ආටියොඩක්ටිලා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Artiodactyla). ආටියොඩක්ටිලා වනාහි මමාලියා (බ.) හෙවත් ක්ෂීරපායි වර්ගයට අයත් සත්ව ගෝත්‍රයකි. මමාලියා වර්ගයට අයත් ඇතැම් සත්වයන්ගේ ඉස්සරහ සහ පස්සා ගාත්වල ඇඟිලි, කුරය නමින් හැඳින්වෙන තද කොපුවකින් වැසී ඇත. මොවුන්ට නිය නැත. මේ කුර ඇති සත්වයෝ (උන්ගුලාටා බ.) ශාකවලින් ම ජීවත්වන්නෝය. ඔවුන්ගෙන් වැඩිදෙනා තණ කොළ හා වෙනත් පලා වර්ගවලට අතිශයින් ප්‍රිය කරත්. ආටියොඩක්ටිලා ගෝත්‍රය උන්ගුලාටා උපවර්ගයට අයත් වූ ඉතා වැදගත් ගෝත්‍රයකි. ආටියොඩක්ටිලයකුගේ සෑම පාදයක ම ඇත්තේ ඇඟිලි ඉරට්ට සංඛ්‍යාවකි. ගව, එළු, බැටළු, ඌරු, මුව, ජිරාෆ්, හිපොපොටේමස්, ඔටු, ඇන්ටිලෝප් යනාදි සත්තු මේ ගෝත්‍රයට අයත් වෙති. අශ්ව, ටෙපීර් හා කඟවේණ ආදි කුර ඇති අනික් සතුන්ගේ එක් එක් පාදයක ඇත්තේ ඇඟිලි ඔත්තේ සංඛ්‍යාවකි. මේ සත්තු පෙරිසොඩක්ටිලා (බ.) ගෝත්‍රයෙහි අඩංගු වෙති. ආටියොඩක්ටිලා ගෝත්‍රය ගණ 419කින් පමණ යුක්ත හෙයින් එය ක්ෂීරපායී ගෝත්‍ර අතුරෙන් දෙවැනි ස්ථානය ගනී. ගණ 619ක් පමණ ඇතුළත් රොඩෙන්ටියා (බ.) ගෝත්‍රය පළමුවැනි ස්ථානයෙහි ලා ගිණිය හැකිය. ආටියොඩක්ටිලා ගණ 419න් නෂ්ටප්‍රාප්ත වූ ගණ කිහිපයක් වෙත්.

ඉරට්ට සංඛ්‍යාවක් ඇඟිලිවලින් යුත් කුර ඇති සතුන් පළමුවෙන් 1847 දී වෙන ම ගෝත්‍රයක් ලෙස සලකන ලද්දේ මේ සතුන්ගේ පාද සලකා බැලීමෙනි. පාඇඟිලි ඉරට්ටේ සංඛ්‍යාවක් ඇතැයි යන අර්ථවත් ආටියොඩක්ටිලා යන ග්‍රීක නාමයෙන් මේ ගෝත්‍රය හැඳින්වූයේ ඕවන්ය. ආටියොඩක්ටිලයන්ගේ පාදවල සැකිල්ල පරීක්ෂා කළහොත් වෙනත් ක්ෂීරපායී සතුන්ගේ පාදවල තිබෙන ඇඟිලි පහ වෙනුවට මොවුන්ගෙන් සමහරුන්ට (නි. ඌරන්) ඇඟිලි සතරකුත් සමහරුන්ට (නි. ගවයන්) ඇඟිලි දෙකකුත් තිඛෙන බව අපට පෙනේ. පාදයක පළමුවැනි ඇඟිල්ල නොපෙනේ. දෙවැනි හා පස්වැනි ඇඟිලි අසම්පූර්ණය; නැතහොත් කුඩා වී පාදයේ ඉහළින් දෙපසෙහි හෝ පස්සා පැත්තේ පිහිටා තිබේ. මෙසේ පිහිටා තිබීම කරණකොටගෙන ඒවායින් සතාට ආධාරයක් ලැබෙන්නේ කලාතුරකිනි. සමහරවිට වැල්ල වැනි මෘදු බිමක සතා ඇවිදින කල මේවා තරමක් දුරට ආධාරකාරී විය හැකිය. ඌරන් හා කැරිබුවන් වැනි සත්තු මේ ඇඟිලිවලින් එසේ ප්‍රයෝජන ගනිත්. තුන්වැනි හා සතරවැනි ඇඟිලි ප්‍රමාණයෙන් සමානය. තව ද ඒ දෙක සතාගේ බර සමව උසුලා ගෙන සිටියි. සෑම පාදයක ම සමමිති අක්ෂය තුන්වැනි සහ හතරවැනි ඇඟිලි දෙකට මැදින් වැටෙයි.

ආටියොඩක්ටිලයන් බොහෝ දෙනකුට සතුරන් සමඟ සටන් කළ නොහැකි බැවින් උන්ගේ ආරක්ෂාව සඳහා වේගයෙන් දුවන්නට හැකිවීම ඉතා අවශ්‍ය ය. වේගයෙන් දිවීමට සුදුසු වන පරිදි ආටියොඩක්ටිලයන්ගේ ගාත්වල පහළ කොටස් දික් වී ඇත. සත්ව පරිණාමයෙහි දී පසුව පහළ වූ ආටියොඩක්ටිලයන්ගේ දික් වූ අපරපය 'පොදු අස්ථිය' සාදමින් ඒකාබද්ධ වී තිබේ. අන්වරාස්ථිය හා අනුජංඝාස්ථිය කුඩාව පවතී. ඇඟිලි දෙකක් තිබීම හේතුකොටගෙන එපිටින් පිහිටි හස්තකූර්ච පේළිවල ද අස්ථි දෙකක් ඇත්තේ ය. මේ අස්ථි දෙක ඊට මෙ පිටින් පිහිටි හස්තකූර්ච තුන සමඟ පූට්ටුවන අන්දමට දැඩි ලෙස සන්ධි වේ. වළලුකර සන්ධියේ තිබෙන අස්ථි දෙකෙන් අභ්‍යන්තර අස්ථිය වන ප්‍රකූර්චය නියම හැඩයකින් යුක්තය. මේ ප්‍රකූර්චයට ජංඝාස්ථිය සමඟ සන්ධිවීම සඳහා සෑම ක්ෂීරපායී සතකුට ම කප්පියක හැඩය ඇති මතුපිටක් තිබෙනු පමණක් නොව ප්‍රකූර්චයේ පහළ කෙළවරේත් එවැනි හැඩය ඇති මතුපිටක් තිබේ. මෙවැනි විශේෂ හැඩයක් ඇති ප්‍රකූර්චයක් ආටියොඩක්ටිලයන් සියල්ලන්ගේම පාහේ දක්නට ලැබේ. ලොකු මැද ඇඟිලි දෙකට පාදයෙන් කෙරෙන වැඩ සියල්ල ම කරන්නට සිදු වී ඇත්තාක් සේ පෙනේ. අනුජංඝාස්ථිය ඉතා කොට බැවින් සතාගේ බර සම්පූර්ණයෙන් වාගේ ජංඝාස්ථිය ඔස්සේ ප්‍රකූර්චය කරා පමුණුවනු ලැබේ.

ප්‍රකූර්චයේ පහළ කෙළවරේ මතුපිට ප්‍රදේශය ඈතින් පිහිටා තිබෙන නෞකාකාරය හා ඝනාභය නමැති කුඩා බොලට ඇට දෙක අතර සම සමව වාගේ බෙදී ඇත. එබැවින් සතාගේ බරෙන් බාගයක් ඝනාභය ඔස්සේ මැද ඇඟිලි අතුරින් පිට පැත්තේ ඇඟිල්ලටත් අනික් බාගය නෞකාකාරය ඔස්සේ ඇතුළු පැත්තේ ඇඟිල්ලටත් යවනු ලැබේ. ආටියොඩක්ටිලයකු ඇවිදින විට ගාත්වල ඉහළ පේශීන්ගේ ක්‍රියාකාරිත්වය කරණකොටගෙන උගේ ගාත් උරහිසෙනුත් උකුළෙනුත් මුළුමනින් ම චලනය වෙයි. පාද පොළොවෙන් ඉස්සීමට පමණක් සෑහෙන තරම් වළලුකර හා මැණික්කටු සන්ධි නැමේ. වැළමිටි සන්ධියත් දනිස් සන්ධියත් නැමෙන්නේ ඉතා ස්වල්ප වශයෙනි.

මුල් බැසගත් චාර්වක දත්වලට ඉඩ සපයා දීමටත් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අං තට්ටු උසුලා සිටීමටත් පශ්චාත්කාලීන ආටියොඩක්ටිලයන්ගේ ඉස් කබල්වල හැඩය වෙනස් වී තිබෙන බව පෙනේ. අං වැඩීම සඳහා බොහෝ සෙයින්ම ඉස් කබලේ ඉදිරි ප්‍රදේශයේ රළු ප්‍රසර ඇතිවීම පෙරිසොඩක්ටිලයාගෙන් ආටියොඩක්ටිලයා වෙන් කොට දක්වන විශේෂ ලක්ෂණයකි. පශ්චාත්කාලීන ආටියොඩක්ටිලයන්ගේ මොලය තරමක් හොඳට වර්ධනය වී තිබේ. පූර්වකාලීන ආටියොඩක්ටිලයන්ගේ මොලය සාපේක්ෂ වශයෙන් බලන කල කුඩාය. දැන් ජීවත්වන ඌරා හා හිපොපොටේමස් යන සතුන්ගේ මොලය එවැනිය. ආඝ්‍රාණ ඉන්ද්‍රියය හා ඊට සම්බන්ධ වූ මොලයේ කොටස් ද හොඳට වර්ධනය වී ඇත. හිසෙහි දෙපැත්තේ වූ ලොකු ඇස් ද දිග කන් ද උන්ට ඇත. ඉතා තියුණු ශ්‍රවණ ශක්තියක් ද බොහෝ ආටියොඩක්ටිලයන්ට ඇත්තේය.

ආටියොඩක්ටිලයන්ගේ දන්ත න්‍යාසයෙහි විශේෂතාවක් දක්නට ලැබේ. උන් බොහෝ දෙනකුට උඩුහක්කේ රදනක (උල් දත්) නැත. පශ්චාත්කාලීන ආටියොඩක්ටිලයන්ගේ උඩු හක්කේ කෘන්තක (කෑම කපන ඉස්සරහ) දත් නැත. පහළ හක්කේ කෘන්තක ඉතා ගොරෝසු උඩු තොල සමඟ ක්‍රියා කරයි. පුරශ්චාර්වක දත් සම්පූර්ණයෙන් ම චාර්වක වී නැත. එහෙත් දික් වූ උච්ච දන්තී චාර්වක දත්වල උපකාරයෙන් මුන්ට ආහාර ද්‍රව්‍ය හොඳින් ඇඹරීමට පුළුවන. මේ දන්තයක ශිඛරය දික් වූ උස් වැටියක් ලෙස වර්ධනය වීමෙන් ආහාර ද්‍රව්‍ය ඇඹරීමට සුදුසු පෘෂ්ඨයක් සෑදී තිබේ. ඊට සසිදන්තී ස්වභාවය යයි ව්‍යවහාරයි. දත්වල ඇනමල්, දන්තිනය හා බදාම නොයෙක් ප්‍රමාණයෙන් ගෙවී යෑමෙන් සෑම විට ම ගොරෝසු පෘෂ්ඨයක් දත්වල සෑදෙයි. ආටියොඩක්ටිලයන්ගේ දිව ලොකුය, උල්ය. එය පහසුවෙන් එහා මෙහා සෙලවිය හැකිය. ආහාර ද්‍රව්‍ය කැපීමටත් ඇඹරීමටත් දිව උපකාරී වේ.

ක්ෂීරපායීන් අතුරෙන් ආටියොඩක්ටිලයන් කෙරෙහි නොයෙක් ප්‍රමාණයේ සංකීර්ණත්වයකින් යුත් ආමාශ ඇතිවීම අමුතු ම ලක්ෂණයකි. ඌරා හා හිපොපොටේමස් හැර අනික් ආටියොඩක්ටිලයන් සියල්ලන්ට ම දිගටි ආමාශයක් ඇත. "වෝට් භොග්" නමැති ඌරු විශේෂයේ ආමාශය සරලය. වල් ඌරාගේ ආමාශයෙහි වම් පැත්තේ කුඩා පැසක් අතිරේක වශයෙන් තිබේ. කුඩා ඌරකුට සමාන "පෙකරි" නමැති සතාගේ ආමාශය මීට වඩා සංකීර්ණය. එහෙත් වඩා ම සංකීර්ණ ආමාශ ඇත්තේ ටිලොපොඩා හා රුමිනන්ටියා උප-ගෝත්‍රවලට අයත් වමාරා කන ආටියොඩක්ටිලයන්ටය. රුමිනන්ටියා උප-ගෝත්‍රයට අයත් සාමාන්‍ය සතකුගේ ආමාශය කුටීර සතරකට බෙදී ඇත. මේවා රෝමන්ථය, ජාලාශය, ත්‍රිකාමාශය හා ජඨරාශය නමින් හැඳින් වෙයි.

ආහාර ද්‍රව්‍යයක් ගිලින ලද වහා ම එය අන්න ස්‍රෝතය මැදින් රෝමන්ථයට යයි. එතනින් ජාලාශයට යයි. වමාරා කෑමට උවමනා වූ විට ජාලාශයෙන් ආහාර ආපසු කටට ගෙන එයි. මෙය සිදුවන්නේ අන්න ස්‍රෝතයේ ප්‍රතික්‍රමාකුංචනය කරණ කොටගෙනය. වමාරා කෑ පසු තරමක් ද්‍රව බවට පැමිණෙන ආහාර ද්‍රව්‍ය යළිත් ගිලිනු ලැබේ. එවිට ආහාර ත්‍රිකාමාශය නමැති තුන් වැනි කුටීරයට යයි. මේ කුටීරයෙන් ජඨරාශය නමැති අන්තිම කුටීරයට යන ආහාර එහි දී පෙරනු ලැබේ. ජඨරාශය සැබෑ ආමාශය වේ. ආමාශයික යුෂය ස්‍රාවනය කරනු ලබන්නේ මේ කුටිරයේ පමණයි. එහි පෙප්ටික් ග්‍රන්ථි තිබේ. රෝමන්ථය හා ජාලාශය නමැති කුටීර දෙකේ දී ශ්ලේෂ්මලය සමඟ ආහාර ද්‍රව්‍ය කවළම් කරනු ලැබේ. මේ ස්ථානවල දී ආහාර ද්‍රව්‍ය කෙරෙහි බැක්ටීරියාවන්ගේ හා පක්ෂ්මධරයන්ගේ බලපෑමෙන් මේ සතුන්ගේ එන්සයිම ආහාර ද්‍රව්‍යවල ඇති සෙලියුලෝස් ඉක්මනින් බිඳ හෙළා ඒවා මොළොක් ද්‍රව්‍යයකට පරිවර්තනය කරයි. ආටියොඩක්ටිලයන්ගේ සඵලත්වයට බොහෝ උපකාරී වූයේ මේ සම්පූර්ණ වූ ජීරණ පද්ධතිය යයි නිසැකව කිය හැකිය. මෙවැනි ජීරණ පද්ධතියක් ඇති හෙයින් ආහාර ඉක්මනින් කා ආරක්ෂා සහිත ස්ථානයකට ගොස් විවේකව හිඳ දිරවා ගැනීමේ ශක්තියක් උන්ට තිබේ.

වර්ගීකරණය

ආටියොඩක්ටිලයන් පිළිබඳ වර්ගීකරණ කීපයක් යෝජනා කර තිබේ. දත්වල ලක්ෂණ පදනම් කොට ගෙන පිළියෙල කරන ලද වර්ගීකරණ සමහරක් පිළිගනු නොලැබේ. මේතාක් නොවිසඳුණු ගැටලු අනාගතයේ දී අනාවරණය විය හැකි සාක්ෂි මගින් විසඳීයෑමට ඉඩ ඇති හෙයින් ඕනෑ ම වර්ගිකරණයක් තරමක් දුරට සකස් කොට ගත හැකිය. සිම්ප්සන් යෝජනා කරන අයුරු උප-ගෝත්‍ර තුනකි.

ගෝත්‍රය

ආටියොඩක්ටිලා

උප-ගෝත්‍රය 1. සුවිෆෝර්මේස් අධෝ ගෝත්‍රය 1. පලෙයොඩොන්ටා නි. ඌරා, "පෙකරිං"

(ඉයොසීන සිට නූතන යුගය දක්වා)

අධෝ ගෝත්‍රය 2. අන්කොඩොන්ටා

නි.හිපොපොටේමස් (ඔලිගොසීන සිට නූතන යුගය දක්වා)

අධෝ ගෝත්‍රය 3. ඔරෙයොඩොන්ටා (ඉයොසීන සිට මයොසීන යුගය දක්වා)

උප-ගෝත්‍රය 2. ටිලොපොඩා

නි.ඔටුවා (ඉයොසීන සිට නූතන යුගය දක්වා)

උප-ගෝත්‍රය 3. රුමිනන්ටියා

අධෝ ගෝත්‍රය 1. ට්‍රගුලිනා

නි.කුඩා මුව වර්ගයක් (ඉයොසීන සිට නූතන යුගය දක්වා)

අධෝ ගෝත්‍රය 2. පෙකොරා

කුලය 1. කෙර්විඩෙ

නි. කස්තුරි මුවා, ගෝන වර්ග, පිනිමුවා, තිත්මුවා (ඔලිගොසීන සිට නූතන යුගය දක්වා.)

කුලය 2. ගිරාෆිඩෙ

නි. ඔකාපි, ජිරාෆ් (මයොසීන සිට නූතන යුගය දක්වා)

කුලය 3. අන්ටිලොකප්‍රිඩෙ

නි. කොපු සහිත බෙදුණු අං ඇති ගෝන වර්ගයක්

(මයොසීන සිට නූතන යුගය දක්වා)

කුලය 4. බොවිඩේ

නි. ගවයා, එළුවා, බැටළුවා, මීහරකා, යැක් (මයෝසීන සිට නූතන යුගය දක්වා)

ආටියොඩක්ටිලයන්ගේ පරිණාමය

පාෂාණීභූත වස්තූන්ගෙන් ලැබී තිබෙන සාක්ෂි බහුල වුවත් ආටියොඩක්ටිලයන්ගේ පරිණාමය සර්වප්‍රකාරයෙන් පැහැදිලි නැත. පූර්වකාලීන ආටියොඩක්ටිලයෝ සුවිෆෝර්මේස් ගෝත්‍රයෙහි අඩංගු කරනු ලැබෙත්. වැදෑමහ සහිත සියලු සතුන්ගේ මුතුන්මිත්තන්ට මොව්හු ඉතා කිට්ටු සබඳකමක් දැක්වූහ. ඌරන්ට සමාන සතුන් ඉයොසීන අවධියේ දී ජීවත් වූ බව පෙනේ. උන්ගෙන් පරිණාමය වූ නූතන ඌරන්ගේ දත් සම්පූර්ණ ලෙස වැඩී තිබේ. ආරක්ෂාව පිණිස ද ගස්වල මුල් හෑරීම සඳහා ද පාවිච්චි කරන උල් දත් ඌරාට ඇත. උගේ මේ උල් දත් නොනැවතී වැඩේ. දිය ගොඩ දෙකෙහි ම ජීවත් වන හිපොපොටේමස් ඌරන්ගෙන් සම්භවය ලත් විශාල සතෙකි. ඇඟිලි සතරක් සහිත කෙටි පාද ඌට තිබේ. උගේ ආමාශය විශාලය. හිපොපොටේමස් දැනට ජීවත් වන්නේ අප්‍රිකාවේ පමණකි. එහෙත් මෑත කාලය වන තුරු ම පුරාණ ලෝකයේ උන් බහුලව සිටි බවට සාක්ෂි ඇත.

ඔටුවා වමාරා කන සතකු වුවත් ඌ අනික් ආටියොඩක්ටිලයන්ගෙන් වෙනස්ය. ඉයොසීන අවධියේ සිට ම ඌ වෙනත් පන්තියකට අයත්ය. එබැවින් ඌ ටිලොපොඩා නමැති උප-ගෝත්‍රයෙහි බහා ඇත. ඉයොසීන අවධියේ අවසාන භාගයේ දී ලෝකයේ බොහෝ ප්‍රදේශවල ඔටුවෝ බහුල වූහ. එහෙත් දැනට ඉතිරිව ඇති ස්වල්ප දෙන කාන්තාර ප්‍රදේශවල පමණක් ජීවත් වෙති. නූතන ආටියොඩක්ටිලයන්ගෙන් ඉතා දියුණු තත්වයකට පැමිණි කොටස නම් රුමිනන්ටියා උප-ගෝත්‍රයෙහි බොවිඩෙ (බ.) කුලයට අයත් සත්තුය. ගවයා, බැටළුවා, එළුවා හා කුරංගයා මේ කුලයට අයත් සත්තුය. මොව්හු සාමාන්‍යයෙන් පුරාණ ලෝකයට අයත් සත්තු වෙති. එහෙත් සමහරෙක් ලෝකයේ වෙනත් ප්‍රදේශවල ද දක්නට ලැබෙත්. මේ කුලයට අයත් සතුන්ගේ දිවිපැවතුම් ඉතා විවිධය. ශාන්ත ස්වභාවයක් ඇති නිසාත්, ආහාර සැපයීමේ පහසුව නිසාත් ආටියොඩක්ටිලයන්ගෙන් බොහෝ දෙනෙක් මිනිසා විසින් ඇති කරනු ලැබෙත්. උන්ගේ මස් ද කිරි ද කිරිවලින් සාදාගන්නා වෙඬරු හා කේජු ද මනුෂ්‍ය ආහාර අතරින් ඉතා අගනා ආහාර වේ.

මේ සතුන්ගේ හම් ද මිනිසාට ප්‍රයෝජනවත් වේ. ආටියොඩක්ටිලයන් බොහෝ දෙනෙක් ලෝකයේ නොයෙක් ප්‍රදේශවල බර ඇදීමෙහි ද කෘෂිකර්මයෙහි ද යොදනු ලැබෙත්. පුරාතනයේ සිට ම මිනිසා ඔහුගේ ප්‍රයෝජනය සඳහා ආටියොඩක්ටිලයන් හීලෑ කොටගෙන ඇත. ගවයන්, එළුවන් හා බැටළුවන් නොමැති ව මේ ලෝකයේ මෙපමණ ජන සංඛ්‍යාවකට ජීවත් විය නොහැකිය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආටියොඩක්ටිලා&oldid=4980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි