ආජන්ටිනාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දකුණු ඇමෙරිකාවේ සමූහාණ්ඩු රාජ්‍යයකි. බටහිර දේශාංශ 57° හා 73°ත් දක්ෂිණ අක්ෂාංශ 30° හා 52°9ත් අතර පිහිටි ආජන්ටිනාව උතුරේ සිට දකුණට සැතපුම් 2,300ක් පමණ දිගය. එහි වැඩි ම පළල සැතපුම් 930කි. වර්ග සැතැපුම් 1,084,359ක් විශාල ආජන්ටිනාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් 1/3ක් පමණ වේ. දකුණු ඇමෙරිකා රාජ්‍යයන් අතුරින් බ්‍රසීලයට පමණක් කුඩා වූ මෙරට ලෝකයේ රටවල් අතර විශාලත්වයෙන් අටවැනි තැන ගනී. ජනගහනය (1960) 20,959,100කි. බටහිරින් හා දකුණින් චිලී රට ද උතුරින් උරුගුවේ, බ්‍රසීලය, පැරගුවේ හා බොලීවියා යන ප්‍රදේශයන් ද නැගෙනහිරින් අත්ලන්තික් සාගරය ද හිම් කොට ඇති ආජන්ටිනාවට ඇන්ඩීස් කඳු වැටියත්, උරුගුවේ සහ පැරනා ගංගාත් අත්ලන්තික් සාගරයත් තුන් පසෙකින් ස්වාභාවික මායිම්ව තිබේ. භූවිෂමතා ලක්ෂණ අනුව ආජන්ටිනාව ප්‍රධාන කොටස් පහකට බෙදේ. එනම්, ආජන්ටිනාව සහ චිලී රට අතර දේශසීමාව වන ඇන්ඩීස් කඳුවල නැගෙනහිර බෑවුම්, අර්ධ ඝර්ම කලාපීය දේශයක් වන ග්‍රාන් චාකෝ තැනිතලාව, ඊට නැගෙනහිරින් පිහිටි ආජන්ටිනා මෙසොපොටේමියාව හෙවත් පැරනා පැරගුවේ නිම්නය, සමශීතෝෂ්ණ කලාපික පැම්පාස් තණබිම්හ ඊට දකුණින් පිහිටි අර්ධ කාන්තාරයක් වන පැටගෝනියාව ද වේ.

ආජන්ටිනාවේ බටහිර දේශසීමාව ඔස්සේ පමණක් නොව, මුළු දකුණු ඇමෙරිකා මහාද්වීපයේ බටහිර වෙරළ දිගට ම පිහිටියා වූ ද කිසි ම තැනක සැතපුම් 100කට වඩා පටු නොවූ ද ඇන්ඩීස් කඳුවැටියේ නැගෙනහිර බෑවුම පැසිෆික් හෝ අත්ලන්තික් සාගරික බලපෑමෙන් ඈත් වූ වියළි ප්‍රදේශයකි. මෙහි දකුණු ප්‍රදේශයෙහි අකොන්කගුවා (22,835), තුපුන්ගාතෝ (22,310), මර්සෙදාර්යෝ (21,878), බොලකාන්ලැනින් (12,270) කොක්රේන් (12,159), ෆිට්ස්රෝයි (11,073) ආදි ශිඛර ඇත. ඇන්ඩීස් කඳුවැටියෙන් පටන් ගෙන ආජන්ටිනාව දෙසට ගලන ගංගා කීපයක් ඇත. වයඹ දිග ආජන්ටිනා ඇන්ඩීස් කොටසෙහි බොලීවියා දෙසට බෑවුම් වූ වියළි සානුවක් (පූනා) වේ.

කඳුවැටි අතර විශාල වියළි ද්‍රෝණි (ක්විබ්‍රාඩා) තිබේ. ටුකුමාන් නගරයට උතුරින් වූ සමාන්තර කඳු වැටි අතර නිම්නයන්හි කරදිය විල් (සලීනා) ඇත. අඩි 6,000–7,000ක් පමණ ඉහළ ඇන්ඩීස් දියබෙත්ම ආශ්‍රිතව ද විල් රාශියක් ඇත. නාවෙල් වාපී (Nahul Huapi) විලෙන් දකුණට ඇන්ඩීස් කඳු ප්‍රදේශ එකම කඳු වැටියක් බඳුය.

ඇන්ඩීස් කඳු වැටියට ද ආජන්ටිනා මෙසොපොටේමියාවට සහ පැම්පා ප්‍රදේශයට ද මැදි වී ඇති ග්‍රාන් චාකෝ ප්‍රදේශය, ඇන්ඩීස් ප්‍රදේශයේ පස් සේදීයාම නිසා තැන්පත් වී ඇති දියළුවෙන් ගොඩ නැඟී තිබේ. ආජන්ටිනා වෙන් 1/5ක් වන මේ ප්‍රදේශය වර්ග සැතපුම් 400,000ක් පමණ විශාල වූ අනූප භූමියකි.

ආජන්ටිනා මෙසොපොටේමියාව යැයි හඳුන්වනු ලබන්නේ අත්ලන්තික් වෙරළට බටහිරින් ද චාකෝ තැන්නට නැගෙනහිරින් ද පැරනා සහ උරුගුවේ ගංගාවන්ට මැදිව ද පිහිටියා වූ සාරවත් දියළු තැන්නකි. මෙය ද චාකෝ තැන්නට සමාන වූ අර්ධ ඝර්මකලාපීය ප්‍රදේශයකි. ගංගා ආශ්‍රිත පෙදෙස් වගුරු සහිත නමුත් සෙසු පෙදෙස් ක්‍රමයෙන් බ්‍රසීලියානු සානුව දෙසට නැග්ම ඇති රැළිබිම්ය. ග්‍රාන් චාකෝහි මෙන් මෙහි ද සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට අඩි 600-700කට වැඩි නොවේ. චාකෝ ප්‍රදේශයෙහි වැලි කඳු නිසා ජලබැස්මට බාධා ඇතිවන නමුත් මෙහි එසේ නොවේ.

බුවනෝස් අයිරිස් ප්‍රදේශයේ සිට සැතපුම් 350-400ක් ඔස්සේ අවානක් මෙන් රට මැදට විහිදී ඇති පැම්පා තණ බිම වර්ග සැතැපුම් 250,000ක් පමණ විශාලය. ග්රැනිට් සහ ස්ඵටික පාෂාණයන්ගෙන් සැදී ඇති කඳු ප්‍රදේශයක් මතුපිට තැන්පත් වී ඇති අඩි 985ක් පමණ ඝන දියළු පස් සහ ලොවෙස් පස් තට්ටුවක් නිසා මේ ප්‍රදේශය එක ම විශාල තැනිතලාවකි. මෙහි සාමාන්‍ය උස අඩි 65 සිට 400 දක්වා වේ. අතරින් පතර, ලොවෙස් පසින් නොවැසුණු සියෙරා ටැන්ඩිල් ආදි කඳු කීපයක් තිබේ.

දකුණු ආජන්ටිනාවෙහි පිහිටියා වූ පැටගෝනියා සානුව අතරින් පතර ආකීය පාෂාණ ද සහිත තෘතීයික කාලීන වැලිගල් තට්ටුවකින් සෑදුණාවූ ද වායුඛාදනයට භාජන වී ඇත්තාවූ ද අර්ධ කාන්තාරයකි. අත්ලන්තික් වෙරළාසන්නයේ දී සාමාන්‍යයෙන් අඩි 300ක් පමණ උස් වූ පැටගෝනියානු සානුව බටහිර සීමාවන්හි දී මුහුදු මට්ටමේ සිට අඩි 1,600ක් පමණ උසය. ජල ඛාදනයට වඩා වායුඛාදනයේ බලපෑම නිසා මේ උස් සමභූමිය ප්‍රපාතාකාර බෑවුම් සහිත කැනියම්වලින් කැපී තිබේ. ආජන්ටිනාවට අයත් ටියෙරා ඩෙල්ෆියු ගෝ දූපතෙහි නැගෙනහිර කොටස ද භූලක්ෂණ අතින් පැටගෝනියා උස් සමභූමියට සමානය.

ඇන්ඩීස් කඳුවලින් පටන් ගන්නා ගංගා කීපයක් පැටගෝනියාව ඔස්සේ අත්ලන්තික් සාගරයට ගලයි. චිකෝ නම් අතු ගංගාව සහිත චුබට් ගඟ මින් ඉතා වැදගත්ය. ගංගාවන් මෙන් ම බටහිර පැටගෝනියාවේ ඇන්ඩීස් කඳු පාවුල වූ විල් රාශියක් ද ඇන්ඩීස් ශිඛරයන්ගේ හිම දියවීමෙන් වේ. බ්යේද්මා, බුවනෝස් අයිරිස්, ආජන්ටිනෝ හා නාවෙල් වාපී ඉන් ඉතා ම විශාල විල්ය. පැටගෝනියාවෙහි සියලු ම ගංගාවන් නැගෙනහිරට ගලන නමුත් බුවනොස් අයිරිස් විලේ ජලය ඇන්ඩීස් කඳුවැටිය හරහා ශාන්තිකර සාගරයට ගලයි. පැටගෝනියාවේ උතුරු සීමාව සහ පැම්පා දකුණු සීමාව ආශ්‍රිතව පිහිටි නීග්‍රෝ සහ කොලරාඩෝ ගංගා යාත්‍රා මාර්ග වශයෙන් වැදගත්ය. සැතපුම් 400ක් දිග නීග්‍රෝ ගඟ විශාලත්වයෙන් දෙවැනි වනුයේ ප්ලාතා ගඟට පමණි. පැරනා-පැරගුවේ සහ උරුගුවේ ගංගාවන්ගෙන් සැදුණා වු දිගින් සැතපුම් 2,330ක් වූ ද සැතපුම් 1,997ක් දුර නැව් යාත්‍රා කළ හැක්කා වූ ද ප්ලාතා ගඟ ආජන්ටිනාවේ විශාලතම ගංගාව ලෙස සලකනු ලැබේ. බ්‍රසීලයේ කඳුවලින් පටන් ගෙන දකුණට ගලා මොන්ටිවීඩියෝ නගරය අසල අත්ලන්තික් සාගරයට වැටෙන මේ ගංගාවන් සහ ඒවායේ අතු ගංගා ආජන්ටිනාව සහ ආසන්න රාජ්‍යයන් අතර දේශසීමාවන් ලකුණු කිරීමට උපකාර කරගෙන තිබේ. රියෝ ද ලා ප්ලාතා, ඇත්ත වශයෙන් ගඟක් නොව හැ. 100ක් දිග 23ක් පළල පුනීල මෝයකි. මොන්ටිවිඩියෝ නගරය අසල දී මෙම මෝය සැතැපුම් 56ක් පළලය. සුප්‍රසිද්ධ ඊශ්වාසු දිය ඇල්ල ඇත්තේ සැතපුම් 380ක් දිග ඊග්වාසු ගඟ පැරනා ගඟට එක්වන තැනට නුදුරුවය.

දේශගුණය

අක්ෂාංශ 33ක් හරහා (ද.අ. 22°–55°) පැතිරී ඇති ආජන්ටිනාවේ දේශගුණික කලාප කීපයක් ඇත. අර්ධ ඝර්ම කලාපීය දේශගුණයක් ඇති චාකෝ තැන්න සහ පැරනා-පැරගූවේ දේශය හැරෙන්නට ආජන්ටිනාවේ සෙසු දකුණු ප්‍රදේශ සමශීතෝෂ්ණ කලාපයේ පිහිටියේය. චාකෝ ප්‍රදේශයෙහි සාමාන්‍ය උෂ්ණත්වය පැ. 73° වන අතර සාමාන්‍ය වර්ෂාපතනය අඟල් 63ක් පමණ වේ. මෙහි සිසිර ඍතුව ශීතය. එහෙත් වියළිය. ග්‍රීෂ්ම ඍතුව ඉතා උෂ්ණය. එහෙත් වැසි සහිතය. සාගර සුළං නොලැබෙන පූනා උස් සම භූමිය ආදි ආවරණය වූ පෙදෙස්වල සාමාන්‍ය උෂ්ණත්වය පැ. 57° පමණ වන අතර අඟල් 5ක සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් වුව ද ලැබෙනුයේ කලාතුරකිනි. සෙසු ඇන්ඩීස් බෑවුම්වල උෂ්ණත්වය පැ. 62°–68° පමණ වේ. ඇන්ඩීස් කඳුවැටියෙන් ආවරණය වී ඇති නිසා පැසිෆික් සාගරික සුළඟින් හෝ දුර වැඩිකම නිසා අත්ලන්තික් සාගරික සුළඟින් හෝ වැසිපල නොලබන නැගෙනහිර ඇන්ඩීස් බෑවුම්වල හුත්වී නගරය අසල පෙදෙස්වල අඟල් 29ක පමණ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයක් ඇතත් සාං හ්වාන් හා අවට පෙදෙස්වලට ලැබෙනුයේ අඟල් 3ක වාර්ෂික වර්ෂාපතනයක් පමණි. ග්‍රීෂ්ම ඍතුව මෙහි වර්ෂාධික කාලයයි. ගිනිකොන දිග වෙළෙඳ සුළඟින් වැසිපල ලබන පැම්පා ප්‍රදේශයෙහි වෙරළාසන්න පෙදෙස්වලට අවුරුද්ද මුළු දාම වැසිපල ඇත. බුවනෝස් අයිරිස්හි වාර්ෂික වර්ෂාපතනය අඟල් 37කි. කෝර්දෝවාහි අඟල් 28කි. මධ්‍යස්ථ දේශගුණයක් ඇත්තා වූ පැම්පාස් ප්‍රදේශයෙහි උෂ්ණත්වය පැ. 60°-70° පමණ වේ. පැම්පා ප්‍රදේශයෙන් දකුණට වර්ෂාව මෙන් ම උෂ්ණත්වය ද ක්‍රමයෙන් අඩු වේ. වියළි සුළං නිසා මෙහි විල් වුව ද සමහර විට සිඳී යයි. අඟල් 8ක් පමණ වූ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනයෙන් වැඩි කොටසක් ලැබෙනුයේ ගීත ඍතුවේ දීය. නීග්‍රෝ හා චූචූට් නිම්නයන්හි වර්ෂාපතනය අඟල් 10-30 අතර වේ.

ස්වාභාවික වෘක්‍ෂලතාදිය

ආජන්ටිනාවේ ස්වාභාවික වෘක්‍ෂලතාදිය දේශගුණික විවිධතා අනුව බෙදී ඇත. චාකෝ ප්‍රදේශයන්හි ඝර්මකලාපීය වනාන්තරවල තාල වර්ගයේ ගස් ද තද ලී සහිත විශාල ගස් වර්ග ද වැඩේ. මෙහි වැඩෙන ක්විබ්‍රාකෝ ගස ආජන්ටිනාවේ වැදගත් ඇට හා සම් කර්මාන්තයක පදනම වේ. ජලය සහිත වගුරු බිම්වල සමහර විට උස තණකොළ ද වැස්ස අඩු උස් පෙදෙස්වල පතොක් වර්ග ද බහුලව වැඩේ. ජලය සහිත වගුරු බිම්වල සමහර විට උස තණකොළ ද වැස්ස අඩු උස් පෙදෙස්වල පතොක් වර්ග ද බහුලව වැඩේ. සමශීතෝෂ්ණ තණ බිමක් වන පැම්පාහි පසේ ස්වභාවය සහ දේශගුණික බලපෑම නිසා උස ගස් නොවැඩේ. මෙහි ස්වභාවයෙන් වැවෙන රළු තණකොළ වෙනුවට දැන් නොයෙක් වර්ගයේ සත්ව ආහාර වවනු ලැබේ.

නිසරු වියළි අර්ධ කාන්තාරයක් වන පැටගෝනියාවෙහි ස්ටෙප් තණබිම් තිබේ. තැනින් තැන පතොක් ආදි කටු සහිත කුඩා ගස් දක්නට ඇත. දිය පාරවල් ඔස්සේ වැඩෙන තණ පඳුරු ආදිය බැටළු ආහාරයකි. ඇන්ඩීස් කඳු පාවුල ස්වාභාවික වෘක්ෂලතාදිය ද පැටගෝනියාවේ වෘක්ෂලතාදියට සමාන වේ. ටියෙරා ඩෙල්ෆියුගෝහි හා ඇන්ඩීස් බෑවුම්වල ඉහළ පයින්, සයිප්‍රස්, සීඩර් ආදී ගස් වැවෙන කේතුධර වනාන්තර තිබේ.

ආර්ථික ව්‍යාපාර

ආජන්ටිනාවේ ඉතා ම වටිනා ස්වාභාවික ධනය වනුයේ විශේෂයෙන් පැම්පා පෙදෙස පුරා ඇති කළු පසයි. කෘෂිකර්මාන්තය හා පශුකර්මාන්තය ආජන්ටිනා වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයි. 19 වැනි ශත වර්ෂය කෙළවර දී ගොවිජනපද ක්‍රමයක් සංවිධාන ය වූවායින් පසු පැම්පාහි ධාන්‍ය ගොවිතැන හා සත්ව පාලනය පුදුමාකාරයෙන් දියුණු විය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව පෙරොන් ආණ්ඩු ක්‍රමය යටතේ සංවිධානය කරනු ලැබූ පස් අවුරුදු සැලැසුම් දෙකක් (1947-1951 හා 1952-1956) අනුව ආජන්ටිනාව කාර්මීකකරණය කරා පිය නැඟීය.

ආජන්ටිනාව ලෝකයේ ඉතා වැදගත් කෘෂිකාර්මික රටකි. 1958 දී කෘෂිකාර්මික සංගණනය අනුව එහි වගා කළ බිම් ප්‍රමාණය අක්කර 62,450,000ක් පමණ වේ. අක්කර 700,000,000ක් පමණ විශාල වූ ගොඩබිමෙන් 41%ක් තණ බිම් ද 32%ක් වනපෙත් හා මුඩුබිම් ද 11%ක් ගොවිබිම් ද වෙයි. මුළු බිමෙන් 1/3ක් පමණ ධාන්‍ය වගාවට යෙදිය හැකි නමුත් දැනට වගාකර ඇත්තේ ඉන් අඩක් පමණි. ඉනුදු 1/5ක් යොදා ඇත්තේ තිරිඟු ගොවිතැනටය. බුවනොස් අයිරිස්, සාන්තාෆේ, කෝර්දෝවා හා ඒන්ත්‍රෙරියෝස් ප්‍රධාන වශයෙන් තිරිඟු වගා කරන ප්‍රදේශයෝය. තිරිඟු වැවීම අතින් ආජන්ටිනාව දෙවැනි වනුයේ ඇමෙරිකා එක්සත් ජනපදයට හා කැනඩාවට පමණි. ආජන්ටිනාවේ වාර්ෂික තිරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 60 ලක්ෂයක් පමණ වේ. පැපා හා පරානා-පරාගුවේ ප්‍රදේශයන්හි වැදගත් ධාන්‍ය වර්‍ගය ඉරිඟුය. එය තිරිඟුවලට දෙවන තැන ගනී. ඇමෙරිකා එක්සත් ජනපදය ආජන්ටිනාවට වඩා ඉරිඟු වගා කළත් එම අස්වැන්නෙන් වැඩි කොටස සත්වාහාර වශයෙන් යොදනු ලැබේ. එලෙසින් අභ්‍යන්තර ප්‍රයෝජනයට නොගන්නා බැවින් ආජන්ටිනාව ඉරිඟු පිටරට යවන රටවල් අතුරෙහි මුල් තැන ගෙන තිබේ. 1961-1962 සංඛ්‍යාලේඛන අනුව ආජන්ටිනාවේ බාර්ලි මෙ.ටො. 800,000ක් ද, ඕට් මෙ.ටො. 700,000ක් ද රයි මෙ.ටො. 695,000ක් ද වී මෙ.ටො. 152,000ක් ද ඉපැදිණි. තෙල් ලබාගැනීම පිණිස ලින්සිඩ්, සූර්‍යයකාන්ත, ඔලිව්, රටකජු හා කපු ද ආජන්ටිනාවේ වවනු ලැබේ. 1961–1962 වර්ෂයේ දී ලින්සිඩ් ඇට මෙ.ටො. 818,000ක් ද සූර්යකාන්ත ඇට මෙ.ටො. 1,171,000ක් ද ආජන්ටිනාවේ උපදවන ලදි. සම් පදම් කිරීමට ගන්නා ටැනින් උපයන ප්‍රධාන රට ද ආජන්ටිනාවය. ක්විබ්‍රාකෝ ගසේ පොතුවලින් ටැනින් සාරය ලබාගන්නා කර්මාන්තශාලා 20ක් පමණ ආජන්ටිනාවේ තිබේ. පැම්පා ප්‍රදේශය තරම් සාරවත් නුවූවත් වයඹ දිග ආජන්ටිනාවේ චාකෝ ප්‍රදේශයෙහි ද කෘෂිකර්මාන්තය නොදියුණු නොවේ. එම පෙදෙසේ ටුකූමාන් දිස්ත්‍රික්කයෙහි ජලසම්පාදනය කරනු ලබන ගොවිපළවල ආජන්ටිනාවට අවශ්‍ය උක් සීනිවලින් 70%ක් පමණ නිපදවීමට තරම් උක් වවනු ලැබේ. ආජන්ටිනාවේ උක් සීනි කම්හල් 36ක් හා බීට් සීනි කම්හලක් ද ඇත්තේය. තේ හා සමාන පානයක් පිළියෙල කිරීමට යොදා ගන්නා යර්බා මාතේ (yerba mate) ආජන්ටිනාවේ වැදගත් ආර්ථික පැළෑටියකි. මෙන්ඩෝසා, සාංහ්වාන්, කැටමාර්කා සහ ලාරියෝ හා යන පෙදෙස් මිදි වැවීම ගැන ප්‍රසිද්ධියක් උසුලයි. දුම්කොළ, කපු, අර්තාපල්, දෙහි, දොඩම් හා සෝයා බෝංචි ආජන්ටිනාවේ අර්ධ ඝර්ම කලාපීය පෙදෙස්වල වවනු ලබන අනෙක් ද්‍රව්‍යයෝය. අර්ධ කාන්තාරයක් වන පැටගෝනියාවෙහි ද ජල පහසුකම් ඇති පෙදෙස්වල මිදි, ඇපල්, පෙයාර් ආදි පලතුරු වවනු ලැබේ. මනුෂ්‍ය ආහාරයක් වශයෙන් වැදගත් නුවූවත් සත්වාහාර සඳහා වවන පැළෑටි වර්ග ද ආජන්ටිනාවේ ආර්ථික වැවිලි ගණයට ඇතුළත්ය. ඇල්ෆැල්ෆා සහ ලුස'න් තණකොළ වැවීම සඳහා සෑම ගොවිපළකම 40%කට නොඅඩු බිම් පෙදෙසක් යොදා ඇත.

තිරිඟු හා ඉරිඟු වැවීම සම්බන්ධයෙන් මුල් තැන ගන්නා පැම්පා ප්‍රදේශය ම සතුන් ඇති කිරීම සම්බන්ධයෙන් ද ප්‍රථම ස්ථානය ගනී. ආජන්ටිනාවේ ඇති කරනු ලබන සතුන්ගෙන් 65%ක් ම පැම්පා තණබිම්වලින් පෝෂණය වෙයි. 19 වැනි ශතවර්ෂයේ අවසාන භාගයේ දී ද පැම්පා ප්‍රදේශය ඉතා සුළු ජනගහනයක වාස භුමිය ව පැවතිණ. එකල ආජන්ටිනා ගවයන් වඩාත් ප්‍රයෝජනවත් වූයේ සම් හා අං ලබාගැනීමටය. පණපිටින් සත්තු ද එකල යුරෝපාදි රටවලට යවනු ලැබූහ. ශීතනයෙන් මස් කල් තබාගැනීමේ ක්‍රමය සොයා ගැනීමෙන් පසු 1877 දී ගීත ගබඩා සහිත නැව්වලින් ආජන්ටිනාවේ සිට ගවමස් සහ බැටළු මස් පළමුවරට පිටරට යවන ලදි. එතැන් පටන් සතුන් ඇතිකිරීම පෙරට වඩා ආජන්ටිනාවේ දියුණු විය. 1939 දී නොයෙක් අන්දමට සකස් කළ මස් ටොන් 580,000ක් පිටරට යවන ලදි. ආජන්ටිනාවේ නිර්යාතයන්ගෙන් 3ක් මස් කර්මාන්තය ආශ්‍රිත ද්‍රව්‍යයෝය. වෙරළාසන්න සමහර පෙදෙස්වල ගවයන් ඇති කරන්නේ මස් පිණිස නොව ගව සාරය ලබාගැනීම සඳහාය. 1950 දී එරට මස් ශීතකරණ කර්මාන්ත ශාලා සියල්ල ම රජයේ පාලනය යටතට ගනු ලැබීය. ආජන්ටිනාවේ ගව සංඛ්‍යාව 410 ලක්ෂයක් (1959) පමණ වේ. බුවනෝස් අයිරිස්, කෝර්ටියෙන්ටේස්, සාන්තාගේප්, කෝදෝවා හා එෆ්ෆෙරියෝස් ගව පාලනය ඉතා ම දියුණු ප්‍රදේශයෝය. විශේෂයෙන් ම ගවමස් පිටරට යවන රටවල් අතුරෙන් ආජන්ටිනාව මුල් තැන ගනී. බටර් හා කේජු ද ආජන්ටිනාවේ නිර්යාතයන්ට ඇතුළත්ය.

බැටළුවන් ඇති කිරීම අතින්ද මෙරට දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවට පමණි. බැටළු පාලනය ඉතා ම දියුණු පැටගෝනියාවෙහිය. 1959 සංඛ්‍යා ලේඛන අනුව ආජන්ටිනාවේ ඇති කරන ලද බැටළුවන් සංඛ්‍යාව 46 ලක්ෂයක් පමණ වේ. 1960 දී බැටළු ලොම් ටොන් 185,500ක් පමණ රැස් කරගනු ලැබීය. ඌරන් 40 ලක්ෂයක් ද අශ්වයින් 50.5 ලක්ෂයක් ද එළුවන් 50 ලක්ෂයක් ද 1959 දී ආජන්ටිනාවේ ඇති කළ බව වාර්තා වී ඇත්තේය. සත්ව පාලනය ආශ්‍රිත මස් කර්මාන්තය නිසා හම්, කුර, අං ආදියෙන් ද ආජන්ටිනාවට විශාල අමතර ආදායමක් ලැබේ.

ඛනිජ

ඛනිජ වස්තු හීන වූ ආජන්ටිනාවෙහි ප්‍රමාණවත් ලෙස හාරා ගනු ලබන්නේ ඛනිජ තෙල් පමණි. 1907 දී චූවූට් නිම්නය අසලින් සොයා ගනු ලැබූ ඛනිජ තෙල් නිධි සාන්තා ක්රුස් දක්වා විහිදේ. සෝල්ටා සහ නාවා අනික් ඛනිජ තෙල් ප්‍රදේශයෝය. ඛනිජ තෙල් කර්මාන්තය දියුණු කිරීම සදහා 1962 දී විශේෂ සංවර්ධන ආයතනයක් පිහිටුවනු ලැබීය. මෙන්ඩෝසාහි ගල් අඟුරු ලැබේ. රන්, රිදී, තඹ හා බෙලෙක් කැටමාර්කාහි තිබේ. යකඩ, ටංග්ස්ටන්, බෙරිලියම්, මැංගනීස්, තුත්තනාගම් හා හුණුගල් ආජන්ටිනාවේ ලැබෙන වෙනත් ඛනිජ ද්‍රව්‍ය ය.

කර්මාන්ත

මෙතරම් ස්වාභාවික ධනයක් සහ ඒ ආශ්‍රිත රැකියාවන් රාශියක් ද ඇති ආජන්ටිනාවෙහි නිෂ්පාදන කර්මාන්ත ද දුලබ නොවේ. 1914 පටන් මෙහි කර්මාන්ත ඉතා ශීඝ්‍රයෙන් දියුණු විය. ගොවි කර්මාන්ත ආශ්‍රිත ප්‍රදේශයන්හි ටින්වල ආහාර ඇහිරීම, පිටි ඇඹරීම, සීනි සෑදීම සහ වයින් පෙරීම ආදි කර්මාන්ත ද සත්ව ද්‍රව්‍යවලින් නොයෙක් අරුමෝසම් භාණ්ඩ සෑදීම ද මැලියම් නිපදවීම ද කෙරෙයි. පටකර්මාන්තය, විදුලි භාණ්ඩ තැනීම, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නිපදවීම හා සිමෙන්ති සෑදීම ආජන්ටිනාවේ වෙනත් දියුණු කර්මාන්තයෝයි.

ආජන්ටිනාවේ වනාන්තර ආශ්‍රිතව විශාල දැව කර්මාන්තයක් නැත. උතුරේ වනාන්තරවල වැවෙන ක්විබ්‍රාකෝ ගසින් සම් පදම් කිරීම සඳහා රසායන ද්‍රව්‍යයක් නිපදවා ගනු ලැබේ. පැරගුවේ සහ චාකෝ මේ කර්මාන්තය අතින් විශේෂ තැනක් ගනියි. මේ හැර මසුන් මැරීම සහ කිරි පිණිස සතුන් ඇතිකිරීම ද ජනාකීර්ණ ප්‍රදේශයන්හි සැලකිය යුතු කර්මාන්තයෝයි.

මෙතරම් දියුණු කෘෂිකාර්මික ආර්ථික ක්‍රමයක් ඇති රටක ගමනාගමන ක්‍රමයන් ද ඒ අනුව දියුණු වී යෑම පුදුමයක් නොවේ. 1857 දී ආජන්ටිනාවේ පළමුවැනි දුම්රිය මාර්ගය ඉදිකරනු ලැබීය. අද ඇන්ඩීස් කඳු හරහා චිලීරටට පවා යාමට ආජන්ටීන දුම්රිය මාර්ග තිබේ. 1927 දී ප්‍රංස සමාගමක් ආජන්ටිනාවේ ගුවන් ගමන් සේවය ඇරඹීය. බුවනොස් අයිරිස් ප්‍රධාන ගුවන් තොටුපළය. ප්ලාතා මෝයෙහි පිහිටි මේ නගරය ප්‍රධාන වරාය ද වේ. ආජන්ටිනාවේ ඉතා ම වැදගත් ස්වාභාවික වරාය බහියා බ්ලැන්කාය. රොසාරියෝ සහ සාන්තා ෆේ වැදගත් ගංතොටවල්ය. ආජන්ටිනාවේ අගනුවර බුවනෝස් අයිරිස් (බ.) නගරයයි.

සාමාන්‍යයෙන් වර්ග සැතැප්මකට 16ක් පමණ වූ ජනගහනයකින් යුත් ආජන්ටිනාවේ 1958 දී ලක්ෂයකට අධික ජනගහනයක් සහිත නගර කීපයක් ම විය.

බුවනොස් අයිරිස් - 4,500,000

රොසාරියෝ - 720,000

කෝර්දෝවා - 635,000

ලා ප්ලාතා - 410,000

ආවෙයානේදා - 380,000

සාන්තා ෆේ - 275,000

මාර් - දෙල් ප්ලාතා - 270,000

සාන්මිගෙල් - 251,000

මෙන්ඩෝසා - 165,000

ජනයා

ආජන්ටිනාවේ ජනගහනයෙන් වැඩි කොටස යුරෝපීය ප්‍රභවයක් ඇති ස්පාඤ්ඤ හා ඉතාලි ජාතිකයෝ ය. සෙසු ස්පාඤ්ඤ-ඇමෙරිකානු සමූහාණ්ඩු රටවල මෙන් මුල් පදිංචිකාරයන්ගෙන් හා අප්‍රිකානු වහලුන්ගෙන් පැවත එන ජනයා ද සැලකිය යුතු සංඛ්‍යාවක් මෙරට සිටිති. ක්‍රමයෙන් පිරිහෙන රතු ඉන්දියානුන්ගේ සංඛ්‍යාව දැනට 250,000ක් පමණ වේ. රතු ඉන්දියානු හා ස්පාඤ්ඤ විවාහයන් නිසා ඇති වී සිටින මෙ ස්ටීසෝ (මිශ්‍ර) ජාතිකයෝ ආජන්ටිනාවේ බලසම්පන්න ජන සමූහයකි. 18 වැනි ශත වර්ෂයේ අවසාන භාගයේ දී මෙස්ටිසෝ ජාතිකයන් හා යුරෝපීයයන් අතර දරුණු සටන් ද ඇති විය. ආජන්ටිනාව "සුදු ජනපදයක්" කිරීමේ ව්‍යාපාර 19 වැනි ශත වර්ෂයේ දී ඩොමින්ගෝ ෆොස්ටීනෝ සාර්මමියෙන්ටෝ ආදීන් විසින් මෙහෙයවනු ලැබීය. වර්තමාන ආජන්ටීන සංක්‍රමණ නීති අනුව දැනට එහි වසන "සුදු නොවූ" ජාතිකයන්ගේ නෑදෑයින්ට හැර අන්‍ය "සුදු නොවූ" ජනයාට මෙහි පදිංචියට පැමිණිය නොහැක.

ආගම

රෝමානු කතෝලික ආගම ප්‍රධාන ආගමයි. රජයේ ආගමක් නුවුවද රජය රෝමානු කතෝලික ආගමට ආධාර දිය යුතු බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි පවා සඳහන්ව ඇත. ජනාධිපති සහ උපජනාධිපති පදවි දැරිය හැක්කේ රෝමානු කතෝලිකයකුට පමණි.

අධ්‍යාපනය

ආජන්ටිනාවේ මෙකල පවත්නා නිදහස් අධ්‍යාපන ක්‍රමය 1868–74 කාලයේ එරට ජනාධිපති ධුරය දැරූ ඩොමින්ගෝ සාර්මියෙන්ටෝ විසින් සම්පාදිත වූවකි. වයස 6ටත් 14ටත් අතර ළමයින් අනිවාර්යයෙන් පාසල් යැවිය යුතුය. මූලික පාඨශාලා 15,000ක් පමණ ද උසස් විද්‍යාල 250ක් පමණ ද ජාතික විශ්වවිද්‍යාල 6ක් ද ආජන්ටිනාවේ ඇත. ශිෂ්‍යයින් 22,000කට අධික සංඛ්‍යාවක් ඉගෙනීම ලබන බුවනෝස් අයිරිස් විශ්වවිද්‍යාලය දකුණු අමෙරිකාවේ ඇති වැදගත් ම විශ්වවිද්‍යාලය හැටියට සැලකේ.

පොදු පුස්තකාල 1,700ක් පමණ ඇති මෙරට කෞතුකාගාර 90ක් පමණ ද ඇත. 1914 ජන ලේඛන වාර්තා අනුව ආජන්ටිනාවේ අකුරු නූගත් සංඛ්‍යාව සියේට 38ක් පමණ විය.

අපරාර්ධගෝලයේ ස්පාඤ්ඤ කථා කරන ජනයා වැඩි වශයෙන් සිටින රට වූ ආජන්ටිනාවේ ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ වුව ද ඉතාලි ඉංග්‍රීසි, ප්‍රංස ආදි භාෂා ද එහි භාවිත වේ. ලා ප්‍රෙන්සා නම් වූ ස්පාඤ්ඤ පුවත්පත ලෝකයේ ඇති උසස් ම පුවත්පත් සතරින් එකක් හැටියට සලකන ලදි.

ආණ්ඩුව

ආජන්ටිනා ආණ්ඩුව පෙඩරල් ක්‍රමය අනුව සැකසුණු නිදහස් සමූහාණ්ඩුවකි. මෙම සමූහාණ්ඩුව ප්‍රතිෂ්ඨාපනය වී ඇත්තේ වර්ෂ 1853 දී සම්මත කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවය. 1860, 1866, 1898 යන වර්ෂයන්හි දී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙහි යම් යම් සංශෝධන ඇති කරන ලද නමුත් එහි මූලික වෙනසක් ඇති නොවීය. ප්‍රදේශ රාජ්‍ය 24කින් ද එක් පෙඩරල් දිස්ත්‍රික්කයකින් ද ආජන්ටිනා සමූහාණ්ඩුව සංයුක්ත වේ. පොදු ජාතික ප්‍රශ්න හා ජාත්‍යන්තර කරුණු පිළිබඳ සියලු පොදු වගකීම් සහ බලතල සමූහාණ්ඩුව කෙරෙහි පැවරෙන අතර ඒ ඒ ප්‍රදේශ රාජ්‍ය සීමා තුළ පැනනඟින ප්‍රශ්න විසඳාගැනීම පිළිබඳ වගකීම සහ බලතල ඒ ඒ ප්‍රදේශ රාජ්‍ය කෙරෙහි පැවරේ. සමූහාණ්ඩුව ජනාධිපතිවරයා විසින් පාලනය කැරෙන අතර ඔහු විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරවරු ප්‍රදේශ රාජ්‍යයන් පාලනය කරති. අවුරුදු සයකට වරක් පත් කරනු ලබන ආණ්ඩුකාරවරු හුදෙක් ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයෝ වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙහි ලා ප්‍රදේශ රාජ්‍යයන්ට කිසිදු බලයක් ඇත්තේ නැත. එහෙත් ප්‍රදේශ රාජ්‍යයන්ගේ පාලන කටයුතුවලට ඇඟිලි ගැසීමේ අයිතිය සමූහාණ්ඩුව කෙරෙහි පැවරී ඇත.

ක්‍රි.ව. 1951 දී සම්මත කරන ලද මැතිවරණ ආඥාපනතින් සංශෝධිත වූ 1853 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා ද උපජනාධිපතිවරයා ද සාවුරුද්දකට වරක් සර්වජන ඡන්දයෙන් තෝරා පත් කරනු ලබති. දෙවන වරටත් ජනාධිපති පදවිය සඳහා තරග කිරීමේ අවසරය ද මෙම සංශෝධනයෙන් ලැබිණි.

ජනාධිපති උපජනාධිපති යන දෙදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවශ්‍යයෙන් ම කතෝලිකයන් විය යුතුය; උත්පත්තියෙන් ම ආජන්ටීනියානු විය යුතුය. ජනාධිපතියා මුඛ්‍ය විධායකයායි. සභිකයින් අට දෙනකුගෙන් සමන්විත වන විධායක සභාව හෙවත් කැබිනට් මණ්ඩලය පත් කරනු ලබන්නේ ඔහු විසිනි. කැබිනට් මණ්ඩලයේ සහාය පිණිස රාජ්‍ය ලේකම්වරුන් කිහිප දෙනෙක් ද පත් කරනු ලබති. සියලු ම විධායක කටයුතු පිළිබඳ වගකීම ජනාධිපතියා සහ කැබිනට් මණ්ඩලය කෙරෙහි පැවරේ. ජනාධිපතිවරයා සේනාධිනායක ද වේ. යුද්ධ, නාවික, අහස් යන ත්‍රිවිධ සේනාංකවලට ද අධිකරණ සහ අනික් සේවාවන්ට ද පත්කිරීම් කරනුයේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා මුළු ජාතියේ ම අසහාය නායකයා වෙයි.

උපජනාධිපතිවරයා උත්තර මන්ත්‍රණ සභාවේ සභාපතිවරයායි. මේ හැර ඔහුට කිසිදු දේශපාලන බලයක් ඇත්තේ නැත.

උත්තර මන්ත්‍රණ සභාව නියෝජ්‍ය මන්ත්‍රණ සභාව යන සභා දෙකින් ජාතික මන්ත්‍රණ සභාව හෙවත් පාර්ලිමේන්තුව සෑදී තිබේ.

පෙඩරල් දිස්ත්‍රික්කය වෙනුවෙන් දෙදෙනකු ද එක් එක් ප්‍රදේශ රාජ්‍යය වෙනුවෙන් දෙදෙනකු ද බැගින් උත්තර මන්ත්‍රණ සභාවට සභිකවරු තෝරාගනු ලබති. මෙහි සහිකයන් තෝරා පත් කරනු ලබන්නේ පෙර මෙන් ප්‍රදේශ රාජ්‍යයන් විසින් නොව මහජන ඡන්දයෙනි. සාවුරුදු කාලයක් සඳහා පමණක් පත්වන සභිකයන්ගෙන් තුනෙන් එක් කොටසක් තෙවසකට වරක් අස්විය යුතුය. එක් ප්‍රදේශ රාජ්‍යයක් වෙනුවෙන් සහිකයන් දෙදෙනකු පත් කරනු ලබන්නේ සෑම ප්‍රදේශ රාජ්‍යයක් ම දේශපාලන වශයෙන් සම තත්ත්වයෙහි පිහිටුවාලීමටයි.

නියෝජ්‍ය මන්ත්‍රණ සභාවේ සභික සංඛ්‍යාව 187කි. සභිකයන් තෝරනු ලබන්නේ සර්වජන ඡන්දයෙනි. එහි ආයු කාලය අවුරුදු සයකි. තෙවසකට වරක් සභිකයන්ගෙන් හරි අඩක් අස්විය යුතුය. අයවැය ලේඛනයට සහ වෙනත් මුදල් පිළිබඳ අණපනත්වලට මුල පිරෙන්නේ නියෝජ්‍ය මන්ත්‍රණ සභාවෙනි.

ඉතිහාසය

ක්‍රි.ව. 1516 ට පෙර ආජන්ටිනාවේ ඉතිහාසය ගැන වැඩි යමක් කිව නොහැක. යුරෝපීයයන් එහි ගොඩබසින විට සිටි රතු ඉන්දියානු ගෝත්‍රිකයින් ස්වෛරීව කණ්ඩායම් වශයෙන් ජීවත් වූයේ ආජන්ටිනාවේ තැනිතලාවලය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ දඩයම් කිරීමය. දැනට "ආජන්ටිනාව" නමින් හැඳින්වෙන ප්‍රදේශය සොයාගත්, මුලින් ම එහි පා තැබූ යුරෝපීයයා ජුවන් දියස් ද සෝලිස් නමැති ස්පාඤ්ඤ ජාතිකයා බව කියති. ඔහු ‘රියෝ ද ලා ප්ලාතා' නදිය සොයා ගැනීමෙන් පසු එය ස්පාඤ්ඤයට අයිති සේ ප්‍රකාශ කෙළේය. සෝලිස් මෙයට 'මිරිදිය මුහුද’ යන අරුත් ඇති 'මාර් ඩුල්චේ' යන නාමය මුලින් ම තැබීය. එහෙත් ඔහුගේ ම සමකාලිකයෝ එයට 'සෝලිස් නදිය' යයි පසුව නම් කළහ. මේ සොයා ගැනීමෙන් සෝලිස් තමාගේ නාමය අමරණීය කළ නමුත් ඔහුට රතු ඉන්දියානුන් අතින් මැරුම් කන්නට සිදු විය. එහෙත් ඔහුගේ සහචරයෝ මේ ප්‍රදේශය සොයාගැනීමේ සතුටුදායක පුවත ඔවුන්ගේ මව්රට වූ ස්පාඤ්ඤයට ගෙන ගියහ. එහි ප්‍රතිඵලය වූයේ ඉන් ඉක්බිති තව තවත් යුරෝපීයයන් ගලා ඒමය. 1526 මේ ප්‍රදේශයට ආ තවත් ස්පාඤ්ඤ ජාතිකයකු වූ සෙබස්තියන් කැබොට්, සෝලිස් සොයාගත් නදියට 'රිදී නදිය' යන අරුත් ඇති 'රියෝ ද ලා ප්ලාතා" යන දැනට භාවිතයේ එන නාමය දිනි. දැනට රොසාරියෝ නගරය නමින් දන්නා ස්ථානයේ ඔහු විසින් බලකොටුවක් ද ගොඩනඟන ලදි. ඔහුගෙන් පසු ද ස්පාඤ්ඤ ජාතිකයන් සමූහ වශයෙන් මෙහි පැමිණි නමුත් ඔවුන්ට ස්වදේශිකයින්ගේ දරුණු සතුරුකම්වලට මුහුණ දෙන්නට සිදුවූයෙන් ඒ ප්‍රදේශයේ ස්ථිර ජනාවාසයක් හෝ ජනපදයක් පිහිටුවා ගන්නට නොහැකි විය. 1537 දී ඩොමිංගෝ මාර්ටිනේස් ද ඊර්ලා නමැති ස්පාඤ්ඤ ජාතිකයෙක් සහචරයන් කණ්ඩායමක් ද සමඟ දැනට පරාගුවේ රාජ්‍යයේ අගනුවර බවට පත්ව ඇති ආසුන්සියෝන් නම් ස්ථානයට පැමිණ ලා ප්ලාතා නිම්නයේ ප්‍රථම ස්ථිර ස්පාඤ්ඤ ජනපදය එහි (ආසුන්සියෝන්හි) පිහිටෙව්වේය. වර්තමාන පරාගුවේ ජාතිකයන්ගේ ආරම්භය සිදු වූයේ මෙයින් පසුවය. මේ වර්ෂයේ ම බුවනෝස් අයිරිස්හි ස්ථිර ස්පාඤ්ඤ විජිතයක් පිහිටුවීමට කළ උත්සාහය ව්‍යර්ථ වූ නමුත් 1580 දී ජුවන් ද ගාරේ මේ වෙනුවෙන් දැරූ ප්‍රයත්නය සාර්ථක විය. මේ සිද්ධිය ස්පාඤ්ඤ ඇමෙරිකාවේ ඉතිහාසයේ වැදගත් එකකි.

ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ජයග්‍රහණය ගැන ඇසූ තවත් යුරෝපීය ජාතිකයෝ ද අලුත් ලෝකය කරා ගලා ඒමට වන්හ. ක්‍රි.ව. 1679 දී ප්‍රතිකාල්වරු ද බුවනොස් අයිරිස් ප්‍රදේශයට නුදුරුව ජනපදයක් පිහිටුවා ගත්හ. බ්‍රිතාන්‍ය ජාතිකයින් ද මේ වන විට අලුත් ලෝකයට පා තබා අවසානය. ප්‍රතිකාල්වරුන්ගෙන් හා ඉංග්‍රීසින්ගෙන් ස්පාඤ්ඤ විජිත ආරක්ෂා කර ගැනීම පිණිස ස්පාඤ්ඤයේ තුන්වන චාල්ස් රජු විසින් ලා ප්ලාතා නිම්නයේ සියලු ම ස්පාඤ්ඤ විජිතයන් ඒකාබද්ධ කොට විශාල රාජ්‍යයක් පිහිටුවා 1776 දී එයට ප්‍රතිරාජවරයෙක්ද පත් කරන ලදි. බුවනොස් අයිරිස් මෙහි අගනුවර විය. ක්‍රි.ව. 1806 දී සහ 1807 දී බ්‍රිතාන්‍යයෝ බුවනොස් අයිරිස් ප්‍රදේශය ස්පාඤ්ඤවරුන්ගෙන් පැහැර ගැනීමට යත්න දැරූහ. එහෙත් මේ දෙවාරයේදී ම ස්පාඤ්ඤවරුන්ට ලෙහෙසියෙන් ම ඔවුන් පලවා හැරීමට හැකි විය. මේ කාලය වන විට ආජන්ටිනාවේ වැසියන්ට තම මව්රට කෙරෙහි කළකිරීමක් ඇතිව තිබිණි. 1806 දී සහ 1807 දී බ්‍රිතාන්‍යයන් පැරදවීමෙන් උදම්ව සිටි ඔව්හු 1808 දී නැපෝලියන් (බ.) ස්පාඤ්ඤය ආක්‍රමණය කළ අවස්ථාවේ දී, එයින් ප්‍රයෝජන ගනිමින් ස්පාඤ්ඤයේ ග්‍රහණයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගත්හ (1810). එහෙත් මේ බව ප්‍රසිද්ධියේ ම පළකොට රියෝ ද ලා ප්ලාතාහි එක්සත් ප්‍රදේශ සමූහාණ්ඩුව පිහිටුවා ගත්තේ 1816 දීය. ආජන්ටිනාවේ ප්‍රථම මහජන නියෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියැවුණේ 1853 දීය. 1816 සිට ඒ දක්වා ම ඒ ප්‍රදේශය සිවිල් යුද්ධවලින් හා වාදභේදවලින් ද ගහනව පැවැත්තේය. ක්‍රි.ව. 1862 දී බුවනෝස් අයිරිස් නගරය රටේ අගනුවර වශයෙන් පිළිගෙන, අලුත් ආණ්ඩු ක්‍රමය ද ක්‍රියාවේ යොදවන්නට පටන් ගති. එහි ප්‍රථම ජනාධිපති හැටියට පත්වූයේ සේනාධිපති මිත්‍රෙ (1862–68) නමැත්තෙකි. ඔහු යටතේ ආජන්ටිනා සමූහාණ්ඩුව දියුණුවෙන් දියුණුවට පත්විය. එක්සත් ජනපදයේ දියුණුව සඳහා ජෝජ් වොෂිංටන් කළ සේවයට නොදෙවැනි සේවයක් මිත්‍රෙ සෙනෙවියා ආජන්ටිනාව වෙනුවෙන් කළ බැව් කියති. 1862 දී අලුත් ආණ්ඩු ක්‍රමය පටන් ගැනීමෙන් පසු අද දක්වා‍ ආජන්ටිනාව පාලනය වන්නේ ජනාධිපතියකුගේ මාර්ගයෙනි. ජනාධිපති මිත්‍රෙගේ කාලයේ දී සහ ඔහුගෙන් පසු ජනාධිපති පදවියට පත් සාර්මියෙන්ටෝ (1868–74) සහ නිකොලස් ආවෙයානේදා (1874-80) යන ජනාධිපතීන්ගේ කාලවල දී රටේ අධ්‍යාපනය දියුණු වූ අතර සමාජ ප්‍රතිසංස්කරණ කිහිපයකම අත්තිවාරම් ද වැටිණි. මේ ජනාධිපතිවරුන්ට පසුව බලයට පත් රෝසා ජනාධිපතිතුමාගේ කාලයේ දී (1880–86) ද රටේ දියුණුවක් පෙනෙන්නට තිබුණි. ජනාධිපති ජුස්ටෝ මහතාගේ පාලන යුගය (1931–37) සාම සාකච්ඡාවක් නිසා ප්‍රසිද්ධ විය. 1936 දෙසැම්බර් මස පළමුවන දා එම සාම සාකච්ඡාව බුවනොස් අයිරිස් නගරයේ පවත්වන ලද්දේ ජුස්ටෝ මහතාගේ ආරාධනාව පිටය. මෙයට එක්සත් ජනපද රාජ්‍යයේ ජනාධිපති රූස්වෙල්ට් මහතා ඇතුළු උතුරු සහ දකුණු ඇමෙරිකාවේ රාජ්‍ය 21ක පාලකයෝ සහභාගී වූහ. දෙවන ලෝක මහා සංග්‍රාමය ඇරැඹුණේ ඊළඟට ජනාධිපති බවට පත් වූ ආචාර්ය රොබර්ටෝ ඕර්ටිස් (1937–42) මහතාගේ කාලයේ දීය. මේ යුද්ධයේ දී එක් පක්ෂයකට හෝ නොබැඳී මධ්‍යස්ථව සිටි එක ම ඇමෙරිකානු රාජ්‍යය ආජන්ටිනාව බැව් කිව හැක. කෙසේ නමුත් අනික් ලතින් ඇමෙරිකානු රාජ්‍යයන් මෙන් ම ආජන්ටිනාව ද පක්ෂභේදවලින් හා යුද්ධහමුදා කැරලිවලින් පිරුණු රටක් විය. මේ වාදභේදවල ප්‍රතිඵලය වූයේ වරින්වර යුද්ධනිලධාරීන් ඒකාධිපති බලයට පත්වීමයි. ක්‍රි.ව. 1943 දී රැමිරෙස් නමැති සෙනෙවියකු විසින් යුද්ධ හමුදාව යොදවා කැරැල්ලක් ඇති කොට, එවකට ජනාධිපතිව සිටි කැස්ටිලෝ (1942–43) නෙරපා බලය අල්ලා ගන්නා ලදි. ඔහු සියලු ම දේශපාලන පක්ෂ තහනම් කොට ඒකාධිපති රජයක් පිහිටුවා ගත්තේය. අවුරුද්දක් ගතවන්නටත් පෙර තවත් එවැනි යුද්ධ හමුදා කැරැල්ලක් මගින් එදෙල්මිරෝ ෆාරෙල් නම් සෙනෙවියා ඒකාධිපති බලයට පත්විය (1944–45). එහෙත් ඔහුට ද වැඩි කලක් පාලනය ගෙන යන්නට නොලැබිණ. පෙරොන් (බ.) සෙනෙවියා කැරලිගසා බලය අල්ලා ගැනීම නිසාය. ඒකාධිපතියකු වුව ද පෙරොන් මහජන ප්‍රසාදය දිනා ගත්, රටේ දියුණුවට කටයුතු කළ පාලකයෙක් විය. එහෙත් කතෝලික සභාවේ කුමන්ත්‍රණ හේතුකොටගෙන 1955 සැප්තැම්බර් මාසයේ දී ඇති වූ යුද්ධ හමුදා කැරැල්ලක් නිසා ඔහු ද බලයෙන් ද පහවිය. ඔහුගෙන් පසු බලයට පත්වූයේ ජනාධිපති අරම්බුරුය. ඔහු කැරලිකරුවන්ට විරුද්ධව දැඩි නීතීරීති පැනවීමෙන් පසු 1949 පනවන ලද පෙරොන් ආණ්ඩුක්‍රමය අවලංගු කොට දමා 1853 පනවා තුබූ පැරණි ආණ්ඩුක්‍රමය නැවත පිහිටුවා ගති. මෙහි ප්‍රතිඵලය වූයේ ඔහුට විරුද්ධව පෙරොන් පාක්ෂිකයන් කැරලි ගැසීමය. එහෙත් යුද්ධ හමුදාව යොදවා මේ කැරලිකරුවෝ නිර්දය ලෙස මැඩලන ලදහ. ක්‍රි.ව 1958 පෙබරවාරි 23 දින පවත්වන ලද මහමැතිවරණයේ දී ආචාර්ය ආමුරෝ ප්‍රොන්ඩිසි නමැත්තා ජනාධිපතිවරයා වශයෙන් තෝරාගනු ලැබීය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආජන්ටිනාව&oldid=5789" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි