහයක් කාර්මික අඩුලුහුඬුකම් නිසා අසාර්ථක විය. 1945 දී කැනඩාවෙන් පිටත්ව ආක්ටික් ගවේෂණයෙහි යෙදුණ ඩී.සී. මැකින්ලි විසින් භූචුම්බක උත්තරධ්‍රැවය ස්වර්ඩ්රුප් දිවයිනෙහි පිහිටා ඇති බව නිගමනය කරනු ලැබීය.
මින් පසුව අන්තර්ජාතික සංවිධානයන් යටතෙහි 1882–83, 1932–33 යන කාලයන්හි දී උත්තරධ්‍රැවය සම්බන්ධව එක් අවුරුදු පරීක්ෂණ පවත්වනු ලැබීය.
ආක්ටික් ප්‍රදේශය සම්පුර්ණයෙන් සොයාගෙන ඇතත් එහි භූමිය, දේශගුණය, සත්ව හා පැළෑටි ජීවිතය ආදිය සම්බන්ධයෙන් නොදන්නා විද්‍යාත්මක කරුණු බොහෝය. නවීන විද්‍යානුකූලව විද්‍යාත්මක නිරීක්ෂණයන් පැවැත්වීම සඳහා ස්පිට්ස්බර්ගන්, නෝවායා සෙම්ලියා ආදි ස්ථානයන්හි ස්ථිර නිරීක්ෂණාගාර ද පිහිටුවා ඇත. මින් ඉදිරියට ආක්ටික් දේශය පිළිබඳව වඩ වඩා ප්‍රයෝජනවත් විද්‍යාත්මක තොරතුරු ලබාගත හැක්කේ මෙවැනි ස්ථිර නිරීක්ෂණාගාර මගින් පවත්වනු ලබන පරීක්ෂණ අනුව මිස ඉහත කාලයේ දී මෙන් දේශගවේෂණයෙහි යෙදීමෙන් නොවේ. ධ්‍රැවාසන්න වායුගෝලය පිළිබඳව සම්පුර්ණ අවබෝධයක් ලබා ගැනීම නවීන වායුගුණ විද්‍යාවෙහි වැඩීමට මෙන් ම එම පෙදෙස් ආශ්‍රිත අහස් නැව් ගමනාගමනය දියුණු කිරීමට ද මහෝපකාරී වන්නේය.
(සංස්කරණය: 1965)