ආරෝග්‍ය ශාලාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විසිවැනි ශත වර්ෂයෙහි අප දන්නා ආරෝග්‍යශාලාව වූකලි ප්‍රධාන වශයෙන් රෝගීන් පිළිබඳ උපස්ථානයත් ප්‍රතිකාරයත් සලසා දෙන ආයතනයකි. මෙය පෞද්ගලික වූ හෝ රජය සතු වූ හෝ කිසියම් ආගමික පක්ෂයකට අයත් වූ හෝ ආයතනයක් විය හැකියි. සුප්‍රකට ඉංග්‍රීසි ස්වේච්ඡාසේවක ආරෝග්‍යශාලාවන් බොහොමයක් ම පිහිටුවන ලද වකවානුව වූ හෙයින් ඇතැම් විට 'ආරෝග්‍යශාලා යුගය' නමින් දන්නා 18 වන ශතවර්ෂයට අයත් ආරෝග්‍යශාලාව විකාසයට පත්වී යෑමෙන් වර්තමාන ආරෝග්‍ය ශාලාව ඇති වී යයි කිව හැකිය.

ඉතිහාසය

බොහෝ රටවල මුල දී රෝගීන්ට ප්‍රතිකාර කරන ලද්දේ වර්තමාන ආරෝග්‍යශාලාවන් වැනි විශේෂ ආයතනයන්හි දී නොව පල්ලි පන්සල් ආදි පූජ්‍යසථානයන්හි දී හෝ ඒවාට යාබදව පිහිටි ගොඩනැඟිලිවල දී හෝ බෙහෙවින් ම පූජකයන් විසින් බව ශිෂ්ට මිනිසා පිළිබඳ ආදි ම වාර්තාවන්ගෙන් පෙනී යයි. රෝග වැලඳෙන්නේ කළ වරදකට දඬුවම් වශයෙනැයි නැතහොත් භූතාවේශයක් බඳු කිසියම් අමනුෂ්‍ය දෝෂයක් හේතුකොටගෙනැයි යන විශ්වාසය බහුලව පැතිර පැවති අවධියක රෝග සුවකිරීමේ කාර්‍ය්‍යය දේවාලයේ දී හෝ එබඳු අනෙක් පූජ්‍යසථානයක දී පූජකවරුන් විසින් කරනු ලැබීම පුදුමයට කරුණක් නොවේ.

මිසරයෙහි මෙවැනි ආරාම ක්‍රිස්තුවර්ෂයෙන් ශත වර්ෂ ගණනකට පෙරාතුව ද තිබුණු බව පෙනේ. මිසර ජාතිකයන් ලැබූ මේ දියුණුව කෙරෙහි සැලකිලිමත් වූ ග්‍රීකයෝ පසු කාලයක දී ලොස්, ට්‍රිකා ආදි ස්ථානවල එබඳු ආගමික ආරෝග්‍යශාලා පිහිටුවූහ. ක්‍රි.පූ. 5 වැනි සියවසේ දී බොහෝ ග්‍රීක නගරවල රෝගීන් සඳහා ඉඩකඩ හා වාතාශ්‍රය ඇති ගොඩනැඟිලි තනා ඒවා වෛද්‍යවරයන් වෙත පවරා තිබූ බව ගේලන් කියයි. නවීන විද්‍යානුකූල වෛද්‍ය කර්මයේ අත්තිවාරම වූයේ මෙම ආයතනවල දී පවත්වන ලද පර්යේෂණයි.

ක්‍රි.පූ. 4 වැනි ශතවර්‍ෂයේ දී ලංකාවේ පණ්ඩුකාභය රජු අනුරාධපුර රාජධානිය පිහිටුවා තිඹිරි ගෙයක් හා ගිලන් හලක් කර වූ බව මහාවංසය කියයි.

අශෝක අධිරාජයා ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි දී ඉන්දියාවෙහි ආරෝග්‍යශාලා පිහිටුවූ බවත් එතුමා මිනිසුන්ට පමණක් නොව රෝගී සතුන්ට පවා ප්‍රතිකාර කිරීමේ පහසුකම් සැලසූ බවත් එතුමාගේ ශිලාලිපිවලින් පෙනේ.

දුප්පත් පොහොසත් ජනයා උදෙසා මෙන් ම හේවාපන්න ආදි සමාජයේ විවිධ කොට්ඨාස වෙනුවෙන් ද වෙන වෙන ම ආරෝග්‍යශාලා පිහිටුවීමෙන් රෝම ජාතිකයෝ විශේෂ සේවයක් කළහ. ක්‍රි.ව. 4 වැනි සියවසේ දී රෝම අධිරාජ්‍යයේ ක්‍රිස්තියානි පූජකවරුන් විසින් දිළිඳු ගිලනුන්, ලාදුරු රෝගීන්, අබ්බාගාතයන් හා අන්ධයන් වෙනුවෙන් විශේෂ ආරෝග්‍යශාලා පිහිටුවන ලදි. ක්‍රි.ව. 542 දී ප්‍රංසයේ ලියොන්හි ඩෝමුස් ඩෙයී (දෙවියන්ගේ ගෘහය) නම් රෝහල ඉදිකරවන ලදි.

ඉස්ලාම් අධිරාජ්‍යය පැතිරී යෑමෙන් පසු එම අධිරාජ්‍යයට අයත් වූ බැග්ඩෑඩ්, දමස්කස් වැනි ආසියානු නගරවල ද ඇලෙක්සැන්ඩ්රියාව වැනි අප්‍රිකානු නගරවල ද කෝර්දෝවා වැනි යුරෝපීය නගරවල ද 8 වන සියවස අවසානයේ දී මුස්ලිම්වරුන් විසින් විද්‍යාල බද්ධව ආරෝග්‍යශාලා පිහිටුවන ලදි. අරාබිවරු අතීත ග්‍රීක වෛද්‍යඥානය ප්‍රයෝජනයට ගත්හ. ග්‍රීක වෛද්‍ය ග්‍රන්ථ අරාබි භාෂාවට පරිවර්තනය කරනු ලැබීමත් අරාබි වෛද්‍යවරුන්ගේ මුහුකුරාගිය වෛද්‍යඥානයත් ඔවුන් විසින් ලියන ලද ග්‍රන්ථත් නිසා ආරෝග්‍යශාලාවල සංවර්ධනයට තුඩු දුන් සෞඛ්‍යය හා රෝග පිළිබඳ අලුත් මත පැන නැගුණාක් මෙන් ම බටහිර වෛද්‍ය විද්‍යාවේ දියුණුවට මහත් රුකුලක් ද ලැබුණේය. 13 වන සියවස වන විට විශ්වවිද්‍යාලවල අංශ වශයෙන් වෛද්‍ය විද්‍යාල ඇතිවීම ආරෝග්‍යශාලා සේවයේ සංවර්ධනයට අතිශයින් උපස්තම්භක වූ කරුණකි.

මධ්‍යතන යුගයේ දී ද ලෙඩුන්ට සාත්තු සප්පායම් කිරීම ආගමික පූජකවරුන් භාරයේ ම වාගේ පැවතිණ. වෛද්‍යවරු ද ශල්‍ය වෛද්‍යවරු ද සිය නිවාසයන්හි පෞද්ගලික වශයෙන් බේත්හේත් කළහ. ක්‍රි.ව. 1123 දී ලන්ඩන්හි ශුද්ධ බාර්තොලමියු රෝහල පිහිටුවන කාලයේ දී එරට වෛද්‍යවරු ආරෝග්‍යශාලා පිහිටුවීම ගැන විරුද්ධව සිටියහ. සාමාන්‍යයෙන් ආරෝග්‍යශාලාවල ඉතා දිළිඳු වූ ද නිවාස නැත්තාවූ ද අසාධ්‍ය රෝගවලින් පෙළෙන්නා වූ ද රෝගීන් හා අබ්බාගාතාදීහු නැවතී සිටියහ. ක්‍රිස්තියානි ආගමික සංශෝධන සමයේ දී ආරාම හා ඒවාට සම්බන්ධ වූ ආරෝග්‍යශාලා ප්‍රොතැස්තන්තවරුන් අල්ලා ගැනීම නිසා ආරෝග්‍යශාලාවල සේවය ලැබූ අනාථ, අබ්බාගාත, දිළිඳු ජනතාවට මහත් ව්‍යසනයකට මුහුණපාන්නට සිදු විය. 8 වැනි හෙන්රි රජු විසින් එංගලන්තයේ තිබුණු ආරෝග්‍යශාලාවල අසතුටුදායක තත්ත්වය නිසා ඒවා සියල්ල ම වාගේ වසා දමන ලදි. එහෙත් සුදුසු රෝහල්වලට ඒ රජ ආධාර කළේය. මෙසේ ශුද්ධ බාර්තොලමියු හා ශුද්ධ තෝමස් යන ගිලන් හල්වලට රජුගේ අනුග්‍රහය ලැබුණේය. ආගම් සංශෝධන යුගයේ දී ආගමික නුවූ ආයතනවල ආධාර ප්‍රථමවරට ගිලන්හල්වලට ලැබිණ. විද්‍යා නවෝදය යුගයේ දී වෛද්‍ය විද්‍යාවේ මෙන් ම ගිලන්හල්වල විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයන්ගේ ද දියුණුවක් ඇතිවිය.

16 වැනි 17 වැනි ශත වර්ෂයන්හි දී දේශගවේෂණයෙහි යෙදුණු යුරෝපීය ජාතීහු රටවල් යටත් කොට ගත් පසු ක්‍රිස්තියානි මිෂනාරීන්ට රෝහල් පිහිටුවීමට ආධාර දුන්හ. එහෙත් යුරෝපීයයන්ගේ පැමිණීමට පෙරාතුව මැක්සිකෝවෙහි ආරෝග්‍යශාලා තිබුණේය. එරට ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් 1524 දී අරඹන ලද නාසරෙත්හි ජේසුතුමාගේ ආරෝග්‍යශාලාව ඇමෙරිකාවේ දැනට ඇති පැරණි ම රෝහල හැටියට ගැනේ.

යුද්ධ නිසා ඇති වූ දියුණුව

පුරාණයේ සිට ම ශල්‍ය විද්‍යාවෙහිත් වෛද්‍ය විද්‍යාවෙහිත් සාත්තු සේවයෙහිත් ආරෝග්‍යශාලාවන්හිත් දියුණුවට ඒ ඒ රටවල හටගත් යුද්ධයන්ගෙන් සිදුවූ සේවය සුළුපටු නොවේ. කුරුස යුද්ධ පැවති සමයේ දී සටන් බිම් ඔස්සේ තුවාළකරුවන් උදෙසා විශ්‍රාම ස්ථාන ඉදි කැරිණි. මේ යුද්ධ ආරෝග්‍යශාලාවන්හි දී කෙරුණු ශල්‍යකර්ම හා ප්‍රතිකාර ද බෝවන රෝග පාලනය කිරීම ආදිය ද ආරෝග්‍යශාලාවන්ගේ දියුණුවට මහෝපකාරී විය. යුද රෝහල්හි ක්‍රමවත් දියුණුවක් ඇති කළ ප්‍රථම දේශය ප්‍රසියාවයි. 1 වන හා 2 වන ලෝක සංග්‍රාම ආරෝග්‍යශාලා ඉතිහාසයෙහි සිහි කටයුතු අවස්ථා දෙකක් ලෙස සැලකිය හැකිය. සංචාරක ආරෝග්‍යශාලා, බෝවන රෝග පාලනය, සූක්ෂ්ම ශල්‍යකර්ම විධි, ප්‍රශස්ත නවීන ඖෂධ, නූතන ප්‍රතිකාර ක්‍රම ආදිය මේ භයානක යුද්ධ කාලයේ දී අමුතුවෙන් ඇතිවුණු, මහජන ශුභසිද්ධිය සඳහා යොදා ගත හැකි වූ ආශීර්වාදයෝයි.

18 වන සියවස වන විට ද යුරෝපයේ හා ඇමෙරිකාවේ රෝහල් පැවතුණේ ඉතා ඛේදජනක තත්වයකය. වෛද්‍යවරයා හා ශල්‍ය වෛද්‍යවරයා අතර පැවති මතභේදයත් ඉස්පිරිතාලවල පැවති අධික තදබදයත් බෝවන රෝග ගැන සැලකිලිමත් නොවීමත් වාතාශ්‍රය, පිරිසිදුකම, හොඳ ආහාරපාන ආදිය ගැන සැලකිල්ල යොමුනොවීමත් නිසා යුද්ධ ආරෝග්‍යශාලා මෙන් ම සිවිල් ආරෝග්‍යශාලා ද මහත් අපකීර්තියකට පත්ව තිබිණි. මේ නිසා ඇති වූ විවේචනයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් නවීන ක්‍රමානුකූලව රෝහල් ගොඩනඟා පාලනය කරගෙනයෑම ගැන උනන්දුවක් ඇතිවිය. 1788 දී ප්‍රංස විද්‍යා ඇකැඩමියේ කාරක සභාවක් මගින් යුද්ධ ආරෝග්‍යශාලා ගොඩනැඟිලි තැනීමේ නූතන මූලධර්ම සකස් කැරිණි. ඉක්බිති ආරෝග්‍යශාලා සංවිධානය පිළිබඳ විද්‍යානුකූල නොයෙක් වෙනස්කම් ඇති වූ නමුත් නවීන ක්‍රමානුකූලව ආරෝග්‍යශාලා පවත්වාගෙනයෑමේ වැඩ පිළිවෙළ ක්‍රියා කෙරෙන්නට වූයේ 19 වන සියවස අග දී ඇති වූ බැක්ටීරියා (ජීවාණු) විද්‍යාවේ හා අපූතික (විෂබීජනාශක) ශල්‍ය විද්‍යාවේ ද උපතින් පසුවය.

වෛද්‍ය විද්‍යාවේත් ශල්‍ය විද්‍යාවේත් ඒවාට සම්බන්ධ අනිකුත් නවීන විද්‍යාවන්හිත් ශීඝ්‍ර දියුණුව හා ගොඩනැඟිලි ශිල්පයේ ප්‍රගතියත් නූතන ආරෝග්‍යශාලාවන්හි දක්නා ඉමහත් දියුණුවට කරුණු විය. ලෝකයේ ඒ ඒ රටවල ආරෝග්‍යශාලාවෝ ඒවායේ තත්වය හා ප්‍රමාණය ද සංඛ්‍යාව හා ස්වභාවය ද අතින් වෙනස් වෙත්. එක් එක් රටක ආර්ථික දියුණුව, සමාජ තත්වය, දේශපාලන සැකැස්ම, චාරිත්‍රවාරිත්‍ර හා සංස්කෘතිය ආදි කරුණු ඉහත කී වෙනස්කම් ඇති කිරීමෙහි ලා බලපානා කරුණුය.

නවීන ආරෝග්‍යශාලා

විශාල නවීන ආරෝග්‍යශාලාවක් වූකලි විවිධ අංශ රාශියකින් යුක්ත සංකීර්ණ ආයතනයකි. වර්තමාන ආරෝග්‍යශාලාවක කාර්යමණ්ඩලය වෛද්‍යවරුන්, සාත්තු සේවිකාවන් හා නොයෙක් තරාතිරම්වල අවශේෂ සේවකයන් හැර සාමාන්‍ය වෛද්‍යවරුන්, කාය චිකිත්සකයන්, වෛද්‍ය සමාජ සේවකයන්, ආහාර විද්‍යාඥයන්, රසායනාගාරයෙහි නොහොත් පරීක්ෂණාගාරයෙහිත් රශ්මි චිකිත්සාගාරයෙහිත් නියුක්ත නිලධාරීන් හා ශිල්පීන් යනාදි වශයෙන් කාර්‍ය්‍යශූර වූ විශාල පිරිසකින් සමන්විත වේ. බොහෝ ආරෝග්‍යශාලාවල සාත්තු සේවකසේවිකාවන් පුහුණු කිරීම සඳහා විධිවිධාන යොදනු ලැබේ. එහෙත් වෛද්‍ය විද්‍යාලයකට හෝ විශ්ව විද්‍යාලයකට නුදුරින් කිසියම් විශාල ආරෝග්‍යශාලාවක් පිහිටියේ නම් වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීමේ කටයුතු ද ඊට පැවරේ.

හැකි තාක් විශේෂ ශාඛාවන් එකම ආරෝග්‍යශාලාවේ ඇති කිරීම හෝ එක ම වෛද්‍ය අධිකාරිතුමකුගේ පාලනය යටතේ තැබීම හෝ වඩා ම හොඳ ප්‍රතිපත්තිය බව දැන් පිළිගැනීමයි. (කොළඹ ආරෝග්‍යශාලා ගණය මෙයට නිදසුනකි.) මේ වැඩ පිළිවෙළ ආර්ථීක අතින් පමණක් නොව රෝගියා ගැන සලකන විට කාර්යක්ෂමතාව අතින් ද උසස්ය. විශේෂ වෛද්‍යාංශ එකකට වැඩි ගණනකින් එකවර ම රෝගියා පරීක්ෂා කරනු ලැබීම අවශ්‍ය විය හැකි නිසාත් රෝගියා හුදෙක් උපදෙස් හා වෙදහෙදකම් අවශ්‍ය පුද්ගලයකු වශයෙන් මිස පෙණහැලි රෝගියකු හෝ ශල්‍ය රෝගියකු ආදි වශයෙන් නොසැලකිය යුතු නිසාත්ය.

ඇඳන් 750කින් පමණ යුක්ත වූ විශාල මහාරෝග්‍යශාලාවක් හෘදය රෝග, කාම රෝග, කැඩුම් බිඳුම් සහ ඇට පිළිබඳ රෝග, ඇස, කණ, නාසය, උගුර ආදියෙහි හටගන්නා රෝග යනාදියටත් ප්‍රතිකාර කළ හැකි වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් වෙන වෙන ම අංශවලින් සමන්විත විය යුතුය. සයිකෝසියාව (psychosis), සයිකො නියුරෝසියාව (psychoneurosis) වැනි මානසික ආබාධවලින් පෙළෙන්නන් මානසිකාරෝග්‍යශාලාවකට වඩා මහාරෝග්‍යශාලාවකට ඇතුළු වීමට කැමැත්ත දක්වන හෙයින් එවැනි රෝගීන් ස්වල්ප දෙනකු හෝ පරීක්ෂා කොට ප්‍රතිකාර කිරීම පිණිස යට කී අන්දමේ මහාරෝග්‍යශාලාවක බාහිර සහ නේවාසික පහසුකම් තරමක් දුරට සැලසිය යුතුය. මෙබඳු වැඩ පිළිවෙළක ඇති තවත් ප්‍රයෝජනයක් නම් මානසික ආබාධයන්හි දී ද අනික් ආබාධයන්හි දී මෙන් ම අමුත්තක් නොකොට සැලකීමට සාත්තු සේවකසේවිකාවන් හා වෛද්‍ය ශිෂ්‍යයන් පුරුදු පුහුණු වීමයි. සාමාන්‍ය ආරෝග්‍යශාලාවක මානසික ආරෝග්‍යශාලාවේ වෛද්‍ය නිලධාරීන් නොයෙදවීමට වග බලා ගැනීම වැදගත්ය. එසේ නොවුවහොත් රෝගියා තුළ ඇති ආරක්ෂාව පිළිබඳ විශ්වාසය හා හැඟීම් පළුදු වීමට ඉඩ තිබේ. එසේම මෙය තමා මානසිකාරෝග්‍ය ශාලාවට ඇතුළු කිරීමේ උපක්‍රමයකැයි හේ සැක උපදවයි.

මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම වඩා කාරුණික තත්ත්වයකට පමුණුවන අදහසින් 'දිවා ආරෝග්‍යශාලා' ක්‍රමය නමින් දන්නා වියදම් අඩු අලුත් වැඩ පිළිවෙළක් කැනඩාවේත් එංගලන්තයේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රදේශවලත් මෑතක දී ඇති කොට තිබේ. දවස මුළුල්ලේ රැකීරක්ෂාවන්හි යෙදී සිටින්නෝ සෑම සන්ධ්‍යාවක ම ප්‍රතිකාර සඳහා මේ දිවා ආරෝග්‍යශාලාවන්ට ඇතුළු කර ගනු ලැබෙති. ඔව්හු රාත්‍රිභාගය ආරෝග්‍යශාලාවෙහි ගත කොට ඊළඟ දිනයෙහි වැඩපළ සඳහා නික්ම යති. ගෘහිණීන්ට හෝ රාත්‍රියෙහි වැඩපළ කරන උදවියට එම වාට්ටුවල ම දිවාභාගයෙහි ප්‍රතිකාර කරනු ලැබේ. මේ මාහැඟි වැඩ පිළිවෙළ කාර්ය මණ්ඩලය අතින් ද බලන කල ලොකු පිරිමැස්මකි. මේ හේතුකොටගෙන සුළු මානසික ආබාධ ඇති අයට තම රැකීරක්ෂාවලට හා ගෙදර දොරේ කටයුතුවලට කිසි හානියක් නොවන පරිදි ද මානසිකාරෝග්‍යශාලාවකට ඇතුළු වීමෙන් බොහෝ විට ඇතිවන සමාජයෙන් කොන්වීම ගැන බියක් නොමැතිව ද ප්‍රතිකාර ගැනීමට පහසුකම් සැලසේ.

ලාදුරු, ක්ෂයරෝගය, පිළිකා රෝගය සහ මානසිකාබාධ යන විශේෂ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ ආරෝග්‍යශාලා ද සරම්ප, පැපොල්, වසූරිය සහ අතීසාරය වැනි බෝවෙන රෝග යම් පෙදෙසකට පමණක් සීමා වී ඇති නම් ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා ඒ ප්‍රදේශවල වෙන් කළ ආරෝග්‍යශාලා ද පිහිටුවිය යුතුය. සූතිකාවන් හා ළමයින් සඳහා වෙන ම ආරෝග්‍යශාලා පිහිටුවීම මැනැවැයි අදහස් කරනු ලැබේ. මව ගැබ් ගත් මුල් අවදියේ සිට ළමයා පාසැලට ඇතුළු වන කාලය දක්වා ම මවටත් ළමයාටත් අඛණ්ඩ සේවයක් සැලසෙන පරිදි සූතිකාරෝග්‍යශාලා සකස් විය යුතුයි. සාමාන්‍ය ප්‍රසූතියක් අපේක්ෂා කට හැකි එක් එක් ගැබිණියකට ඇඳක් බැගින් රෝහලෙහි නොතිබුණ ද දාරකෝත්පත්තියට ප්‍රථම සෑහෙන පමණ ආරක්ෂා සංවිධාන එමගින් සැලසිය යුතුයි. එසේ ම මෙම (සූතිකා) ආරෝග්‍යශාලාව වින්නඹු මාතාවන් පුහුණු කිරීමේත් නේවාසික රෝගීන් පිළිබඳ සේවය පරිපාලනය කිරීමේත් ආරෝග්‍යශාලාවට ගෙන ආ නොහැකි තත්ත්වයක වූ ගර්භිණියකට හෝ සූතිකාවකට හෝ හදිසි අමාරුවක් වූ විටක ගෙදර දී ප්‍රතිකාර කරනු වස් ප්‍රසව ශල්‍ය වෛද්‍යවරයකුගෙන් ද දක්ෂ සූතිකා සාත්තු සේවිකාවකගෙන් හා උපකරණවලින් ද යුක්ත ජංගම වෛද්‍යසේවයක් සැපයීමේත් මධ්‍යස්ථානයක් විය යුතුය.

මහාරෝග්‍යශාලාවේ ම ළමයින් උදෙසා අංශයක් වෙන් කිරීමට වඩා වෙන ම ළමා ආරෝග්‍යශාලාවක් පිහිටුවීමේ ප්‍රයෝජන බොහෝයි. විශේෂයෙන් පුහුණු වූ සාත්තු සේවකසේවිකාවන් සිටීම ද ළමාරෝගීන්ට වෙන වෙන ම උපස්ථාන කිරීම හා ඔවුන් බලා කියා ගැනීම ද ප්‍රසන්න ලෙස සරසන ලද වාට්ටු සහ බාහිර රෝගීන් සඳහා වූ ගොඩනැඟිලි ද එතරම් දැඩි නොවූ සංවිධානයක් ද ළමා රෝගීන් සඳහා ඉතා අවශ්‍යය. ආරෝග්‍යශාලාවක සිටින ළමයින් නිතර බියවනසුලු බැවිනුත් ගෙදරින් බැහැර සිටීමෙන් ඔවුන්ට කාන්සියක් දැනෙන බැවිනුත් නිතර ළමා රෝගීන් බැලීමට ඒම සඳහා දෙමවුපියාදීන්ට ඉඩ සැලැස්විය යුතුයි. වාට්ටුවේ කාර්ය මණ්ඩලයේ කෘතහස්ත සමීක්ෂණය යටතේ පුළුපුළුවන් මව්වරුන්හට ඔවුන්ගේ ළදරුවන්ට සාත්තුසප්පායම් කිරීමට ඉඩකඩ සලස්වා දීම ද කළ යුතුවේ. ක්ෂයරෝගය හා ලාදුරුරෝගය මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක්ව පවත්නා හැම රටක ම ක්ෂය රෝගය වැළැක්වීමේ ආයතන හා ලාදුරු ආරෝග්‍යශාලා ළමයින් වෙනුවෙන් වෙන ම ඇති කිරීම ද අවශ්‍යයි.

ආරෝග්‍යශාලාවක බාහිර රෝගීන් පිළිබඳ අංශය විශේෂ සැලකිල්ලෙන්, කල්පනාකාරීව සංවිධානය කළයුතුය. මේ අංශය කාර්‍ය්‍යක්ෂමව ක්‍රියා කෙරේ නම් ආරෝග්‍යශාලාවට ඇතුළු කර ගත යුත්තන්ගේ සංඛ්‍යාව අඩුවන බැවින් එය ඉතා ම වැදගත් එකකි. එසේ ම මෙය ආරෝග්‍යශාලාවත් මහජනයාත් අතර සුහද සම්බන්ධතාවක් ඇති කර ගැන්මේ අගනා මාර්ගයක් ද විය හැකියි. කරුණාන්විත ශුභසාධක නිලධාරියකුගේ භාරයෙහි තිබිය යුතු නැවතුම්හලෙහි ඉඩකඩ හා අනිකුත් සැපපහසුකම් මෙන් ම සුළු කෑම්පීම් සපයන ආපනශාලාවක් ද තිබිය යුතුයි. ගත වූ අවුරුදු කීපය ඇතුළත දී මහා බ්‍රිතාන්‍යයේ ආරෝග්‍යශාලා රාශියක රෝගීන් පරීක්ෂා කරන වේලාවන් හා දිනයන් නියම කර ගැනීමේ අලුත් ක්‍රමයක් පටන් ගෙන ඇත්තේය. මේ නිසා රෝගීන්ට රෝග පරීක්ෂා කරවා ගැනීම පිණිස පැය බාගයකට වඩා කාලයක් නැවතී සිටීමට සිදු නොවේ.

මනාව සකස් වූ බාහිර රෝගීන්ගේ අංශයක් විවිධ වෛද්‍යාංශ දැක්වෙන ආලෝක සංඥාවන් විශාල සංඛ්‍යාවකින් ද ගැහැනු පිරිමි දෙපක්ෂයට වෙන් වෙන් වූ වැසිකිළි කිසකිළි ආදියෙන් ද යුක්තය. විශේෂ චිකිත්සාගාර පිහිටුවා ඇත්තේ ඒවාට සම්බන්ධ වාට්ටුවල සිට පහසුවෙන් යා හැකි පරිදි ළඟපාතය. විශාල ආරෝග්‍යශාලාවක බාහිර රෝගීන්ගේ අංශයට රතිරෝග විනිශ්චය කිරීමේ සහ ඒවාට ප්‍රතිකාර කිරීමේ වෙන ම අංශයක් ද ඇතුළත් වන්නේය. මේ අංශය වෙන ම බෙහෙත් හලකින්, පර්යේෂණාගාරයකින් හා සාත්තුකාර මණ්ඩලයකින් ද යුක්ත වෙයි.

ආහාරපාන සැපයීම

ආරෝග්‍යශාලා පාලනය පිළිබඳ වූ මේ වැදගත් ම කාය්‍යර්‍ය සාමාන්‍යයෙන් අතපසු කොට තිබුණකි. ආහාර විද්‍යාඥයකු භාරයේ පවත්නා ස්ථානවල හැර දැනුදු මේ කාය්‍යර්‍ය බොහෝ සෙයින් අතපසු වී පවතී. 1945 වර්ෂයේ දී මහාබ්‍රිතාන්‍යයෙහි ආහාර විද්‍යාඥයන් සිටියේ 271 දෙනකුන් පමණකි. මේ හේතුකොට ආහාරපාන සැපයීම වැඩි වශයෙන් ම භාර වූයේ සාත්තුකාර සහෝදරියකට හෝ කාය්‍යර්‍ය බහුල අන්‍ය නිලධාරියකුටය. වැඩි සැලකිල්ලක් නොමැතිව සපයන, බෙහෙවින් ඒකාකාර වූ, බොහෝ විට නිවීගිය ආහාරයකට රෝගීහු පුරුදුව සිටියහ. ශීත ප්‍රදේශවල ගන්නා ආහාරය නොනිවී තිබීම අවශ්‍ය කරුණකි. උසස් පෝෂ්‍යදායී පදාර්ථවලින් යුක්ත ආහාරයක වටිනාකම දැන් පිළිගෙන තිබේ. එහෙත් මෙය පිළියෙළ කිරීමට කෘතහස්ත ආහාර විද්‍යාඥයකුගේ උපදෙස් අවශ්‍යයි. මේ නිලධාරියා ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම, ඒවා ගබඩා කර තැබීම හා පිසීම පිළිබඳ කටයුතු පරිපාලනය කිරීමත් දෛනික ආහාර ලේඛනය සහ විශේෂ ආහාර සකස් කිරීමත් ගැන වගකිය යුතුයි. බාහිර රෝගීන්ට ශරීර පෝෂණය ගැන ප්‍රසිද්ධ කථා පැවැත්වීමත් සාත්තු සේවකයන්ට සහ වෛද්‍ය ශිෂ්‍යයන්ට ප්‍රායෝගික ආහාර විද්‍යාව පිළිබඳ මූලධර්ම සම්බන්ධයෙන් දේශන පැවැත්වීමත් ඇතැම් ආරෝග්‍යශාලාවල ආහාර විද්‍යාඥයන්ගෙන් ඉටුවන යුතුකම් වේ.

සැලැස්ම කිරීම

නවපන්නයේ මහාරෝග්‍යශාලාවක්, විශේෂයෙන් උෂ්ණ කලාපික රටවල එබන්දක්, අතිශයින් සංකීර්ණය. ආරෝග්‍යශාලාවක් ඉදිකිරීමේ දී සවාසථ්‍යාරක්ෂණ අවශ්‍යතාවන් හා සම්බන්ධ වූ නොයෙක් ප්‍රශ්න නිරාකරණය කිරීම ගෘහනිර්මාණ ශිල්පියා සතු කාර්‍ය්‍යයකි. එසේ ම බිම ශබ්ද නොනැඟෙන සේ සකස් කිරීම, ප්‍රමාණවත් වාතාශ්‍රය සැපයීම හා ප්‍රියංකර වර්ණයන් යෙදීමත් ඔහුට භාරය. ආරෝග්‍යශාලාවේ සැලැස්ම ද අලුත් අදහස්වලට හා නවීන ශිල්ප ක්‍රමවලට ඉඩ ලැබෙන සේ සකස් විය යුතුය. කලකට පෙර උදර ශල්‍යකර්මයකින් පසු ඇඳෙන් බැහීමට දින දහයක් පමණ ගත වූ නමුත් දැන් ඒ සඳහා ගත වන කාලය ක්‍රමයෙන් අඩු වන බැවින් ශල්‍යාගාර හා සම්බන්ධ වූ වැසිකිළි ආදිය හා කෑම ශාලා පෙරට වඩා ඉඩකඩ ඇති ඒවා විය යුතු බව කිය හැකියි.

ඉඩකඩ අතින් සැලසෙන පිරිමැස්ම නිසා ද ඉක්මනින් යෑම්ඊම් කටහැකි නිසා ද බුහුමහල් ගොඩනැඟිල්ලක් එක්මහල් හෝ දෙමහල් ආරෝග්‍යශාලාවකට වඩා ප්‍රයෝජනවත්ය. දෙපස පිහිටි ජනෙල් ඇති, එකිනෙකට මුහුණ ලා සිටින සේ දෙපෙළට තබන ලද ඇඳන් තිහකින් හෝ ඊට වැඩි ගණනකින් යුක්ත වූ, විශාල වාට්ටු වෙනුවට දැන් කුඩා වාට්ටු තනනු ලැබේ. මේ කුඩා වාට්ටුවල ඇත්තේ හතරේ සිට අට දක්වා වූ ඇඳන් සංඛ්‍යාවකි. මේවායේ ජනෙල්වලට සමාන්තරව ඇඳන් තබා ඇත. ඇඳන් වටා තිර ඇදීමෙන් ඒවා සෙසු ඇඳන්වලින් වෙන් කොට ගත හැකිය.

ලෝකයේ ආර්ථික අතින් දියුණු රටවල මනා සැලැස්මකින් යුක්තව ඉදි කරන ලද අලුත් ආරෝග්‍යශාලාවක ඇති සුවපහසුකම් බොහෝය; විවිධය. අංගසම්පූර්ණ බාහිර රෝගීන්ගේ අංශයක දී රෝගියා සමාදරයෙන් පිළිගෙන අප්‍රමාදව ඔහුට ප්‍රතිකාර කරනු ලැබේ. නොඑසේ නම්, රෝගියා සැපපහසු ඇති ඇඳකින් හා පිරිසිදු කුඩා අල්මාරියකින් ද විදුලි සීනුවකින් හා පහනකින් ද යුත් කුඩා වාට්ටුවකට ඇතුළු කර ගනු ලබයි. රෝගීන් බැලීමට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා ඇඳ ළඟ අසුන් තබා තිබේ. කර්කශ නාදයක් ඇති කරන ශබ්ද විකාශන යන්ත්‍ර වෙනුවට එක් එක් රෝගියාට 'ඉයර්පෝනය' බැගින් හෝ වැඩි පහසුව තකා කොට්ටය යට තබා ගත හැකි රේඩියෝ උපකරණය බැගින් හෝ සපයා ඇත. පෝෂ්‍යදායී ආහාර යහන මත ම තබාගත හැකි මේසයකට සිත් ගන්නා අයුරින් බෙදා දෙනු ලැබේ. 'මයික්‍රොපෝනයක' මාර්ගයෙන් සාත්තු සේවිකාව සමඟ ද ටෙලිපෝනයක මාර්ගයෙන් නෑදෑ හිතමිතුරන් සමඟ ද රෝගියාට කතා කළ හැකිය. රෝගියාට කියවීමට පතපොත සපයනු ලබන්නේ ස්වේච්ඡා සේවක මණ්ඩලයක් විසිනි. ලෙඩ ඇඳෙන් නැඟිටීමට අවසර ඇති රෝගීන් උදෙසා ප්‍රමාණවත් පරිදි භෝජනශාලා ඉඩකඩ ද පසුව අවශ්‍ය වුවහොත් රෝගෝපශම නිවාසයකට ඇතුළුවීමේ පහසුකම් ද සලසනු ලැබේ. ළමයින් බොහෝ කලක් නවත්වා ගන්නා ආරෝග්‍යශාලාවලත් ලාදුරු රෝහල්වලත් ක්ෂයරෝග ආරෝග්‍යශාලාවලත් අධ්‍යාපන පහසුකම් සලසා ඇත.

පරිපාලනය

මෑතක් වනතුරු ම බොහෝ මහා රෝග්‍යශාලා පාලනය කරන ලද්දේ වෛද්‍ය නිලධාරීන් විසින් ආරෝග්‍යශාලා ලේකම්වරයකුගේ ආධාර ඇතිවය. එහෙත් අද ඒ සඳහා උසස් ඉගෙනීමක් හා විශේෂ පුහුණුවක් ලත් වෛද්‍ය නුවූ පාලක නිලධාරීහු යොදවනු ලැබෙත්. මේ වැඩපිළිවෙළ හේතුකොටගෙන වෛද්‍යවරුන්ට අනෙක් කටයුතු සදහා නොවෙහෙසී හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක කටයුතු සඳහා සිත කය යෙදවීමට ඉඩකඩ ලැබේ. වෛද්‍යවරු වෛද්‍යෝපදේශක සභාවක සාමාජිකයන් වශයෙන් පාලක නිලධාරියාට වෛද්‍යවිෂයක ආධාර දෙති. එංගලන්තයේ ජනප්‍රියව පවත්නාවූ ද දැන් කොළඹ ආරෝග්‍යශාලා ගණය විසින් අනුගමනය කරනු ලබන්නා වූ ද පාලන ක්‍රමය හැඳින්වෙන්නේ 'කොමිටි ක්‍රමය' යනුවෙනි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හෝ ප්‍රාදේශික පාලන මණ්ඩල විසින් හෝ මහජන ජීවිතයේ විවිධ අංශවල නියෝජිතයන් වශයෙන් ඉදිරිපත් කරනු ලබන පුරවැසියන් සමූහයක් පාලනය පිළිබඳ කාරක සභාවකට පත් කරගනු ලැබෙත්. ආරෝග්‍යශාලා පිළිබඳ සම්පූර්ණ පාලනය ගෙනයන මේ කාරක සභාවට ප්‍රධාන ආරෝග්‍යශාලා පාලකතැන සහ තවත් නිලධාරීන් කීප දෙනෙක් ඇතුළත් වෙති. මෙම කාරකසභාව වෛද්‍යෝපදේශක, ගොඩනැඟිලි, සංස්ථාපන හා මුදල් පිළිබඳ කටයුතු ආදි වශයෙන් විවිධ අංශ භාර අනුකාරක සභා කිහිපයකට බෙදේ. ව්‍යාපාරික වූත් පාලනාත්මක වූත් මහජනයා සම්බන්ධ වූත් නානා කටයුතු ගැන විශේෂ අවබෝධයක් හා පළපුරුද්දක් ඇති දක්ෂ පුරවැසියන්ට මේ මහඟු වැඩ පිළිවෙළ නිසා ස්වේච්ඡාවෙන් ම ඉහත සඳහන් කාරක සභාවලට බැඳී සේවය කිරීමට ප්‍රස්තාව සැලසේ.

පුරාණ ලංකාවේ ආරෝග්‍යශාලා පිළිබඳව මහාවංසය, ශිලාලිපි, නටබුන් හා පැරණි සාහිත්‍ය ග්‍රන්ථ ආදියෙන් කරුණු උගත හැක. දැන් මෙරට ඇති රෝහල් බෙහෙවින් ම බ්‍රිතාන්‍ය යුගයේ දී ඇති වූ ඒවාය. ඕලන්ද ජාතිකයෝ ද මෙරට ආරෝග්‍යශාලා තැනූහ. ඕලන්ද ආණ්ඩුකාර කොර්නේලියස් සිමන්ස්ගේ කාලයේ දී ලාදුරු රෝගීන් උදෙසා හැඳල ආරෝග්‍යශාලාව පිහිටුවන ලදි.

1962 සැප්තැම්බර් 30 දින වන විට ලංකාවේ පැවති ආරෝග්‍යශාලා හා ඒවායේ ඇඳන් පිළිබඳ සංඛ්‍යා ලේඛනය පහත පළවේ.

ආරෝග්‍යශාලා සංඛ්‍යාව හා ඇඳන් සංඛ්‍යාව

1. කොළඹ ආරෝග්‍යශාලා මණ්ඩලය (විශේෂ ආයතන ද ඇතුළුව) – 9 - 4,219

2. ප්‍රාදේශික ආරෝග්‍යශාලා (කොළඹ ආරෝග්‍යශාලා මණ්ඩලය හැර) – 10 – 4,904

3. මූලික ආරෝග්‍යශාලා - 12 - 2,748

4. දිස්ත්‍රික් සහ ගෘහ්‍ය ආරෝග්‍යශාලා - 104 – 9,734

5. සම්පූර්ණ පර්යන්ත වෛද්‍ය ආයතන (ග්‍රාමීය ආරෝග්‍යශාලා 1ක්, මධ්‍ය බෙහෙත්ශාලා 1ක් හා මාතෘ නිවාස 1ක් ඇතුළුව) – 69 - 2,205

6. ග්‍රාමීය ආරෝග්‍යශාලා - 62 – 1,362

විශේෂ වෛද්‍ය ආයතන (කොළඹ ආරෝග්‍ය ශාලා හැර)

ආරෝග්‍යශාලා සංඛ්‍යාව හා ඇඳන් සංඛ්‍යාව

7. මාතෘ ආරෝග්‍යශාලා - මාතෘ නිවාස ඇතුළුව (කොළඹ ආරෝග්‍යශාලා මණ්ඩලය හැර) - 117 - 1,311

8. මානසික ආරෝග්‍යශාලා - 3 – 2,490

9. ළය රෝහල් සහ විවේකාගාර - 7 - 2,215

10. ලාදුරු ආරෝග්‍යශාලා - 3 – 1,083

11. බෝවන රෝග පිළිබඳ ආරෝග්‍යශාලා (කොළඹ ආරෝග්‍යශාලා මණ්ඩලය හැර) – 2 – 28

12. වෙනත් ආරෝග්‍යශාලා - 13 – 436

මුළු ගණන - 411 – 32,735

මේ ආයතනවලින් බොහොමයක් ප්‍රමාණවත් කාර්‍ය්‍යමණ්ඩලවලින් යුක්ත නොවේ; උපකරණාදියෙන් ද අසම්පූර්ණය; බෙහෙවින් අලුත්වැඩියා කළයුතු තත්වයක පවතී. කොළඹ ආරෝග්‍යශාලා මණ්ඩලය හා ප්‍රාදේශික ආරෝග්‍යශාලාවන් පිළිබඳ වූ බලවත් අඩුපාඩුවක් නම් මැනැවින් සංවිධානය වූ බාහිර රෝගීන්ගේ අංශයක් නැතිකමයි. බාහිර රෝගියකු පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයත් ප්‍රතිකාරයත් සඳහා පහසුකම් යෙදීමෙන් ආරෝග්‍යශාලාවට ඇතුළුවීමේ අවශ්‍යතාව බොහෝදුරට මඟහැරී යන බැවින් මැනැවින් සංවිධානය වූ බාහිර රෝගීන්ගේ අංශයක් අත්‍යවශ්‍යය.

අද ලංකාවේ ආරෝග්‍යශාලා පාලනය කරනු ලබන්නේ වෛද්‍ය නිලධාරියකු විසින් උගත් ලේඛකාධිකාරී තැනකගේ ආධාර ඇතිවය. කොළඹ ආරෝග්‍යශාලා මණ්ඩලය පාලනය කරන පරිද්දෙන් ප්‍රාදේශික ආරෝග්‍යශාලා දහය ද නුදුරු අනාගතයේ දී 'කොමිටි ක්‍රමය' අනුව පාලනය කිරීමට පටන් ගැනීමේ අදහසක් පවතී.

මහජනයා අතුරෙන් තෝරා ගන්නා ලද නියෝජිතයන්ගේ සහයෝගය ලබා ගැනීමෙන් රජයේ සංවිධානයක් ඇතුළත ම සිය කැමැත්තෙන් ම සේවය කිරීමේ හැඟීම වැඩි දියුණු වන බැවින් 'කොමිටි ක්‍රමය' ඉතා අගනේයි.

(කර්තෘ: ෆ්ලෝරන්ස් කේ. රාම් අලුවිහාරේ)

පුරාණ ලංකාවේ

ලක්දිව පැරණි රජදරුවන් විසිනුත් රජයේ උසස් තනතුරු දැරූ තැනැත්තන් විසිනුත් රට වැසියාගේ ප්‍රයෝජනය සඳහා ආරෝග්‍යශාලා (පා. වෙජ්ජසාලා, ගිලානසාලා) හා ඖෂධශාලා (පා. භෙසජ්ජගෙහ) පිහිටුවා ලන ලද බවත් ඒවාට ගම්බිම් හා වෙනත් පරිහාර ප්‍රදානය කරන ලද බවත් කියැවෙන ප්‍රවෘත්ති වංසකථාවල හා ශිලාලිපිවල සදහන් වී තිබේ. පණ්ඩුකාභය රජු ක්‍රි.පූ. සිව්වන සියවසෙහි අනුරාධපුර නගරය පිහිටුවා එහි තිඹිරි ගෙයක් (පා. සිවිකාසාලා හෙවත් විජායනඝර) හා ගිලන්හලක් (පා. සොත්ථිසාලා හෙවත් ගිලානසාලා) කරවූ බව කියැවෙන මහාවංස (10.102) ප්‍රවෘත්තිය ඉන් පැරණිතම වෙයි. දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161-137) විසින් ද ආරෝග්‍යශාලා නොහොත් ඖෂධශාලා කරවන ලද බව “මම නිරන්තරයෙන් අටළොස් තැනක වෙදුන් විසින් නියම කරන ලද ගිලන්බත් හා බෙහෙත් ගිලනුන්ට දෙවීමි” යනුවෙන් මරණමඤ්චකයේ වැදහොත් එ රජුට ඇසෙන්නට කියැවූ පින්පොතෙහි සඳහන් වූයේ යයි මහාවංසයෙහි දක්නා ලැබෙන පාඨය අනුව සිතා ගත හැකිය.

ශ්‍රෙෂ්ඨ වෛද්‍යවරයකු හැටියටත් ආරෝග්‍යශාලා හා අනාථාගාර පිහිටුවා ලූ ශ්‍රෙෂ්ඨ නරපතියකු හැටියටත් ප්‍රසිද්ධ බුද්ධදාස රජ (ක්‍රි.ව. 337–365) ලක්දිව් වැස්සන්ට හිත පිණිස ගම්වල ආරෝග්‍යශාලා කරවා වෙදුන් නියුක්ත කෙළේය; ගම් දහයකට එක වෙදකු බැගින් පත් කෙළේය; කෙත් අයෙන් දහයෙන් කොටසක් වෙදුන්ගේ දිවි වැටුප් කොට දුන්නේය (ම.ව. 37. 145–147). ඔහු දෙටුපුත් උපතිස්ස I රජු (ක්‍රි.ව. 365–406) විසින් කොරුන්, ගර්භිණීන්, අන්ධයන් හා රෝගීන් සඳහා විශාල භෝග (ගිලාන) ශාලා හා දානශාලාත් (ම.ව. 37. 182) කණිටුපුත් මහානාම (ක්‍රි.ව. 406-428) රජු විසින් ආරෝග්‍යශාලාත් (ම.ව. 37.211) කරවන ලදි. ධාතුසේන (ක්‍රි.ව. 455-473) රජ කොරුන්ට හා රෝගාතුරයන්ට ශාලා කරවීය (ම.ව. 38.42). සිලාකාල (අඹහෙරණ සලමෙවන්, ක්‍රි.ව. 518–531) රජ රටවැසියන්ගේ හිතසුව පිණිස ආරෝග්‍යශාලාවල ආදායම වැඩි කෙළේය (ම.ව. 41.28). ක්‍රි.ව. 659ට මඳ කලකට පෙර රුහුණෙහි අධිපතිව වුසූ අක්බෝ කුමරු කණගම්හි අන්ධයන්ටත් ගිලනුන්ටත් ශාලා කරවීය (චූල 45.43). උදය I (දප්පුල II නමින් කිසිවෙක් හඳුන්වති; ක්‍රි.ව. 797-801) රජ පොළොන්නරුවෙහි වෛද්‍යශාලාවක් කෙළේය; පඬාවියෙහි ද භෝග උපදනා ගමින් යුක්ත කොට ආරෝග්‍යශාලාවක් කෙළේය. (ම.ව. 49. 18–19). සේන I (මත්වල සෙන්, ක්‍රි.ව. 833-853) රජු විසින් පොළොන්නරු නගරයට බටහිර දිග ආරෝග්‍යශාලාවක් කරවන ලදි (ම.ව. 50.75). සේන II (මුඟයින් වැසි සෙන්, ක්‍රි.ව. 853-887) රජ චේතියගිරියෙහි ආරෝග්‍යශාලාවක් කරවිය (ම.ව. 51. 73). කාශ්‍යප IV (ක්‍රි.ව. 898-914) රජු ථූපාරාමයේ ඖෂධශාලාවකට දුන් වත්තක් ගැන ඔහුගේ කිරිබත් වෙහෙර ටැම් ලිපියෙහි (ලං.ශි.සං, I, iv. 11, 158–159 පිටු) සඳහන් වෙයි. සෙනල් නාකන් නමැති මහලේනාවන් විසින් කරවන ලද තිඹිරිගෙයක් ගැනත් එහි නඩත්තුව සඳහා ඔහු විසිනුත් රජු විසිනුත් උතුරු පළාතෙන් ගම් කිහිපයක් අය බද්දෙන් නිදහස් කරවා ප්‍රදානය කොට කරන ලද පරිහාර දානයන් ගැනත් කොළඹ කෞතුකාගාරයෙහි දක්නා ලැබෙන කාශ්‍යප IV රජුගේ තවත් ටැම් ලිපියකින් (ලං.ශි.සං. III, v. 28, 273–275 පිටු) කියැවෙයි. කාශ්‍යප IV රජුගේ ඉලංග සේන නම් සෙනෙවියා අනුරාධපුරයෙහිත් පොළොන්නරුවෙහිත් වසංගත රෝග නසන පිණිස ආරෝග්‍යශාලා ද නගරයේ ඒ ඒ තන්හි ඖෂධශාලා ද කරවිය (ම.ව. 52. 25–27). කුකුරුමහන්දමන ටැම් ලිපියෙහි (ලං.ශි.සං. II, i. 5, 22-23 පිටු) සෙන් සෙනෙවිරත් යනුවෙන් සඳහන් වන්නේ මේ ඉලංග සේන සෙනෙවියා යයි සලකනු ලැබේ. සෙන් සෙනෙවිරත් විසින් අනුරාධපුරයේ ඇතුළු නුවර මංගල මහාවීථියෙහි මහින්දාරාම මෙහෙණවර ඉදිරිපස ආරෝග්‍යශාලාවක් කරවන ලද බව ඒ ශිලාලිපියෙන් හෙළි වෙයි.

කාශ්‍යප V (ක්‍රි.ව. 914-923) රජු විසින් අනුරාධපුර නගරයෙහි ආරෝග්‍යශාලා කරවා ඒවායේ නඩත්තුව සඳහා ගම් ද දෙවන ලදි (ම.ව. 52. 57). ඔහු විසින් ඇතුළු නුවර මංගල මහාවීථියෙහි දකුණු දොරටුව අසල රාජකීය ආරෝග්‍යශාලාවක් කරවන ලදැයි අනුරාධපුරයේ අභයගිරි විහාරයෙන් සොයා ගෙන ඇති පදර ලිපියක (ලං.ගි.සං. I, ii, 4,43 පිට) දක්නා ලැබේ. කාශ්‍යප V රජු විසින් ඇතුළු නුවර කරවන ලද ආරෝග්‍යශාලාවට අයත් වූ ගමක් ගැන දොරබාවිල (අංක 1) ටැම් ලිපියෙන් (ලං.ශි.සං. V, ii. 25 (1), 292 පිට) කියැවේ. ඔහුගේ මැදිරිගිරිය ටැම් ලිපියෙහි (ලං.ශි.සං. II, i. 6, 28–30 පිටු) මණ්ඩලගිරියේ ඇත් වෙහෙරෙහි පධානඝරයට සම්බන්ධ කොට තුබූ ගිලන්හලට අයත් ගම්හි වසන්නවුන් විසින් එම ආරෝග්‍යශාලාවට මළ එළුවන් හා කුකුළන් සැපයිය යුතු බව සඳහන් වෙයි. එහි ම දක්නා ලැබෙන බොහෝ දුරට කැඩී බිඳී ගොස් ඇති පදර ලිපියක (ලං.ශි.සං, II, 26 පිට) "වෙද්හල් කැමියන්... වෙද්හල්දසුන්... වෙද්සම්දරුවන්... වෙද්හල්බද් ගම්බිම්... වෙද්හල්බද් කුඩීන්... ආදී වචන දක්නා ලැබේ. කාශ්‍යප V රජුගේ සමයට හෝ තදාසන්න සමයට අයත් සේ සලකනු ලබන පොළොන්නරුවේ රාජසභාශාලා ටැම් ලිපියෙහි (ලං.ශි.සං. IV, 5, 39-40 පිටු) දොති වලක්නැ නමැත්තකු කළ ආරෝග්‍යශාලාවකට නියමිත ප්‍රමාණයක් වියළි ඉඟුරු සැපයීමට හා එසේ නොකළ හැකි කල්හි නියමිත රත්රන් ප්‍රමාණයක් ගෙවීමට නියම වූ ගම්වර දෙකක් ගැන සඳහන් වෙයි. මිහින්තලේ කන්ද පාමුල වූ නටබුන් අතර ඇති මුර රූපයක කොටන ලද කෙටි ශිලාලිපියක ආරෝග්‍යශාලාවකට පිරිනමන ලද ඇතැම් කුඹුරු පිළිබඳ සටහනක් වෙයි. මේ ශිලාලිපිය ඒ හා සම්බන්ධ වූ ගොඩනැඟිල්ල ගැන ද කියන හෙයින් දැනට ඒ ස්ථානයෙහි ශේෂව ඇති නටබුන් මිහින්තලේ සංඝාරාමයට අයත් ඒවා හැටියට සලකනු ලැබේ. මිහිඳු IV (ක්‍රි.ව. 956–972) රජු ආරෝග්‍යශාලා කරවූ බව ඔහුගේ ජේතවනාරාම (අංක 1) පදර ලිපියෙන් (ලං.ශි.සං. I, vi. 19. 219 පිට) හෙළි වෙයි. ඔහු විසින් ඒවාට බෙහෙත් හා ඇඳන් දෙවන ලදි (ම.ව. 54. 31). ඔහුගේ කීර්ති නම් දේවියගේ පුත් තෙමේ ගිහීන් සඳහා නගරයෙහිත් සක්කසේනාපති (කාශ්‍යප V රජුගේ මුනුබුරා? ම.ව. 52. 79) තෙමේ භික්ෂූන් සඳහා නගරයෙන් බැහැරත් ආරෝග්‍යශාලා කරවීය (ම.ව. 54. 53).

රටෙහි සංවර්ධනය පිණිසත් බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය පිණිසත් කටයුතු කළ (මහා) පරාක්‍රමබාහු I (ක්‍රි.ව. 1153-1186) රජු විසින් ආරෝග්‍යශාලා ද කරවන ලදි. ඒ ගැන චූලවංසයෙහි (73. 34-47) මෙසේ සඳහන් වෙයි: "...රජ තෙමේ නොයෙක් සිය ගණන් රෝගීන්ගේ වාසයට සුදුසු වූ මහාරෝග්‍යශාලාවක් කරවා... එහි සියලු උපභෝග වස්තු රැස් කොට තබවා එක් එක් රෝගියාට දිවාරාත්‍රි දෙක්හි පොහොනා පමණින් බෙහෙත් හා කෑයුතු ආහාර ආදිය සපයනු පිණිස එක් එක් දාසයකු හා එක් එක් දාසියක දෙවා එහි නොයෙක් බෙහෙත් සම්භාරයන් හා ධනධාන්‍ය ආදිය රැස් කරන ලද බොහෝ කොටුගුළු කරවා නොයෙක් අවස්ථා විභාගයෙහි නිපුණ වූ මහ පැන ඇති සියලු වෙදසතර දන්නා කෘතහස්ත වෙදුන්ට වැටුප් දී... ඔවුන් ලවා සුදුසු පරිද්දෙන් රෑ දෙවෙහි මොනවට පිළියම් කරවමින් මස සතර පෙහෙවස් දවස්හි... සමාදන් වූ පෙහෙවසින් සුපිරිසුදුව... ඇමතියන් විසින් පිරිවරන ලද්දේ තෙමේ ම ඒ ආරෝග්‍යශාලාවට එළඹ... රෝගීන් බලා... තමාත් ආයුර්වේදයෙහි නිපුණ බැවින් එහි නියුක්ත වෙදුන් ගෙන්වා... ඔවුන්ගේ පිළියම් ක්‍රමයන් සර්වප්‍රකාරයෙන් විචාරා ඔවුන් විසින් වරදවා කරන ලද පිළියමක් වී නම්... විරෝධයන් යුක්ති පරිද්දෙන් ඔවුන්ට අවබෝධ කරවා... ශාස්ත්‍ර යුක්තිය වූ පරිද්දෙන් උපදෙස් දී... සියතින් කිහිප දෙනකුට පිළියම් කොට රෝගීන් සියල්ලන්ගේ ම සුවදුක් විචාරා... රෝගමුක්තයන්ට අඳනා පිළී දෙවා... සිය ගෙට යයි." අනුරාධපුරයේ මල්වතු ඔය සමීපයේ පිහිටා ඇති (මහා) පරාක්‍රමබාහු I රජුගේ කාලයට අයත් ශිලාලිපියක රාජකීය නිලධාරියකු විසින් අනුරාධපුරයේ පිහිටුවන ලද ආරෝග්‍යශාලාවකට දෙන ලද කුඹුරු ගැන සඳහන් වී ඇත්තේය.

පුරාවිද්‍යා කැණීම් මගින් ලංකාවේ පැරණි ආරෝග්‍යශාලා කිහිපයක නටබුන් සොයා ගෙන තිබේ. එසේ සොයා ගන්නා ලද මිහින්තලා සංඝාරාමයට අයත් ආරෝග්‍යශාලාවේ නටබුන් විස්තර කරන එවක ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරූ එච්.සී.පී. බෙල් මහතා මෙසේ කියයි: "මෙහි අත්තිවාරම බටහිර සිට නැගෙනහිරට දිගින් අඩි 118 අඟල් 6ක් ද දකුණේ සිට උතුරට පළලින් අඩි 97 අඟල් 6ක් ද වන ලෙස ආයත චතුරස්‍රාකාරයෙන් ඉදි කොට තිබේ. නැගෙනහිර, බටහිර හා උතුර යන පැති ගඩොලින් බඳින ලද හරස් බිත්තිවලින් දෙපැත්තෙහි කුටි සතකට හා පිටුපසින් කුටි නවයකට බෙදා ඇත්තේය. (මුලින් කී කුටි සතෙන් දෙපැත්තෙහි පිහිටි කුටි දෙකෙහි ප්‍රමාණය මැද පිහිටි කුටිවල ප්‍රමාණය මෙන් දෙගුණයකි.) ඉදිරිපස අංශයක කුටි සතර බැගින් වෙයි. මේ කුටි සියල්ල ම මුහුණ දී ඇත්තේ මැද පිහිටි ප්‍රතිමාවක් සහිත මැද මිදුලටය. එක් එක් කුටියක අයම් විතරින් අඩි 10ක් වූ සමචතුරස්‍රයකි. ඇතුළු වටය වටා පටු ආලින්දයක් වෙයි.

"මෙම චතුරස්‍ර මන්දිරයෙහි ඊශාන දිග පිහිටි කුටියෙහි හුනුගල් මිනීපෙට්ටියක් බඳු සෙල්මුවා වස්තුවක් වෙයි. තනි ගලකින් නෙළන ලද එය පිටතින් මනිනු ලැබූ විට අයම්විතරින් අඩි 7ක් හා අඩි 2 අඟල් 2කි; ගැඹුර අඩි 2කි. එහි ඇතුළත හිස සහිත මිනිස් සිරුර තැබීමට ප්‍රමාණවත් වන පරිද්දෙන් කණින ලද කුහරයක් වෙයි. උරහිස් පෙදෙසෙහි දී පළල අඩි 1 අඟල් 7ක් පමණ වූ මේ කුහරය පාදාන්තයේ දී පළල අඩි 1ක් පමණ වන තුරු අනුක්‍රමයෙන් පටු වන්නේය. එහි අඩිය කටී ප්‍රදේශයට ගැළපෙන පරිද්දෙන් සාදා තිබේ." (ලංකාවේ පුරාවිද්‍යා පරීක්ෂණ පිළිබඳ වාර්ෂික වාර්තාව, 1910-11, 19–20 පිටු).

බෙල් මහතා කියන මිනීපෙට්ටියක් බඳු සෙල්මුවා වස්තුව ගල්ඔරුවකි. හැඩහුරුකමින් බෙල් මහතා විස්තර කළ ගල්ඔරුව වැන්නක් ථූපාරාමය අසල ඇති ගොඩනැගිල්ලක නටබුන් අතර ද දක්නට ලැබේ. මේ ගල්ඔරුවලට සාමාන්‍ය වශයෙන් බෙහෙත් ඔරු යයි කියනු ලැබේ. වාතාබාධ වැනි අසනීපවලින් පෙළුණු රෝගීන් බෙහෙත් යුෂ පිරවූ බෙහෙත් ඔරුවල බහා තබන ලද බව විනය පිටකයෙහි හා වෙනත් බෞද්ධ ග්‍රන්ථවල දැක්වෙයි. පුරාතන ලංකාවේ හැම ආරෝග්‍යශාලාවක ම මෙබඳු බෙහෙත් ඔරුවක් තුබුණු බව සිතිය හැක. එහෙයින් නටබුන් අතර බෙහෙත් ඔරු දක්නට ලැබෙන හැම ස්ථානයක ම ආරෝග්‍යශාලාවක් වූ බව නිගමනය කළ හැකැයි ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා කියයි. (ආයුර්වේදය (පුරාණ ලංකාවේ) බ.)

(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආරෝග්‍ය_ශාලාව&oldid=6695" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි