ආලූප රාජවංශය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ආලූප රජවරුන් රාජ්‍යය කෙළේ දකුණු කර්ණාට දේශයේ තුලුව රාජ්‍යයේයි. ඔවුන්ගේ අගනුවර වූයේ උඩිපි ප්‍රදේශයට දකුණෙන් පිහිටි උදයවාර නුවරයි. ඔවුන් මේ ප්‍රදේශයේ රාජ්‍ය පාලනයට පත් වූයේ ක්‍රිස්තු වර්ෂයෙන් මුල් ශතවර්ෂවල දී බැව් පෙනේ. ටොලමි (දෙවන සියවස) මොවුන් විසූ ප්‍රදේශය ඔලොයිබෝර ආලුවඛෙඩ නමින් හඳුන්වයි. පස්වන සියවසේ කොටවන ලද 'හල්මිඩ්' සෙල්ලිපියෙන් ද ආලූපවරුන් දකුණු ඉන්දියාවේ බටහිර වෙරළට ආසන්නව විසූ ජාතියක් බැව් ඔප්පු වේ.

ආලූප රාජවංශය පටන් ගැනුණේ මාරම්ම ආලුවරසර් නමැත්තකුගෙන් බැව් පෙනේ. 'ශ්‍රී මහාරාජ' යන විරුද නාමය ලත් ප්‍රථම ආලූප රජු හැටියට සැලකෙන චිත්‍රවාහන I රජුගේ (675-700) පියා වූ ගුණසාගර, චාලුක්‍ය රජවරුන් යටතේ වනවාසී ප්‍රදේශයේ ආණ්ඩුකාර ධුරයක් දැරූ බැව් කියති. මේ රාජවංශයේ අන්තිම රාජ්‍ය පාලකයා හැටියට සැලකෙනුයේ පසළොස් වන සියවසේ මැද භාගයේ විසූ සිව්වන කුලශේඛරදේව ආලූපේනුදේව රජුය. ආලූප රජවරු ශිව භක්තිකයෝ වූහ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආලූප_රාජවංශය&oldid=6806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි