ආනන්ද-2
අභිධම්මමූලටීකාව (බ.) කළ ආචාර්යවරයෝයි. අනුරාධපුර මහාවිහාරයෙහි වැඩ විසූ මහාවිහාරාන්වයෙහි තෙර කෙනෙකි. උන්වහන්සේගේ ජීවනසමය නිශ්චය කොට දැක්වීමට උපකාර වන සාධක විරලය. එහෙත් ග්‍රන්ථාන්තරයෙන් ලැබෙන කරුණු අනුව ප්‍රමාණවත් නිගමනයකට බැසගත හැකිය. නිකායසංග්‍රහයෙහි ආචාර්‍ය්‍යපරම්පරාව දක්වන තැන නන්ද, ආනන්ද, අනුරුද්ධ යන නම් දක්නට ලැබේ. මෙහි එන ආනන්ද තෙරණුවෝ මූලටීකා කතුවරයෝ යයි සිතිය හැකිය. නිකායසංග්‍රහයෙහි ම නාගසේන තෙරුන්ට පසු කොට දක්වනු ලැබූ ආනන්ද යන නාමය ආනන්ද වනරතන (බ.) තෙරණුවන් සඳහා යොදන ලදි. මූලටීකා නිගමනයෙහි: “ධම්මමිත්තොති නාමෙන සක්කච්චං අභියාචිතො ආනන්දො ඉති නාමෙන කතා ගන්ථා සුබුද්ධිනා”යී ආනන්ද තෙරණුවෝ ධම්මමිත්ත නම් තෙරකෙනකුන්ගේ ආරාධනාවෙන් මූලටීකාව රචනා කළහයි සඳහන් වේ. ධම්මමිත්ත යන යෙදුම අනුව යෑමේ දී සිව්වැනි මහින්ද රජු විසින් “ථෙරෙන ධම්මමිත්තෙන සිත්ථගාමකවාසිනා පූජයිත්වාන කාරෙසි අභිධම්මස්ස වණ්ණනං” (මහාවංස 54.35) යනුවෙන් දැක්වෙන පරිදි ධම්මමිත්ත නම් තෙරකෙනකුන් ලවා අභිධර්මවර්ණනාවක් කරවන ලදැයි යන්න සැලැකිය යුත්තකි. මූලටීකාවෙහි දැක්වුණ ධම්මමිත්ත තෙරණුවෝත් මහාවංසයෙහි සඳහන් තෙරණුවෝත් එක් මැ තෙර කෙනෙකැයි සලකන කල්හි මූලටීකාව රචනා කළ ආනන්ද තෙරණුවන් මහින්ද iv (956–972) රජු සමයෙහි, එනම් දසවැනි සියවසේ අවසාන භාගයෙහි විසූහයි පිළිගතයුතු වේ.
රූප සිද්ධිය (බ.) රචනා කළ චෝළිය බුද්ධප්පිය තෙරණුවන්ට ද ආනන්ද නම් තෙර කෙනෙක් ආචාර්ය්ය වූහයි දක්වා ඇත.
“විඛ්යාතානන්දථෙරව්හයවරගුරූනං තම්බපණ්ණිද්ධජානං” යනාදීන් රූපසිද්ධි නිගමනයෙහි වර්ණිත ආනන්ද තෙරණුවෝද මෙම මූලටීකා කතුවරයෝ ම යයි සැලකිය හැකිය. මෙසේ හෙයින් ආනන්ද තෙරණුවෝ තාම්‍රපර්ණියට (සිංහල ද්වීපයට) ධ්වජයක් මෙන් ප්‍රසිද්ධ වූ ද අභිධර්මයෙහි විශාරද වූ ද ලාංකේය භික්ෂු වංශයෙහි සම්භාවිත වූ තෙර කෙනෙක් වූහ.
(සංස්කරණය: 1965)