ආකාශ ගංගාව-1
අනෝතත්ත විලේ දකුණු දිගින් පටන් ගන්නා නදියක එක් කොටසක් මේ නමින් හැඳින්වේ. සුත්තනිපාතට්ඨකථාදි ග්‍රන්ථවල සඳහන් වන හැටියට අනෝතත්ත විලේ දකුණු දිගින් පටන් ගන්නා නදිය තුන්වරක් විල පැදකුණු කොට දකුණු පස මහගල්තලයක් මත සැට යොදුනක් තැන් ගලා ගොස් සරස සිටි පර්වතයක පැහැර තුන් ගව්වක් පමණ වට ඇති දියකඳක්ව අහසට පැන නැඟී සැට යොදුනක් තැන් අහසින් ගමන් කෙරේ. මෙපරිද්දෙන් අහසින් ගමන් ගත් ජලධාරාව ආකාශ ගංගා නම් විය. ආකාශ නදිය දශවිධ සුගන්ධයෙන් යුත් අති නිර්මල ශුභ්‍ර වර්ණයකින් ශෝභාමත් වූ ප්‍රණීත ජලයෙන් යුක්ත බව ද ශුභ්‍රවර්ණ තරංග මාලායෙන් හැම කල්හි බබළන මේ නදියෙහි නානා වර්ණයෙන් හා නානා ස්වරයෙන් යුත් ආකාශචාරී පක්ෂීන් නිතර හැසිරෙන බව ද සිද්ධවිද්යාධර දිව්‍ය දිව්‍යාංගනාවන් එහි බැස ජල ක්රීඩනයෙන් ප්‍රීතියට පැමිණෙන බව ද සඳහන් වේ. අහසින් ගමන්ගත් ජල ධාරාව හැර අනිකුත් කොටස් වෙනත් නම්වලින් හැඳින්වෙයි. භූමියෙන් ගලායන මාර්ගය යොදුන් තිහක් දුරට නවනිත මැටිවලින් ගැවසී තිබේ යයි කියත්. මේ මැටි අනුරාධපුරයෙහි ස්වර්ණමාලි චෛත්‍ය පදනමට දැමීම සඳහා රහත් සාමණේරයන් වහන්සේ විසින් ගෙන එන ලද බව මහාවංසයේ සඳහන් වේ.
පුරාණාදි ග්රන්ථයන්හි සඳහන් වන හැටියට ආකාශ ගංගා තොමෝ විෂ්ණු දිව්‍යරාජයාගේ පාදාඞිිගුෂ්ඨයෙන් (පයේ මාපටැඟිල්ලෙන්) නික්ම ආකාශපථයෙහි පතිතව ගමන්ගෙන කෛලාසකූට නිවාසී ඊශ්වරයාගේ ජටායෙහි රැඳී ජටා මඬුල්ලෙහි සැරිසරා ඉන් නික්ම ගංගා ආදි සප්ත සින්ධු වශයෙන් පෘථිවියට ගලා බසින්නීය. ආකාශ නදිය පෘථිවියෙහි ගලා එන්නාවූ යමුනා නදිය හා එක්වන තුරු ආකාශ ගඩ්ගා නමින් ප්‍රකට වූ බව කාව්‍යශේඛරයෙහි සඳහන් වේ.
කපිල ඍෂිවරයාගේ ශාපයෙන් භස්මීභූත වූ සගර රජුගේ පුතුන් සැටදහස මුදාගැනීම සඳහා භගීරථ රජ උග්‍ර තපසක යෙදුණේය. ඉන් ප්‍රසාදයට පත් ගංගා දෙවඟන මේ ගංගාව පෘථිවිය කරා ගෙන යාමට අවසර දී මහේශ්වරයා හැර එය පහතට ඇද හැළෙන ජල වේගය දරාගත හැකි අන් කිසිවකු නොමැති බැවින් ඊශ්වරයා සතුටු කරන මෙන් රජුට නියම කළාය. භගීරථ රජ උග්‍රතපස් රැක ඊශ්වරයා ද සතුටු කර සිය අදහස මුදුන් පමුණුවා ගත්තේය. ඉන් පසු අහසින් එන මේ ජලධාරාව ඊශ්වරයාගේ ජටා මඬුල්ලෙහි වැටී ඉන් නික්ම පෘථිවියට බැස සමුද්‍ර පත්ලෙහි භස්මිභූත වූ සගර පුතුන් සැටදහස කරා යැවීමෙන්, පැමිණ තිබුණ විපතෙන් ඔවුන් ගළවා ගත් බව රාමායණයේ සඳහන් වේ. මෙය පෘථිවියෙහි දී ගංගානදිය නමින් ප්‍රකට විය. කවි සමයෙහි අහස්ගඟ ශුභ්‍ර වර්ණ වස්තු සඳහා උපමා කර තිබෙන බව පරෙවි සන්දේශය, ගුත්තිල කාව්‍යය ආදි ග්රන්ථවලින් හෙළිවේ.
(සංස්කරණය: 1965)