ආමාල්ෆි

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉතාලියේ සාලෙර්නෝ බොක්කේ උතුරු වෙරළෙහි සෝරෙන්ටෝ අර්ධද්වීපයට අයත් වරායක් සහිත දර්ශනීය නගරයකි. මෙහි දොඩම් වර්ගයේ පලතුරු, මාළු, සබන් සහ කඩදාසි ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍යය. ආමාල්ෆි පිළිබදව පළමුවෙන් ම අසන්නට ලැබෙනුයේ හය වැනි ශත වර්ෂයේ දීය. නව වැනි ශතවර්ෂයේ දී ඉතාලියේ පෙරදිග වෙළෙඳාම පිළිබඳව මුල් තැනක් ගත් මේ නගරය නැගෙනහිර මධ්‍යධරණී වරායවල් අතරින් ද උසස් තැනක් ඉසිලීය. ආමාල්ෆි කාසි මධ්‍යධරණී රටවල පිළිගනු ලැබීය. එසේ ම මෙහි සංග්‍රහ කරන ලද 'ටබුලා ආමාල්ෆි ටානා' නමැති මුහුදු නීති මාලාව ද 1750 දක්වා බොහෝ රටවල් විසින් පිළිපදින ලදි. 1135 දී පීසානුවරුන් මේ නගරය විනාශ කළ පසු එය වැදගත් කමින් අඩු වී ගියේය. ආමාල්ෆිහි ජනගහනය (1951) 6,146ක් විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආමාල්ෆි&oldid=5812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි