ආකිල්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Archil). රොක්කෙලා ටිංක්ටෝරියා (Roccella tinctoria) නම් ලයිකනයෙන් (lichen) ද ඇතැම් විට වෙනත් ලයිකනවලින් ද ලබා ගන්නා දම්පාට සායමකි. මුලින් කී ලයිකනය වැඩි වශයෙන් ම වැවෙන්නේ ඇංගෝලාවෙහිත් අප්‍රිකාවේ මධ්‍යධරණී වෙරළෙහිත් මැඩගස්කරයෙහිත්ය. ඉන්දියාවේ මලබාර් වෙරළෙහි ද මඳ වශයෙන් වැවේ. ආකිල් සාදන්නේ මෙසේය: ලයිකනය පොඩි කොට ඇමෝනියා සමඟ දින කීපයක් කළතනු ලැබේ. එම මිශ්‍රණය සෑහෙන පදමට පැසුණ පසු ඊට සල්පියුරික් අම්ලය සහ සෝඩියම් ක්ලෝරයිඩ් යෙදීමෙන් ලැබෙන සායම වෙන් කොට ගනු ලැබේ. මෙය උකු ද්‍රවයක් වශයෙන් ද පාප්පයක් වශයෙන් ද ගුරුපාට හෝ දම්පාට කුඩක් වශයෙන් ද වෙළෙඳාමට තබනු ලැබේ. ආකිල් වැඩි වශයෙන් ම භාවිත කරන්නේ ඉන්ඩිගෝ වැනි අනෙක් සායම් වර්ගවල වර්ණය වඩා පැහැපත් කිරීමටය. කිරිගරුඬ හා කළාල-නූල් සායම් පෙවීම සඳහා ද මෙය යොදනු ලැබේ. ගල් අඟුරු තාර සායම්වලට වඩා මෙය විශිෂ්ටය. රසායනික සූචකයක් වන ලිට්මස්වල තිබෙන මූලික ද්‍රව්‍යය ආකිල්ය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආකිල්&oldid=7740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි