ආඩතෝඩා
ආඩතෝඩා කොළ අඟල් 6 සිට 12 දක්වා දිගය; ලන්සාකාරය. අග්‍රය අතිතීව්‍ර (acuminate) ය. කොට, දැඩි කක්ෂීය (axillary) ශූකීවල (spikes) රෝසපාට නාරටි ඇති කුඩා සුදු මල් හටගනී. නිපත්‍ර (bracts) අඟලක් පමණ දිගය. මලේ මුකුටය ද්විකෝෂ්ඨිය (bilipped) ය. මල් වැඩි වශයෙන් හටගැනෙන්නේ නොවැම්බර්දෙ-සැම්බර් මාසවල දීය. ඵලය ස්ඵෝටිකාවකි (capsule); අඟල් 3/4ක් පමණ දිගය. ආඩතෝඩා අකන්තා සේ (බ.) කුලයට අයත් ශාකයකි.
දුම්කොළ වතුවලට කොළ පෝර සාදාගැනීම පිණිස යාපනයේ ගොවියෝ ආඩතෝඩා වවති.
ආයුර්වේද මතය
ආයුර්වේදීය චිකිත්සාක්‍රමයේ මෙන් ම දේශීය චිකිත්සාවෙහි ද ආඩතෝඩා හෙවත් පාවට්ටා ප්‍රධාන ඖෂධයකි. එය සෙම ද රත්පිත, ශ්වාස, කාස, ජීවර, වමන, ප්‍රමේහ, කුෂ්ඨ, ක්ෂය යන රෝග ද නසයි. දේශීය වෙදකමෙහි පුටපාක හෙවත් තැම්බුම් ආදියට ආඩතෝඩා කොළ ගනු ලැබේ. ආඩතෝඩා පංචාංගය හෙවත් කොළ, මුල්, මල්, පොතු, නැටි යන පස් වගය ම ඖෂධ යෝගයන්ට නියමය. වාසාව ලේහය, වාසාහරිතක්‍යායි ලේහය, වාසක පචාංගය, වාසකාරිෂ්ටය ආදි යෝග රත්පිත, ක්ෂය යන රෝගයන්ට ප්‍රත්‍යක්ෂය.
(සංස්කරණය: 1965)
