ආඥාදයක ආණ්ඩුව
(Dictatorship). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නොලත් බලතල සහිතව සාමාන්‍යයෙන් තනි පුද්ගලයෙකු විසින් පවත්වනු ලබන අත්තනෝමතික පාලන ක්රමයකි. මෙවැනි ආණ්ඩුවක් වූ කලි රාජාණ්ඩුවක් මෙන් උරුමයෙන් ලැබෙන බලය අනුව හෝ ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්‍රමයක් මෙන් මහජන ඡන්ද විමසීමකින් පැවරෙන බලය අනුව හෝ පිහිටුවනු ලබන්නක් නොව, පුද්ගලයෙකු විසින් බලාත්කාරයෙන් ලබාගන්නා බලය අනුව පිහිටුවනු ලබන්නකි. දේශපාලන බලය මහජනතාවට දීම හෝ නොදීම ආඥාදායකයාට අභිමත පරිදි කළ හැකිය. කොටින් කියතොත්, සම්පූර්ණ බලය රඳා පවත්නේ ඔහු අතෙහිය.
පැරණි යුගයේ දී ආඥාදායකයන් මුලින් ම පහළ වූයේ ඉතාලියෙහිය යනු සාමාන්‍ය පිළිගැනීමයි. එවක එරට රදල ක්‍රමය ශක්තිමත් පදනමක් පිට නොපැවැත්තේය. එමෙන් ම අධිරාජයන් සහ පාප්වරුන් අතර ඇති වූ අරගළ නිසා රාජාණ්ඩු ඇතිවීමට ද ඉඩ නොමැති විය. තත්වය මෙසේ වූයෙන් නගර ගණනාවක් ම වෙන් වෙන් වශයෙන් නිදහස් රාජ්‍යයන් බවට පෙරළිණි. මෙවැනි නගරවල පාලනය ගෙන යනු ලැබුයේ සමූහාණ්ඩු මගිනි. එහෙත් ඒ නගරවල විසු රදලවරුන් අතර ගැටීම් හේතුකොට ගෙන නිතර ම පාහේ කැරලි කෝලාහල ඇති විය. එබඳු කලබල සහිත අවස්ථාවල දී තමන්ට අභිමත පරිදි පාලනයක් ගෙන යෑමේ බලය පුද්ගලයකුට පවරා දීම යථෝක්ත සමූහාණ්ඩුවල සිරිත විය. මධ්‍යතන යුගයෙහි දී ඉතාලියේ ආඥාදායක ආණ්ඩු ඇති වූයේ කලාතුරකිනි. ඒ යුගයේ දී එම ආණ්ඩු අත්‍යන්තයෙන් ම බහුල ව පැවතුණේ ග්‍රීසියේය. ප්රජාපීඩක වූ මෙම ආඥාදායක ආණ්ඩු ක්‍රමය ග්‍රීසියේ පහළ වූයේ ද එහි රදල ආණ්ඩු ක්‍රමය පිරිහී යෑමෙන් පසුවය. චිරන්තන පාලන තන්ත්රය පිරිහීමට අනතුරුව ඇතිවන පක්ෂ අරගළ නිසා බලකාමී පුද්ගලයන්ට බලය පැහැර ගැනීමට ඉඩ ප්‍රස්තා පහසුවෙන් ම සැලසෙන බව අද වුව ද දක්නට ලැබේ.
දිගු කලක් මුළුල්ලේ පාප්වරුන්ගේ සහ අධිරාජයන්ගේ බලයට යටත්ව හුන් යුරෝපයේ රජවරු 15 වන සහ 16 වන ශතවර්ෂ වන විට ස්වෛරී රාජ්‍යයන් පිහිටුවීමට පටන් ගත්හ. එහෙත් රදලවරුන්ගේ බලය මුළුමනින් ම බිඳ දැමීමට රජවරුන්ට නුපුළුවන් වූ නිසා රටේ පාලන බලය සම්පූර්ණයෙන් ම තමන් අතට ගැනීමට ඔව්හු අසමර්ථ වූහ. එකල පිළිගනු ලැබූ ස්වාධිපත්‍ය මූලධර්මය දෙස බලන කල එවක විසූ රජවරුන්ට සර්ව සම්පූර්ණ බලයක් නොතිබුණ බව පෙනේ. රජුගේ බලය දේවප්‍රසාදය අනුව ලැබේය යන විශ්වාසය එම මූලධර්මයෙහි ඇතුළත් විය. පසුව හොබ්ස් (Hobbes) සහ ස්පිනෝසා (Spinoza) යන දාර්ශනිකයන් රජුට සම්පූර්ණ ආධිපත්‍යය අයිති වීමට තුඩු දුන් සිද්ධාන්තයක් ඉදිරිපත් කළ ද එහි සඳහන් බලතල ක්රියාවේ යෙදවීමට එකල විසූ රජවරුන්ට කිසි සේත් ඉඩ නොලැබිණ. රජවරුන්ගේ බලය පිළිබඳ අලුත් ම සිද්ධාන්තයක් 18 වැනි ශත වර්ෂයේ දී ෆිසියොක්රැට් (Physiocrat) නම් වූ ප්රංස ජාතික දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබීය. දේවප්‍රසාද මූලධර්මය ඉවත් කළ මොව්හු අලුත් ම පදනමක් මත සිද්ධාන්තයක් ඉදිරිපත් කළහ. මේ සිද්ධාන්තය හේතු කොට බිහි වූ හිතකාමී ඒකාධිපති ක්‍රමය යටතෙහි රජවරුන්ට පෙරට වඩා විශාල බලතල රැසක් හිමිකර ගැනීමට පුළුවන් විය. පාලන බලය තනි පුද්ගලයකු අත නොතිබිණි නම් එය කාර්යය සාධක නොවන බැව් fපිසියොක්රැස්ට්වාදීන්ගේ අදහස විය. ඒ එසේ වුව ද, රදලවරුන්ගේ සහ පූජකවරුන්ගේ බලය මුළුමනින්ම බිද දැමීමට නොසමත් වූ හිතකාමී අධිපතිවරුන් නියම ආඥා දායකයන් හැටියට ගණන් ගැනීමට නුපුළුවන.
නියම ආඥාදායක ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසුණේ ප්රංස විප්ලවයට පසුවය. ස්වාධිපත්‍යය මහජනතාව සතුව පවතින බව ප්‍රකාශ කරමින් රූසෝ නමැති ශාස්ත්‍රඥයා ඉදිරිපත් කළ මූල ධර්මය ප්‍රංසයේ තදින් මුල් බැස ගත්තේය. ප්රංස විප්ලවකාරීන් ආණ්ඩුවක් පිහිටුවීමට පටන් ගත්තේ මේ විශ්වාසය මුල්කොටගෙනය. මේ අයුරින් නවීන ලෝකයේ පළමුවෙන් පිහිටුවනු ලැබූ නියම ආඥාදායක ක්‍රමය ඇති කරනු ලැබුවේ එය ප්රජාතන්ත්රවාදීය යන ව්‍යාජයෙනි. ඒ ආඥාදායක පාලනය බිහි කෙළේ නැපෝලියන් බොනපාට්ය. මහජනාධිපත්යය කෙරෙහි එතරම් විශ්වාසයක් පැවති කාලයක ස්වකීය ආණ්ඩුක්රමය කෙරෙහි මහජන විශ්වාසය තිබුණු බව පෙන්නුම් කරනු සඳහා නැපෝලියන් ජනමතය ප්‍රකාශයට පත් කරවීම් වස් ඡන්ද විමසීම් පැවැත්වූයේය. ආඥාදායක ආණ්ඩුවක් පිහිටුවීමට ජැකොබින්වරුන් ගත් වෑයම අසාර්ථක වී නැපෝලියන්ගේ ප්රයත්නය සාර්ථක වූයේ නැපෝලියන් රටේ බලගතු ව්‍යාපාරිකයන්ගේ සහාය ද දිනාගත් නිසාය. එහෙත් නැපෝලියන් මේ පන්තිය සමඟ තමාගේ සබඳකම් සඟවමින් සාමාන්‍ය ජනතාවගේ සිත් දිනාගැනීමට නොයෙක් විධියේ උපායයන් යෙදුවේය. නැපෝලියන්ගේ පාලන කාලය තුළ දී ජැකොබින් පාලනයක් නැවත පිහිටුවනු ලබතැයි යන බියක් මහජනතාව තුළ පැවතිණි. මෙවැනි බියක් තිබීමෙන් ආඥාදායක ආණ්ඩුවක් කෙරෙහි මහජන විශ්වාසය වඩාත් දැඩි වනු නොඅනුමානය. ජර්මන් ජනතාව තුළ පැවති කොමියුනිස්ට් භීතිය හිට්ලර්ට සිය ආඥාදායකත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට බෙහෙවින් ම උපකාරී විය.
ලෝක සංග්‍රාමයට පසුව හොහෙන්සොලන්, හැට්ස්බර්ග් සහ රෝමනෝෆ් ඒකාධිපත්‍ය පාලන තන්ත්ර බිඳ වැටුණේය. මෙකී ආධිපත්‍යයන් පැවැති රටවල ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමය සුළු කලකට ජනප්‍රිය විය. එහෙත් මේ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්‍රම දුර්වල වූයෙන් ඒවා බිඳ වැටෙන්නට විය. රුසියාවේ සමාජ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුව (Social Democratic Government) බොල්ෂෙවික්වාදීන් විසින් බිඳ හෙළන ලදි. ඒ දුර්වල පාලනය වෙනුවට "නිර්ධන පන්තියේ ආධිපත්‍යය" පිහිටුවනු ලැබීය. මේ අවධියේ සිට ආඥාදායක පාලනයන්හි ඉතිහාසය නව මුහුණුවරක් ගත්තේය. මීට පෙර තිබුණු බොනපාට් ආධිපත්‍යය වැනි ආඥාදායක පාලන ඇති වූයේ ඒ ඒ රටවල ම තත්වය පසුබිම් කොටගෙනය. රුසියන් විප්ලවයෙන් පසු යුරෝපීය රටවල ඇති වූ ආඥාදායකයන් බොහෝ ගණනක් පහළ වූයේ කොමියුනිස්ට් ප්රකාශනයේ (Communist Manifesto) ප්‍රතිඵලයක් වශයෙන් යයි සැලකිය හැකිය. පාලන බලය ප්‍රධාන වශයෙන් රඳා පවත්නේ ආර්ථික බලය මතය යනු මාක්ස්ගේ ප්‍රකාශයක් විය. පාර්ලිමේන්තු ක්‍රමය සාමාන්‍ය ජනතාව සූරාකෑමට ධනපති පන්තිය විසින් යොදනු ලබන උපායකැයි ඉන් පැවැසිණ. මෙකී බලාත්කාර පාලන බලය නැතිකර දැමීමට සමත් එක ම ක්‍රමය තවත් බලාත්කාර ක්‍රමයක්ය යනු එහි දී නිගමනය විය. නිර්ධන පන්තියට පාලන බලය ක්රියාවේ යෙදීමට නුපුළුවන් හෙයින් ඔවුන්ට මඟ පෙන්වීමට නිර්ධන පන්තියේ ම නායකයන් ටික දෙනකු විසින් පාලන බලය අත්කරගත යුතු බව රුසියාව කළ ප්‍රකාශයයි. එහෙත් රුසියාවේ නායකත්වය ඇත්ත වශයෙන් උසුලනු ලැබුවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන් විසිනි. අන්තිමේ දී රුසියාවේ ඇති වුණේ තනි පුද්ගලයකුගේ ආඥාදායකත්වයකි. ස්ටාලින් (බ.) නියම වශයෙන් ආඥාදායකයකු ලෙස සැලකිය හැකිය.
පළමුවැනි ලෝක සංග්‍රාමයට පසුව පිහිටුවන ලද තවත් සැලකිය යුතු ආඥාදායක පාලන ක්‍රම දෙකක් නම් ෆැසිස්ට් සහ නාට්සි ඒකාධිපති පාලන ක්‍රමයයි. ෆැසිස්ට්වාදීන් කොමියුනිස්ට්වාදී උපායයන් ගණනක් ම උපයෝගී කොට ගත් නමුත් ඔවුන්ගේ මූලික අදහස් සකස් කර ගනු ලැබුවේ සම්මේලනවාදය (Syndicalism) ඇසුරෙනි. ජාතියේ ප්රභවය ආදි කරුණු පිළිබඳ මිථ්‍යා ප්‍රබන්ධ දේශපාලනයේ ප්‍රධාන සාධකය හැටියටත් බලාත්කාරකම සුදුසුම දේශපාලන උපාය හැටියටත් සම්මේලනවාදීහු සැලකූහ. මුසොලීනිට බලවත් ව්‍යාපාරිකයන්ගේ සහයෝගය ලැබුණේ කොමියුනිස්ට්වාදය පැතිරේය යන බියෙන් ව්‍යාපාරිකයන් පෙළුණ නිසාය. මහජනයා අතර ජනප්‍රිය වීම සඳහා මුසොලීනි යෙදූ තවත් උපායයක් නම් අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.
ජර්මන් ජාතිකයන් කවදත් රජයේ මහපෙන්වීම අපේක්ෂා කළ බව ඉතිහාසයෙන් පෙනේ. එහෙයින් ජර්මනියේ ආඥාදායක පාලනයක් ඇති කර ගැනීම එතරම් අපහසු නොවීය. නාට්සි පක්ෂයේ නායකයා වූ හිට්ලර් ජනතාවගේ සිත් දිනාගැනීමට සෑහෙන ආගමික උද්යෝගයක් දැක්වූ තැනැත්තෙක් විය. මහජනයාගේ සිත් කාවදිනසුලු විශාල ප්රචාරක වැඩ පිළිවෙළක් ඔහු ක්රියාවේ යෙදුවේය. ජර්මන් ජාතියේ ප්රභවය පිළිබඳව ඔහු ඉදිරිපත් කළ මිථ්‍යා ප්‍රබන්ධ (බෙහෙවින් ම යුදෙව්විරෝධී ප්‍රතිපත්තිය) ජනතාවගේ සිත් ගත්තේය.
දෙවැනි ලෝක සංග්‍රාමයට පසුව දකුණු ඇමෙරිකාවේ ආඥාදායක ආණ්ඩු කිහිපයක් ම ඇති වූයේය. ඒ ආණ්ඩු අතුරෙන් වඩාත් ප්‍රසිද්ධ වූයේ ආජන්ටිනාවේ ජුවන් පෙරොන්ගේ ආඥාදායක ආණ්ඩුවයි. පෝලන්තයේ පිල්සුඩ්ස්කිගේ ආඥාදායක ආණ්ඩුව ද පෘතුගාලයේ සලසාර්ගේ ආඥාදායක ආණ්ඩුව ද ස්පාඤ්ඤයේ ෆ්රැන්කෝ ජනරාල්වරයාගේ පාලන ක්‍රමය ද නූතන ආඥාදායක පාලන ක්‍රමවලින් සමහරකි.
ආඥාදායකත්වය යන සංකල්පය සාපේක්ෂ සංකල්පයකි. රටවැසියන් මුළුමනින් ම පාගා දමමින් ආඥාදායක පාලනයක් ගෙනයෑම කවදත් දුෂ්කරය. වැඩිකලක් යන්නට පෙර එවැනි පාලන තන්ත්ර බිඳ වැටෙනු ඇත. දකුණු වියට්නාමයේ ඩින් ඩියම් පාලනය බිඳ වැටුණේ මේ නිසා බව පැහැදිලිය. එහෙයින් නූතන ආඥාදායකයෝ හැකිතාක් දුරට තම රට වැස්සන්ගේ හිත් දිනා ගන්නා අයුරින් කටයුතු කරත්. මෙසේ කිරීමේ දී ඔවුන්ට සර්ව සම්පූර්ණ ආඥාදායකයන් වීම දුෂ්කර බව පෙනී යයි. ආඥාදායකයකු ලෙස සිය දේශපාලන කටයුතු පටන් ගත් පකිස්ථානයේ අයුබ් ඛාන් ආඥාදායකයෙකැයි අද සැලකිය නොහැක. ආඥාදායක ආණ්ඩු ක්‍රමයකට මහජන සහයෝගය ලැබුණ එය අත්තනෝමතික ක්‍රමයක් වන බැවින් ඒ යටතේ ඇතැම් මහජන අයිතිවාසිකම් නැති වී යෑම අනිවාර්යය. එහෙයින් ආඥාදායකත්වය දේශපාලන වශයෙන් මහජනතාව අත්‍යන්ත පීඩනයකට භාජන කරන පාලන ක්රමයකැයි කීමට නොහැකි වාක් මෙන් ම එය මහජනතාවගේ අයිතිවාසිකම්වලට මුළුමනින් ම ඉඩ තබන ආණ්ඩු ක්‍රමයක්යයි ද කිව නොහැකිය.
ආඥාදායකත්වය පිළිබඳ ඉතිහාසය දෙස බලන කල එය ඇරඹී ඇත්තේ සමාජයේ තදබල අවුල් සහිත තත්වයක් ඇසුරු කොට ගෙන බව පෙනේ. පවත්නා ආණ්ඩුවල දුර්වලතාව එය ඇති වීමට එක් හේතුවක් ලෙසත් විදේශීය ආක්‍රමණය තවත් හේතුවක් ලෙසත් සැලකිය හැකිය. තුර්කියේ මුස්තාෆා කෙමාල් පාෂා, චීනයේ චියං කායිෂෙක් හා බුරුමයේ නේන්වින් එක් විධියක ආඥාදායකයෝ යයි කිව හැකිය.
ආඥාදායක පාලන බිහි වන්නේ සාමාන්‍යයෙන් ප්රජාතන්ත්රවාදී සම්ප්රදායයන් නොමැති රටවලය. විශේෂයෙන් ආර්ථික ප්‍රශ්න උත්සන්න වී ඇති අවස්ථාවල දීත් විදේශීය ආක්‍රමණයන් පිළිබඳ භයක් පවත්නා අවස්ථාවල දීත් බලය යොදා ක්‍රියා කරන පුද්ගලයන්ට ආණ්ඩු බලය පැහැර ගැනීම දුෂ්කර නොවේ. මෙසේ පිහිටුවනු ලබන ආඥාදායක ආණ්ඩුක්‍රම ඒ ඒ රටවලට විශේෂ වූ දේශපාලන හා සමාජ තත්වයන් අනුව බෙහෙවින් වෙනස් වනු ඇත. ආඥාදායකත්වය නිරපේක්ෂ සංකල්පයක් වශයෙන් සැලකීමට නුපුළුවන් වන්නේ මෙවැනි හේතු නිසා යයි කිව හැකිය.
(සංස්කරණය: 1965)