ආර්න්හම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දකුණු නෙදර්ලන්තයේ මැද ප්‍රදේශයෙහි පිහිටි ගෙල්ඩර්ලන්ඩ් පළාතේ අගනුවරයි. පහළ රයින් මිටියාවතේ වෙලුවෙ කඳු පාමුල පිහිටි මෙය 13–16 වැනි ශතවර්ෂවල දී ගෙල්ඩර්ලන්ඩ් ආදිපාදවරුන්ගේ මව්බිම විය. මෙය 1233 දී නගරයක් වශයෙන් පිළිගනු ලැබීය; අනතුරුව හැන්සියාටික් සංගමයේ සාමාජිකත්වය ද ලද්දේය. 1473 දී පටන් බර්ගන්ඩ් පාලකයන්ට අයිතිව පැවතුණු මෙය පසු කාලයේ දී වරින්වර ස්පාඤ්ඤයට, ප්‍රංසයට සහ ප්‍රසියාවට ද අයත් විය. දෙවැනි ලෝක සංග්‍රාමයේ දී (1940) ජර්මනිය විසින් අත් කර ගන්නා ලද ආර්න්හම් 1945 දී මිත්‍ර හමුදා විසින් නිදහස් කරන ලදි.

පාලක මධ්‍යස්ථානයක් හා යුද්ධ හමුදා මධ්‍යස්ථානයක් ද වන ආර්න්හම් විද්‍යා උපකරණ, කන්නාඩි, කඩදාසි, රසායන ද්‍රව්‍ය, සම් ද්‍රව්‍ය, රෙදිපිළී සහ රථ වාහන ආදිය නිපදවන්නා වූද නැව් තැනීමෙහි යෙදුණාවූ ද කාර්මික නගරයකි. ලෝකයේ යකඩ උණු කරන විශාලතම මධ්‍යස්ථානයක් හැටියට ද මෙනුවර ප්‍රසිද්ධය. ආර්න්හම් නගර සභා ශාලාව ලෙස හැඳින්වෙන්නා වූ 15 වැනි ශත වර්ෂයේ දී ඉදිකරනු ලැබූ මාළිගයක් ද ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයක් ද නගරයෙහි ඇත්තාවූ විශිෂ්ට ගොඩනැඟිලිය. ආර්න්හම් නගරයේ ඇති එළිමහන් කෞතුකාගාරය දේශසංචාරකයන්ගේ සිත් ගන්නා තැනකි. නෙදර්ලන්තයේ ඉතා ම විසිතුරු උද්‍යාන සහ පිට්ටනි ඇත්තේ ආර්න්හම් නගරයෙහිය. එහි ජනගහනය 1962 දී 125,960ක් පමණ විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්න්හම්&oldid=6772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි