ආතර් ද සිල්වා
ලංකාවේ අමද්‍යප ව්‍යාපාරයට හා නිදහස් සටනට උරදීමෙන් පමණක් නොව කෘෂි කාර්මික කටයුතු, සිංහල සාහිත්‍යය, කලාව, තම අති මහත් ධනයත් කාලයත් කැප කළ අය අතරින් ආතර් ද සිල්වා මහතාට ලැබෙන්නේ අද්විතීය තැනකි.
ශ්‍රාවස්තියේ ඍෂිවරයා යන විරුද නාමයකින් හඳුන්වන ලද විල්මට් ආතර් ද සිල්වා 1869 වර්ෂයේ මාර්තු මස 15 වැනි දින ගාල්ලේ උණවටුනේ දී ඡන්ම ලාභය ලැබී ය. ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකු වූ ගන්දර ජුවානිස් ද සිල්වා මොහුගේ පියා විය. බ්‍රිතාන්‍ය කිරීටයට රට යටත් ව තිබූ මෙකල උගත් මව්පියන් අපේක්ෂා කළ පරිදි මොහුට ද හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීම සඳහා මොහු ගාල්ලේ බොනවිස්ටා ඉංග්‍රීසි පාසැලට ඇතුළත් කරන ලදි. ඔහු ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ අද රාජකීය විද්‍යාලය'යි හඳුන්වනු ලබන කොළඹ ඇකඩමියෙනි. පාසැල් අධ්‍යාපනය නිම කළ ඔහු කොළඹ කෘෂි විද්‍යාලයට බැඳී වැඩිදුර අධ්‍යාපනය ලබමින් සිටින අතර ශිෂ්‍යත්වයක් දිනා ඉන්දියාවේ බොම්බාය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ වරප්‍රසාදය ලැබුවේ කෘෂි විද්‍යාව පිළිබඳ ......... ඔහු කොළඹ නගර සභාවේ පශු වෛද්‍යවරයා වශයෙන් පත් කරනු ලැබුවේ ඒ නිලය ලත් පළමුවැන්නා වීමේ භාග්‍යය ද ලබමිනි.
ප්‍රසිද්ධ, ධනවත් බොදු දානපතියකු වූ ශ්‍රී චන්ද්‍රශේඛර මුදලිගේ එක ම දියණිය වූ කැතරින් චන්ද්‍රශේඛර මෙනෙවිය හා සරණ බන්ධනය නිසා මොහු විශාල ධනස්කන්ධයක හිමිකරුවා විය. මේ යුවලට දරුවන් නොවූයෙන් සිය ධනය රටේත් ආගමේත් දියුණුව සඳහා වැය කිරීමට මොවුහු තීරණය කළහ.
ඉංග්‍රීසීන් යටතේ උගත් ධනවත් බොහෝ දෙනා එදා සිංහල සංස්කෘතිය පසෙකට ලා බටහිරකරණය වුව ද ආතර් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨ සිංහල සංස්කෘතිය යළි නඟා සිටුවීමේ අදහසින් එකල පිහිටුවාගෙන තිබුණු සෑම සංගමයක ම වාගේ සාමාජිකත්වය ලබා ගත්තේ ය. ඒවා මඟින් සිදුකැරුණු පොදු කටයුතු සඳහා නොමසුරුව ආධාර කළේ ය. 1896 වසරේ සිට දශක තුනක් ම බස්නාහිර පළාතේ විහාර දේවාලගම් කමිටුවේ සාමාජිකත්වය දරමින් විශාල කාර්යභාරයක් ඉටු කළේ ය. ආනන්ද කුමාරස්වාමි, මුදලිඳු එච්.ආර්. ගුණරත්න හා ජේම්ස් පීරීස් යන මහතුන් සමඟ එක් වී 'සමාජ පුනරුත්ථාන සංගමය' පිහිටුවා ගත්තේ අන්ධානුකරණයෙන් බටහිර සංස්කෘතිය අනුගමනය කිරීම වළක්වා පෞඪ ඉතිහාසයක් ඇති දේශීය සංස්කාතිය නඟා සිටුවීමටයි. මේ සංගමයේ අදහස් ප්‍රචාරය කරනු වස් 'ලංකා ජාතික විචාරය' (Ceylon NatioNal review) නම් සඟරාවක් ද ඇරඹූහ. එහි ප්‍රධාන කර්‍තෘ ධුරයට ආතර් ද සිල්වා මහතා පත් කරන ලදින් ඔහු තමා ලිවූ කතු වැකි මඟින් ජනතා සිත් අවදි කළේ ය.
ආතර් ද සිල්වා මහතා දක්ෂ ලේඛකයකු විය. නිරන්තරයෙන් පොත් කියැවීම පුරුද්දක් කර ගත් ඔහු සතු වටිනා පුස්තකාලයක් විය. එකල අලෙවියට ඉදිරිපත් කළ සෑම හොඳ පොතකින් ම පිටපතක් මිල දී ගැනීමට ඔහු පුරුදු වී සිටියේ ය. ඔහුගේ පුස්තකාලයේ දහසකට අධික වටිනා ග්‍රන්ථ තිබුණේලු. කොළඹ කෞතුකාගාරය සඳහා ලංකාවේ පුස්කොළ පොත් නාමාවලියක් පිළියෙළ කිරීම භාර වූයේ ද මොහුට ය. ඉතා උනන්දුවෙන් මෙය පිළියෙල කළ ඔහුට පුස්කොල පොත් 2,456 ඇතුළත් නාමාවලියක් සකසා දීමට හැකිවිය. අරාබි නිසොල්ලාසයේ කථා සිංහල පාඨක ජනතාව හඳුන්වා දීම සඳහා එහි කථා වැඩි හරියක් සිංහල භාෂාවට පරිවර්තනය කොට මුද්‍රණය කරවී ය.
රාජකීය ආසියාතික සමිතියේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ආතර් ද සිල්වා මහතා ගුණපාල මලලසේකර මහතා සමඟ එක් වී ලෝ වැඩ සඟරාව ඉංග්‍රීසි බසට පරිවර්තනය කළේ ය. 1902 දී 'සිංහල සමය' නම් පුවත් පත ද 1910 දී 'CEYLON MORNING' පුවත්පත ද ඇරඹූ අතර පිරිහී යමින් තිබූ සිංහල දෙමළ බෞද්ධ සංස්කෘතිය යලි නඟා සිටුවීමට ඒවායින් සිදු වූ සේවය අති මහත් ය.
මෙකල ලංකාවේ ධනවත්තු තරගයට මෙන් කොළඹ කුරුඳුවත්තේ ඉඩම් මිලට ගෙන එකිනෙක පරයන්නට මන්දිර තනවන්නට වූහ. 1913 දී ආතර් ද සිල්වා මහතා එහි ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මහා මන්දිරයක් තැනවී ය. ඒ සඳහා එකල මුදලින් රුපියල් දස ලක්ෂයක් වැය වී යයි කියනු ලැබේ. මේ මන්දිරය ‘ශ්‍රාවස්තයේ ඍෂිවරයා’ යන නාමය මොහුට පටබැඳුණේ ද ඒ මන්දිරය නිසයි. 19 වන සියවස අග භාගයේ ලක්දිව වියලි කලාපයේ ජනතාව ඉඩම් හිඟකමින් හා ආහාර හිඟකමින් පෙලුණහ. හලාවත-අනුරාධපුරය අතර රත්මලේ අක්කර 2,000ක් මිලට ගත් මෙතුමා ඒවා අස්වද්දා කුඹුරු කරවා ඒවා වගා කරවීමෙන් එම ජනතාවගේ ජීවන තත්වය නැංවීමට ක්‍රියා කළේ ය.
1915 වසරේ සිංහල-මුස්ලිම් කෝලාහාලය පැතිරී ගිය අතර රටේ ආර්ථිකය අන්තයට ම පිරිහී ගියේ ය. පරම විඥානාර්ථ සමාගම මුහුණ පෑවේ මහත් අර්බුදයකට ය. එම සමාගමේ පාසැල්වල සේවය කළ ගුරු මණ්ඩලයට වැටුප් ගෙවීම සඳහා මුදල් සපයා ගැනීම අසීරු විය. මේ ප්‍රශ්නය විසඳීම සඳහා ආතර් ද සිල්වා මහතා රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කළේ ය. මේ හැර රටේ පවත්වාගෙන ගිය බොදු පාසැල් පනහකට අධික සංඛ්‍යාවක් දියුණු කිරීමටත් පවත්වාගෙන යෑමටත් සිය ධනය වැය කළේ ය. මොරටු විද්‍යාලයේ අනුශාසක වශයෙන් සිටි කාලයේ එහි දියුණුවට ඔහුගෙන් නොමඳ ආධාර ලැබිණ. පරම විඥානාර්ථ සමාගමේ පාසැල් සාමාන්‍යාධිකාරී ලෙස ද ඔහු සේවය කර තිබේ.
අනගාරික ධර්මපාලතුමාගේ රැස්වීමකට සහභාගී වීමෙන් මොහුගේ ජීවිතයේ වැදගත් වෙනසක් සිදු විය. නගර සභාවේ පශු වෛද්‍යවරයා වශයෙන් මැරීම සඳහා ගවයන් අනුමත කිරීම මොහුට පැවරී තිබීම නිසා ධර්මපාලතුමා ජනකාය ඉදිරියේ බැණ වැදුණේ ය. නිහඬව ගෙදර ආ ඔහු එදින ම සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේ ය.
ධර්මපාලතුමා සමඟ කිට්ටු ඇසුරක් පැවැත්වූ සිල්වා මහතා සියමේ සිට දළදා වහන්සේ මෙහි රැගෙන ආ ගමනට ද සහභාගී විය. 1908 වසරේ ඔක්ස්ෆර්ඩ්හි පැවැත්වූ ඉතිහාසය හා ආගම් පිළිබඳ තුන්වැනි ජාත්‍යන්තර සංගමයට සහභාගි වීමේ භාග්‍යය ද ඔහුට ලැබිණ. සියමේ චූලාලංකාර රජතුමා සිල්වා මහතාට ‘රාජරාජ’ යන නම්බු නාමය ප්‍රදානය කළේ ය.
ලාංකික උගතුන් එදා නිදහස දිනා ගැනීමේ සටනට අවතීර්ණ වී සිටියෙන් මොහුගේ අවධානය ද ඒ කෙරෙහි යොමු විය. ලංකා ජාතික සංගමයට බැඳී ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ඔහු 1927-28 කාලයේ එහි සභාපති ලෙස කටයුතු කළේ ය. 1931 වසරේ දී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මොරටුව ආසනය සඳහා තරඟ වැදුණු ඔහු විශිෂ්ඨ ජයක් ලැබී ය. 1936 වසරේ එම අසුන ම ජය ගත්තේ ය. ප්‍රථම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් පත් කරනු ලැබූ ඔහු මැලේරියා මර්දන ව්‍යාපාරය ඇරඹී ය. ලංකාවේ දුගී ජනතාවගේ සෞඛ්‍ය තත්වය නංවාලීම සඳහා ඔහු සැබෑ ප්‍රයත්නයක් දැරී ය. 1942 දී ආතර් ද සිල්වා මහතා සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්විය.
ප්‍රථම ලෝක සංග්‍රමය නිම වෙනවාත් සමඟ ම මෙරට රබර් මිල පහළ වැටීමෙන් ද විශාල ධන පරිත්‍යාගයන් ද නිසා මෙතුමාගේ අවසාන කාලයේ මහත් ආර්ථික ප්‍රශ්නයකට මුහුණපෑවෙන් සිය ශ්‍රාවස්තිය උකස් කළේ ය. එහෙත් දානපති එච්.ඩබ්ලිව්. අමරසූරිය මහතාගේ මැදිහත් වීමෙන් මෙය බේරා දෙන ලදී.
1942 මාර්තු මස 31 වැනි අඟහරුවාදා මොහු මෙලොවින් සමුගත්තේ සිය ධනය අනුන්ගේ යහපත සඳහා කැප කිරීමෙන් ලද සතුට සිතේ දරාගෙන ය.
මූලාශ්‍ර
1. පුවත්පත් ඇසුරෙන්
2. පී.බී. සන්නස්ගල - සිංහල සාහිත්‍ය වංශය
(කර්තෘ: සුමනා ඇල්ලේපොල)
(සංස්කරණය නොකළ)