ආතර් ජෝන් එවන්ස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1851-1941). ඉංග්‍රීසි ජාතික පුරාවිද්‍යාඥයෙකි. නෑෂ්මිල්ස්හි උපන් මොහු සුප්‍රසිද්ධ භූගර්භ විද්‍යාඥයකු වූ සර් ජෝන් එවන්ස් (කේ.සී.බී.) මහතාගේ වැඩිමහලු පුත්‍රයා විය. හැරෝ, ඔක්ස්ෆඩ් හා ග’ටිංගන් විද්‍යාපීඨයන්හි අධ්‍යාපනය ලත් එවන්ස් 1884-1908 කාලයේ දී ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ පිහිටි ඇෂ්මෝලියන් කෞතුකාගාරයේ භාරකරු වශයෙන් ක්‍රියා කෙළේය. 1875න් පසු හේ බෝල්කන් රටවල පුරාවිද්‍යාව හා මානවවංශ විද්‍යාව පිළිබඳ තොරතුරු සෙවීමෙහි නිරත විය. 1893 දී මොහු විසින් ක්‍රීට්හි පවත්වන ලද පුරාවිද්‍යා පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් ග්‍රීසියේ හා නැගෙනහිර මධ්‍යධරණියේ ඓතිහාසික ප්‍රවෘත්ති හෙළි කෙරෙන අගනා පුරාවස්තු රාශියක් සොයාගත හැකි විය. මේ පිළිබඳ තොරතුරු එවන්ස් විසින් සම්පාදිත පුරාවිද්‍යා කටයුතු පිළිබඳ වාර්තාවන්හි ඇතුළත් වේ. 1911 දී නයිට් නාමයකින් සම්මාන ලැබූ එවන්ස් පළමුවන මහා යුද්ධයෙන් පසු ක්‍රීට්හි නොසොස් (Knossos) මාළිගයේ නෂ්ටාවශේෂ සොයාගත්තේය. මෙම සොයාගැනීම නිසා මිනෝවන් ශිෂ්ටාචාරය පිළිබඳ අගනා ප්‍රවෘත්ති හෙළිදරව් විය. ක්‍රීටන් චිත්‍රාක්ෂර හා ප්‍රාග්-ෆිනීෂියානු අක්ෂර, (Cretan Pictographs and Prae-Phoenician Script) මයිසිනියන් වරුන්ගේ වෘක්ෂ හා ස්තම්භ පූජා, (The Mycenean Tree and Pillar Cult) මීනොස් මාළිගය (Palace of Minos) ආදි කෘති එවන්ස් විසින් සම්පාදිත ප්‍රධාන ග්‍රන්ථයන්ගෙන් සමහරකි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආතර්_ජෝන්_එවන්ස්&oldid=11327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි