ආදුරුප්පුවීදියේ පල්ලිය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඕලන්ද ජාතිකයන් (ලන්දේසියන්) විසින් කොළඹ ආදුරුප්පුවීදියේ ගොඩනඟනු ලැබ ක්‍රි.ව. 1749 දී කැප කරන ලද දේවස්ථානයකි. එය පිහිටි භූමිය කලින් බොරලුගොඩකන්ද යන නාමයෙන් හැඳින්විණි. වෘකපිටිය යන අර්ථය ඇති ගුවා ද ලූපෙ (Gua de Lupe) යන පෘතුගීසි ශබ්දය විකෘත වී අගුවා දි ලූපු (Agoa de Lupe) කියා ද ලූපු (Quia de Lupo) අක්වා දි ලූපු (Acqua de Lupo) යනාදී වශයෙන් විකෘත වී කල්යාමේ දී ආදුලුප්පු, ආදුරුප්පු යී ව්‍යවහාරයට ආ සේයි. පෘතුගීසි නාමය ලන්දේසි බසට නඟා වුල්ෆෙන්ඩෝල් (Wolfendahl) යි සිද්ධ කරගන්නා ලදි. මෙම දේවස්ථානය ඕලන්ද ජාතිකයන්ගේ රෙප්‍රමාදු ලබ්ධිය පැතිරවීමට ඉවහල් වූ මූලික ස්ථානයක් මෙන් ම ඔවුන්ගේ ඓතිහාසික ස්මාරකයක් ද විය. කොළඹ නගරය තුළ පිහිටි උස් භූමියක් වූ වුල්‍‍ෆ‍ෙන්ඩෝල් පෙදෙසෙහි මෙය ගොඩ නඟා ඇත්තේ ශුද්ධ ඇන්ඩ්‍රෑතුමාගේ කුරුසියක හැඩහුරුකමකට ය. අටළොස්වන ශතවර්ෂයේ පැවති ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයට අනුව තැනූ මේ පල්ලියට අවුරුදු දෙසියයකට අධික කාලයක් ගත වී ඇති නමුදු වැසි සුළං ආදියෙන් හානියක් නොවී එය මේ දක්වා ආරක්ෂා වී තිබේ. ඉකුත් වූ ශතවර්ෂ දෙක ඇතුළත එහි ප්‍රතිසංස්කරණයකට භාජන වූයේ එහි අර්ධ කවාකාර මුදුන පමණකි. ගඩොළින් නිම කළ ආරුක්කුවලින් යුත් මේ ගොඩනැගිල්ල මුදුනේ, වායුලක්ෂණ දැනගනු සඳහා කුක්කුටාකාර ස්වර්ණාලේපිත උපකරණයක් සවිකර තිබුණේය. පසු කාලයේ දී අකුණක් වැදීමෙන් එය විනාශ වී අර්ධකවාකාර පියස්සට ද හානි සිදු විය. දැව, උළු, ආදිය යොදා එය ප්‍රතිසංස්කරණය කරන ලද්දේ ඉන් පසුවය.

දේවස්ථානය ඇතුළත දහසකට පමණ දේවමෙහෙයට සහභාගී වීමට ඉඩකඩ තිබේ. මෙහි තුළ වූ පූජක වේදිකාවට අභිමුඛව ඇත්තේ ජ්‍යෙෂ්ඨපූජකවරුන්ට හා ඩීකන්වරුන්ට ද වෙන් කළ කොටසය. ඊළඟට ඇත්තේ ආණ්ඩුකාරයන් සඳහා වෙන් කළ කොටසය. එය එකල ඕලන්ද ආණ්ඩුකාරයන් දේවමෙහෙයයන්ට සහභාගි වීමේ දී සරසා තිබුණ ආකාරයට රතුපාට විල්ලූදවලින් වටකර තිබේ.

බිත්තිවල හා භූමියෙහි ද මිය ගියවුන් සිහිවීම සඳහා තැබූ ලේඛන සහිත ස්මාරක හා කුලචිහ්න ඵලක ද වෙයි. මෙයින් ඉතා පැරණි චිහ්න ඵලකය ක්‍රි.ව. 1607ට ද ඉතා මෑතක දී තැබූ ඵලකය 1866 වැනි වර්ෂයට ද අයත්ය. කොළඹ කොටුවේ දේවස්ථාන භුමියෙහි තැන්පත් කර තිබුණ මෘත ශරීරයන්ගේ ශේෂඛණ්ඩ සහිත මිනීපෙට්ටි හා ස්මාරක ඵලකයන් ද ගෙනවුත් ක්‍රිස්තු වර්ෂ 1813 දී මෙහි තැන්පත් කරන ලදි. කයිමන් දොරකඩ පිහිටුවා තිබෙන සීනුව ද වුල්‍‍ෆ‍ෙන්ඩෝල් පෙදෙසෙහි හා පිටකොටුවෙහි ඇති සුසාන භූමි දෙක ද මේ දේවස්ථානයට අයත්ය. ක්‍රිස්තු වර්ෂ 1846 දී මේ දේවස්ථානය මඟින් ඉරුදින පාසැල් සතරක් ආරම්භ කරන ලදි.

සර් විලියම් හෙන්රි ග්රැගරි ආණ්ඩුකාරතුමා, සර් රිචඩ් මෝගන් ආදීහු මෙහි දියුණුව සඳහා නොයෙක් අයුරින් ආධාර කළහ. ඉංග්‍රීසීන් ලංකාවට පැමිණි අලුත ඔවුන් දේවස්ථාන තනාගැනීමට මත්තෙන් මේ දේවස්ථානයෙන් ප්‍රයෝජන ගෙන තිබේ. මෙහි ඕලන්ද ජාතික ආණ්ඩුකාරයන් කීප දෙනෙකුගේ හා නිලධාරීන්ගේ ද ස්මාරක බොහෝ ගණනක් ඇත්තේය. දේවස්ථාන ගොඩනැඟිල්ලට අයත් විවිධ අංගයන්ගෙන් ද දර්ශනීය කැටයම් ආදියෙන් අලංකාර කරන ලද ස්මාරකයන්ගෙන් ද දහ අටවන ශත වර්ෂයේ ඕලන්ද ජාතිකයන්ගේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ අවබෝධයක් ඇති කර ගත හැකිය.

(සංස්කරණය: 1965)