ආර් එච් සාධකය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Rh factor). කිසියම් සත්ව විශේෂයකට අයත් සතකු (නි. හාවකු) තුළට අනෙක් සත්ව විශේෂයක (නි. වානර) රතු සෛල ප්‍රවේශනය කළ විට මුලින් කී සත්වයා ස්වකීය ශරීරය තුළට ප්‍රවේශනය කරන ලද ආගන්තුක රතු සෛල සම්බන්ධයෙන් ප්‍රතිශක්තියක් ඇති කොට ගනී. ප්‍රතිශක්තිය ලැබූ සත්වයාගේ ප්ලාස්මයෙහි ආගන්තුක රතු සෛල පොකුරු වශයෙන් කැටි ගස්වන ප්‍රතිදේහ ඇති වේ. ප්‍රතිශක්තිය ඇතිවන්නේ ආගන්තුක රතු සෛලවල තිබෙන්නාවූ ප්‍රතිශක්ති සාධකයක් (ප්‍රතිදේහ ජනකයක්) නිසාය. මැකාකස් රීසස් (Macacus rhesus) නම් රිලා විශේෂයේ රීසස් වඳුරාගේ රතු සෛල තුළ ගැබ් වී ඇති ප්‍රතිශක්ති සාධකයට (ප්‍රතිදේහ ජනකයට) රීසස් සාධකය (Rhesus factor) හෙවත් ආර් එච් (Rh) සාධකය යැයි කියනු ලැබේ. එමෙන් ම හාවාගේ ප්‍රතිශක්තිය ලැබූ මස්තුවෙහි තිබෙන ප්‍රතිදේහයට ආර් එච් ප්‍රතිදේහය හෙවත් ප්‍රති ආර් එච් යයි කියති. මිනිස් ලෙයෙහි ද ආර් එච් සාධකය තිබේ. යුරෝපීය ගැහැනුන් හා පිරිමින් අතුරෙන් 85%කට පමණ ආර් එච් සාධකය තිබේ. ලාංකිකයන් අතර මේ සාධකය ඊට වඩා බහුලය. ලාංකිකයෝ දළ වශයෙන් 95%ක් පමණ ආර් එච් සාධකය සහිත ද 5%ක් පමණ රහිත ද වෙත්. ආර් එච් ගණයේ උපගණ කිහිපයක් තිබේ.

පරීක්ෂණ

යම් පුද්ගලයකුගේ ආර් එච් ගණය නිශ්චය කරනු ලබන්නේ ලවණ ද්‍රාවණයක අවලම්බනය කරන ලද ඔහුගේ රතු සෛල සමූහයක් ආර් එච් ප්‍රතිදේහය සහිත විශේෂ මස්තුවකට එකතු කිරීමෙනි. එවිට ආර් එච් ධන සෛල මේ මස්තුවෙහි පොකුරු ගැසේ. ආර් එච් සෘණ සෛල එසේ පොකුරු නොගැසේ. ප්ලාස්මයක ආර් එච් ප්‍රතිදේහ තිබේ දැයි දැන ගැනීමේ පරීක්ෂණ ද තිබේ.

වෛද්‍යකර්මය අතින් වැදගත්කම

රුධිර ප්‍රවේශනය කිරීමේ දී ද ප්‍රසව චිකිත්සාවේ දී ද ළදරු චිකිත්සාවේදී ද ආර් එච් ගණය විශේෂයෙන් වැදගත්ය. ආර් එච් සෘණ පුද්ගලයකු තුළ ආර් එච් ප්‍රතිදේහය උපදින්නේ ඔහුගේ සිරුර තුළට ආර් එච් සාධකය ඇතුළු කළහොත් පමණි. ආර් එච් සෘණ ස්ත්‍රියකගේ ගැබෙහි ආර් එච් ධන රතු සෛල ඇත්තාවූ භ්‍රෑණයක් ඇතිවූවිට ද ආර් එච් සෘණ ස්ත්‍රියකට හෝ පුරුෂයකුට ආර් එච් ධන රුධිරය ප්‍රවේශනය කළ විට ද මෙය සිදුවිය හැකි ය. ඒ ආකාරයෙන් සංවේදිතාව ලත් කෙනකුන්ට ආර් එච් ධන රුධිරය ප්‍රවේශනය කරන ලද්දේ නම්, ප්‍රවේශනය වූ සෛල විනාශ වී යයි. එයින් බරපතළ නැතහොත් මාරක ප්‍රතිඵල ඇති වේ. එහෙයින් ආර් එච් ධන රුධිරය ආර් එච් සෘණ පුද්ගලයන් තුළට ප්‍රවේශනය නොකළ යුතුයි.

සංවේදිතාව ලැබූ මවකගෙන් ආර් එච් ප්‍රතිදේහය ආර් එච් ධන භ්‍රෑණයකට ඇතුළුවීමෙන් උපන් අලුත දරුවා තුළ හෝ භ්‍රෑණය තුළ හෝ රක්තානුභේදය නම් රෝගය හට ගනී.

මානව විද්‍යාවෙහි ද අධිකරණ වෛද්‍ය විද්‍යාවෙහි ද ප්‍රවේණී විද්‍යාවෙහි ද ආර් එච් ගණය ප්‍රයෝජනවත්ය.

(කර්තෘ: වී. බස්නායක)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්_එච්_සාධකය&oldid=6573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි