ආර්ථික ස්ථායිකරණය
සෑම පෞද්ගලික ව්‍යවසාය ආර්ථික ක්‍රමයක් තුළ ම ආර්ථික ආරෝහණ සහ අවරෝහණ කලින් කල ඇතිවීම ස්වාභාවිකය. සාමාන්‍ය වශයෙන්, ආර්ථික ලෙස හැඳින්විය හැකි මෙම උච්චාවච ප්‍රධාන කොට ම පැන නඟිනුයේ සේවා නියුක්තිය, ආදායම් තත්ත්වය, මිල ව්‍යූහය සහ ලාභ පිළිබඳව ය. විටින් විට ආර්ථික උත්පාත සහ අවපාත වශයෙන් දෘශ්‍යමාන වන මෙකී උච්චාවච මාලාව ආර්ථික විද්‍යාවේ දී ආර්ථික චක්‍රය වශයෙන් හැඳින්වේ. ආර්ථික චක්‍රය පිළිබඳ විවිධ විග්‍රහ විවිධ ආර්ථික විද්‍යාඥයන් ඉදිරිපත් කර ඇත. මින් මූල්‍ය විග්‍රහ ප්‍රධාන තැනක් ගනී. මේ විග්‍රහ එකිනෙකින් වෙනස් වුව ද, උත්පාත අවපාතවලට සහ අවපාත උත්පාතවලට හැරවීමේ මූලික හේතුව වශයෙන්, ඒ සෑම විග්‍රහයකින් ම පෙනෙන්නේ ආයෝජන ප්‍රමාණයේ ඇති වන වෙනස් වීම්ය (ආර්ථික චක්‍රය බ.). ආර්ථික ස්ථායිකරණය යනුවෙන් අදහස් කරනුයේ නිතර ඇති විය හැකි ආර්ථික ආරෝහණයන් සහ අවරෝහණයන් සමනය කොට, ප්‍රධාන වශයෙන්, සේවා නියුක්ති තත්වයේත් ආදායම් තත්වයේත් මිල මට්ටමෙහිත් සාපේක්ෂ ස්ථායිතාවක් ඇති කිරීමය.
සැලසුම් කළ ආර්ථික ක්‍රමයක පරමාර්ථය වනුයේ ආර්ථික උච්චාවචයන්ගෙන් තොරව ආර්ථික ක්‍රමය අනුක්‍රමයෙන් ප්‍රගතිය කරා ගෙන යෑමය. ඒ නිසා එවැනි ආර්ථික ක්‍රමයකට ආර්ථික ස්ථායිකරණය ඉතා අවශ්‍යය. දැනට ඌනසංවර්ධිත රටවලින් බොහොමයක් ශීඝ්‍රගාමී ආර්ථික සංවර්ධනයක් ගෙන යෑමට දිරි වඩයි. මිල මට්ටමේ උද්ධමනයන්ගෙන් හා අවධමනයන්ගෙන් බැහැරව සේවා නියුක්තිය හා ඒ නයින් මූර්ත ආදායම අනුක්‍රමයෙන් වැඩි කිරීම මේ රටවල පරමාර්ථය වේ. මිල මට්ටමේ ස්ථායිතාවක් තිබේ නම් මූර්ත ආදායමේ වෙනස්වීම් හටගන්නේ සේවා නියුක්තියේ වෙනස් වීමෙනි. සේවා නියුක්තිය පූර්ණ නම් ආදායම් තත්වයේ ස්ථායිතාව පවත්වා ගැනීමට මිල මට්ටමේ ස්ථායිකරණය අවශ්‍ය වේ. දැනට සංවර්ධිත රටවල් නිතර ඇතිවෙන ආර්ථික උච්චාවචයන්ගෙන් සිය ආර්ථික ක්‍රමය ආවරණය කර ගැනීමටත් ලබාගෙන තිබෙන ආර්ථික දියුණුව ආරක්ෂා කර ගැනීමටත් ප්‍රයත්න දරයි. උච්චාවචයන්ගෙන් සමන්විතව අධික සාමාන්‍ය ආදායමක් යම් කාල පරිච්ඡේදයක දී ලැබිය හැකි වුව ද උච්චාවචයන්ගෙන් තොරව ඊට අඩු සාමාන්‍ය ආදායමක් ලැබීමට පවා සමහර රටවල් ප්‍රිය කරයි. ඊට හේතුව උච්චාවචයන්ගේ ඇති නොයෙකුත් ආදීනව පමණක් නොව උච්චාවචයන්ගෙන් තොර වීම දීර්ඝකාලීන වර්ධනයට හිතකර වීමත්ය. මේ නයින් බලන කල ස්ථායිකරණය සැලැසුම් කළ ආර්ථික ක්‍රමවලට ඉතා වැදගත් වේ.
මෙවැනි ස්ථායිකරණයක් සම්භාව්‍ය ආර්ථීක ක්‍රමයට අවශ්‍ය නොවීය. සර්වකාලීන පූර්ණ සේවා නියුක්ති තත්වයක් සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන්ගේ මූලික ඇදහීම විය. සැපයුම මගින් ඉල්ලුම ස්වයංක්‍රියව පාලනය කෙරෙතැයි පෙන්වන, වෙළෙඳපොළ පිළිබඳ සේගේ න්‍යාය පිළිගත් ඒ යුගයේ ආර්ථික චක්‍ර න්‍යායවාදීන්ගේ මතය අනුව සේවා නියුක්තියේ හා නිෂ්පාදිතයේ උච්චාවච ඇති වූයේ දේශගුණය වෙනස්වීම, ජලගැල්ම යනාදි ස්වාභාවික හේතූන් නිසාය. මේ හේතූන්ගේ බලපෑමෙන් ආර්ථීක ක්‍රමය ආවරණය කළ හැකි ආර්ථික පිළියම් නොවීය.
කේන්ස්ගේ ඉතිරිකිරීම් සහ ආයෝජන න්‍යාය ආශ්‍රයෙන් වර්ධනය වූ ආර්ථික චක්‍රය පිළිබඳ විග්‍රහයෙන් පසු යථෝක්ත සර්වකාලීන පූර්ණ සේවා නියුක්තිය පිළිබඳ මතය යටපත් වූවා පමණක් නොව, සමතුලිත ඌන සේවා නියුක්ති තත්වයක් පැවතිය හැකි බවත් පෞද්ගලික ව්‍යවසාය ආර්ථික ක්‍රමයක ආර්ථික චක්‍රය ඇති වන්නේ ඉතිරි කිරීමට අපේක්ෂා කරන ප්‍රමාණය හා ආයෝජන කිරීමට අපේක්ෂා කරන ප්‍රමාණය අතර ඇති පරතරය නිසා බවත් පිළිගන්නට යෙදිණි. මුළු ආර්ථික ක්‍රමයෙහි ඉතිරි වන ප්‍රමාණයට වඩා ආයෝජනය වන ප්‍රමාණය වැඩි වන්නේ නම්, ආර්ථික ක්‍රමය ප්‍රසාරණය වේ; ආයෝජනය වන ප්‍රමාණයට වඩා ඉතිරි වන ප්‍රමාණය වැඩි වන්නේ නම්, ආර්ථික ක්‍රමය සංකෝචනය වේ. ආර්ථික ක්‍රමය ප්‍රසාරණය වන විට සේවා නියුක්තියේ හා නිෂ්පාදනයේ වැඩි වීමක් ද ඒ සමඟ ම සමහර විට මිල උද්ධමන තත්වයක් ද ඇති විය හැකිය. සංකෝචනයේ ප්‍රතිඵලය වනුයේ මිල අවධමනයක් ද අනුක්‍රමික නිෂ්පාදන හීනත්වයක් සහ සේවා නියුක්ති අවනතියක් ද ඇති වීමය. මේ නව විග්‍රහය අනුව ආර්ථික ස්ථායිකරණය උදෙසා ගතයුතු පියවර වන්නේ ඉතිරිකිරීම සහ ආයෝජනය නිසි ආකාර පාලනය කිරීමය.
නූතන සංවර්ධන න්‍යාය අනුව ආර්ථික ක්‍රමයක ක්‍රමික දියුණුවට කරුණු සයක් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වේ. එනම් ව්‍යවසායක ශක්තිය, කාර්මික ශූරත්වය, ප්‍රාග්ධන සම්පාදනය, ජනගහනය, සොයා ගනු ලබන ස්වාභාවික නිෂ්පාදන වස්තූන් සහ සමාජ ආයතනික ක්‍රමය නැතහොත් සංස්ථාක්‍රමය ද වේ. සමාජ ආයතනික ක්‍රමයක් වැදගත් වන්නේ, එය මඟින් මූර්ත ආදායම වැඩි කිරීමට අවශ්‍ය ප්‍රාග්ධන සමුච්චයට සුදුසු වාතාවරණයක් ගොඩනඟා ගත යුතු හෙයිනි. මෙවැනි ආයතනික ක්‍රමයක් තිබෙන විට අනික් සාධක සෑහෙන ලෙස ලැබේ නම්, ආර්ථික වර්ධනයක් ඇති වේ. මේ වර්ධනයේ වේගය උඩ මූර්ත ආදායමේ වැඩි වීම රඳා පවතී. සැලසුම් ආර්ථික ක්‍රමයක පරමාර්ථය වනුයේ මූර්ත ආදායමේ ක්‍රමික වැඩි කිරීමකි.
සැලසුම් කළ ආර්ථික ක්‍රමයක මූර්ත ආදායම වැඩි කිරීම පිණිස සංවර්ධන ක්‍රම ක්‍රියාත්මක කිරීමේ දී පරිභෝජන සහ ආයෝජන කර්මාන්ත අතර තුලනය නොමැති වීම නිසා මිල මට්ටමේ උච්චාවච ඇති විය හැකිය. පරිභෝජන කර්මාන්ත හා සාපේක්ෂව බලන කල ආයෝජන ව්‍යාපාර අධික වුවහොත් මිල උද්ධමන තත්වයක් ඇති විය හැකිය. ආර්ථික ක්‍රමය වැඩෙන විට යම්කිසි ප්‍රමාණයක මිල උද්ධමනයක් ඇති වීම වැළැක්වීම අපහසු විය හැකිය. එහෙත් මිල උද්ධමනය ඕනෑවට වඩා වැඩි වුවහොත්, සංවර්ධන ක්‍රමවල වියදම් ව්‍යූහය ඉතිරි කිරීම් සහ ආයාත කෙරෙහි කරන බලපෑම් නිසා සංවර්ධන ක්‍රමවලට බාධා පැමිණිය හැකිය. ඒ නිසා සැලසුම් කළ ආර්ථික ක්‍රමවල ස්ථායිකරණය යනුවෙන් පුළුල් වශයෙන් අදහස් කෙරෙන්නේ මිල උච්චාවච පටු සීමා අතර තිබෙන පරිදි ආර්ථික ක්‍රමය ප්‍රගතිය කරා ගෙන යෑමය.
ආර්ථික ස්ථායිකරණය පිණිස උපයෝගී කර ගන්නා ප්‍රධාන ආර්ථික උපක්‍රම මූල්‍ය හා අයවැය යනුවෙන් දෙවර්ගයකට බෙදිය හැකිය. පෞද්ගලික ව්‍යවසාය ආර්ථික ක්‍රමයක් මූල්‍ය හා අයවැය උපක්‍රම කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය යුතු අතර, සැලැසුම් කළ ආර්ථික ක්‍රමයක, ඒ හැර සලාක කිරීම, මිල පාලනය, නිෂ්පාදනය සීමා කිරීම යනාදි ඍජු උපක්‍රම ද උපයෝගී කරගත හැකිය. ඌන සංවර්ධිත රටවල, ඒ රටවල තිබෙන විශේෂ ආර්ථික තත්වයන් නිසා, සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී ඇති පරිදි, මූල්‍ය හා අයවැය උපක්‍රම ක්‍රියාකාරී විය නොහැකිය. එහෙයින් ඒ රටවලට සෘජු උපක්‍රමවල පිහිට අතිශයින් සෙවීමට සිදු විය හැකිය.
කාර්මික අතින් දියුණු වී ගෙන යන ආර්ථික ක්‍රමයක සාපේක්ෂ ස්ථායිතාවක් ඇති කරනු වස්, මූල්‍ය හා අයවැය ප්‍රතිපත්තිවලට අතිරේකව, මිල පාලනය හා සලාක කිරීම උපයෝගී කරගත යුතුය. මෙවැනි රටවල ස්ථායිතාවක් ඉබේ ම වාගේ ලබාගැනීමට නම් තුලනාත්මක කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධනයක් ඇති විය යුතුය. එවැනි තුලනාත්මක වර්ධනයක් ඇති නූණොත් ඇතැම් පරිභෝජන භාණ්ඩ හිඟ විය හැකිය. එවැනි අවස්ථාවක දී ඉල්ලුම් හා සැපයුම් බලවේගයන්ගේ නිර්බාධ ක්‍රියාකාරිත්වය ස්ථාවර ආදායම් ලබන කොට්ඨාසවලට අලාභ සිදු කරනු ඇත. එවැනි අවස්ථාවල දී මිල පාලනය හා සලාක කිරීම අවශ්‍ය වේ. නිෂ්පාදන භාණ්ඩ නැතහොත් ප්‍රාග්ධන වත්කම් සඳහා අවශ්‍ය ආයෝජන අරමුදල් ආර්ථික ක්‍රමය තුළින් ම බොහෝ සෙයින් ලබාගත යුතු නිසා ඊට ගැළපෙන පරිදි මූල්‍ය හා අයවැය ප්‍රතිපත්ති සකස් කළ යුතුය. ආර්ථික සංවර්ධනය නිසා සමහර කොට්ඨාසවල ආදායම් අධික වේ. මේ අධික ආදායම්, අනුක්‍රම අයබදු ක්‍රමයක් තිබෙන රටක නම්, බොහෝ සෙයින් රජය කරා හැරෙයි. අයබදු ක්‍රමය තුළ එවැනි නම්‍යතාවක් (built-in-flexibility) ගැබ් වී නොමැති නම්, අතිරේක ආදායම් සාපේක්ෂ භාණ්ඩ හිඟයක් උඩ මිල උද්ධමනයක් ඇති කළ හැකිය. එය වැළැක්වීම සඳහා අලුත් අයබදු පැනවිය යුතුය. අලුත් අයබදු සඵල මදි නම්, මිල පාලනයේ ද පිහිට සෙවීමට සිදු විය හැකිය. මිල මට්ටමේ පාලනය ක්‍රම සම්පාදනයක් අනුව සංවර්ධනය වන රටකට ඉතාමත් වැදගත්ය.
දීර්ඝකාලීන ආර්ථීක ක්‍රම සම්පාදනය මගින් ආදායම් සහ මිල මට්ටමෙහි ස්ථායිතාවක් ඇති කොට, උත්පාත සහ අවපාත මාලාවකින් හෙබි ව්‍යාපාර චක්‍ර ඉවත් කළ හැකි බව පිළිගනු ලැබේ. එහෙත් රබර්, පොල්, තේ, කෝපි, තිරිඟු යනාදි මූලික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කෘෂිකාර්මික ආර්ථික ක්‍රමවල තත්වය ඉහත පුළුල් වශයෙන් විග්‍රහ කළ ආර්ථික ක්‍රමවල තත්වයට වඩා තරමක් වෙනස්ය. ඒ රටවල ජාතික ආදායමේ වෙනස්වීම්වලට ප්‍රධාන හේතුව නම් මූලික ද්‍රව්‍යවල මිල නිතර උස් පහත් වීමය. මිල උච්චාවචයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මූලික ද්‍රව්‍යවල ඉල්ලුම අනුව සැපයුම (සැපයුම් අනුව ඉල්ලුම, සුළු වශයෙන්) පාලනය කිරීමට ඇති දුෂ්කරතාවයි. මූලික ද්‍රව්‍යවලට තිබෙන ඉල්ලුම, ඒ ද්‍රව්‍ය ඉල්ලුම් කරන රටවල තිබෙන ආර්ථික කටයුතුවල ආරෝහණයන් සහ අවරෝහණයන් නිසා නිතර වෙනස් වේ. කෙටිකාලීන ඉල්ලුම වෙනස් වීම අනුව සැපයුම වෙනස් කළ නොහැකි නිසා මිල නිතර උස් පහත් වේ. ඒ අනුව ආදායම වෙනස් වේ. මේ හේතූන් නිසා ඇතිවන අස්ථායිතාව නැති කිරීම පිණිස වෙනත් ස්ථායිකරණ උපක්‍රම සෙවිය යුතුය. මේ ස්ථායිකරණෝපක්‍රම ජාත්‍යන්තර වශයෙන් ස්වාරක්ෂක සම්භාර සීමාකරන යෝජනා හා වන්දි ගෙවීම් ගිවිසුම් යනුවෙන් ද ජාතික වශයෙන් ස්වාරක්ෂක අරමුදල්, අලෙවි මණ්ඩල, කාලානුරූපව වෙනස් කරනු ලබන නිර්යාත බදු හා පිහිටාධාර සහ නිර්යාත ආදායම දේශීය මුදලට හරවන විදේශීය විනිමය මුදල් අනුපාතිකය කලින් කල වෙනස්කිරීම යනුවෙන් ද දෙවැදෑරුම්ය. මූලික ද්‍රව්‍යවල මිල වෙනස් වීමෙන් ඇති වන අස්ථායිතාව යථෝක්ත ස්ථායිකරණ උපක්‍රමවලින් බොහෝ දුරට අඩු කළ හැකි වුව ද අනිකුත් හේතූන් නිසා මේ රටවල ඇති වන අස්ථායිතාව ඒ උපක්‍රම මගින් ඉවත් කිරීමට නුපුළුවන් විය හැකිය. ඒ නිසා ඒ ස්ථායිකරණ යෝජනා සමග, මීට ඉහත සඳහන් කළ මූල්‍ය, අයවැය හා ඍජු උපක්‍රම අතුරින් සුදුසු අනිකුත් උපක්‍රම ද අතිරේක වශයෙන් යොදා ගැනීමට සිදුවිය හැකිය.
(කර්තෘ: ඒ.ඩී.වී. ද ඇස්. ඉන්ද්‍රරත්න)
(සංස්කරණය: 1965)