ආශ්‍රම ධර්ම

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බ්‍රහ්මචර්යාදි ආශ්‍රමයන් කරා පැමිණියවුන් විසින් සේවනය කටයුතු යයි ශාස්ත්‍රයෙන් නියමිත ව්‍යවස්ථාවෝ ආශ්‍රම ධර්ම නම් වෙත්. ශ්‍රැති හා ස්මෘති සංඛ්‍යාත ධර්මය සවැදෑරුම් කොට දක්වා තිබේ. එනම්:

1. වර්ණ ධර්ම (බ්‍රාහ්මණයකු කිසිවිටෙකත් සුරාපානය නොකළ යුතුයි; බ්‍රාහ්මණයකු නොමැරිය යුතුයි ආදි වශයෙන් වර්ණයන් මුල් කරගෙන පැනවූ නියෝග)

2. ආශ්‍රම ධර්ම (බ්‍රහ්මචාරියා භික්ෂාටනයෙන් ජීවත් විය යුතුයි; දණ්ඩක් අතින් ගෙන යායුතුයි ආදි වශයෙන් ආශ්‍රම මුල් කරගෙන පැන වූ නියෝග)

3. වර්ණාශ්‍රම ධර්ම (බ්‍රාහ්මණ වර්ණයට අයත් බ්‍රහ්මචාරියා පලාශ හෙවත් කෑල දණ්ඩක් රැගෙන යා යුතුයි ආදි වශයෙන් විවිධ වර්ණයන් කෙරෙහි නියමිත ව්‍යවස්ථා)

4. ගුණධර්ම (රජු ස්වකීය රටවැසියා ආරක්ෂා කළ යුතුයි ආදි වශයෙන් පැනවූ ව්‍යවස්ථා)

5. නෛමිත්තික ධර්ම (තහනම් දෙයක් කළ කල්හි ප්‍රායශ්චිත්තාදිය පැවැත්වීමෙන් පිරිසිදුවීම් ආදී වශයෙන් නියමිත ධර්ම)

6. සාධාරණ ධර්ම (අහිංසා ආදි වශයෙන් සියලු ම මානව වර්ගයා විසින් පිළිපැදිය යුතු ගුණධර්ම) යන සයයි. මේ අනුව ආශ්‍රම ධර්මය ෂඩ්විධ ධර්මයන්ගෙන් එකකි. ඇතැම් ග්‍රන්ථවල නම් වශයෙන් හා අනුක්‍රම වශයෙන් ස්වල්ප වෙනසක් ඇත ද ආශ්‍රම ධර්ම සතරක් වේ. එනම්: 1. බ්‍රහ්මචර්‍ය්‍යා 2. ගෘහස්ථ 3. වානප්‍රස්ථ 4. සන්‍යාසි යනුයි.

ආපස්තම්භ ධර්ම සූත්‍රයෙහි

1. ගාර්හස්ත්‍ය

2. ආචාර්‍ය්‍ය කුල

3. මෞන

4. වානප්‍රස්ථ

යයි ආශ්‍රම සතර හඳුන්වා තිබේ. මේ සතර ගෘහස්ථයකු වශයෙන් ගත කරන කාලය, අන්තේවාසිකයකු වශයෙන් සිටින කාලය, මුනිවරයකු ලෙස වෙසෙන කාලය හා වනවාසි කාලයයි. බ්‍රහ්මචාරී, ගෘහස්ථ, භික්ෂු, වෛඛානස යන නම්වලින් ගෞතම ද බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ හා පරිව්‍රාජක යන නාමයන්ගෙන් වසිෂ්ඨ ද ආශ්‍රම සතර හඳුන්වා තිබේ. මනුස්මෘතියෙහි සඳහන් වන පරිදි පුරුෂායුෂකාලය සතරකට බෙදා ඉන් ප්‍රථම කොටස බ්‍රහ්මචර්යාවට කැප කළයුතුයි. ඒ කාලය තුළ ආචාර්යවරයාගේ ගෘහයෙහි නැවතී වේද ඉගෙනීම් ආදිය කළ යුතුයි. ඉන් පසු විවාහ ජීවිතයට ඇතුළත් වීමෙන් ගෘහස්ථ නම් වූ දෙවන ආශ්‍රමයට පැමිණේ. යම් විටෙක හිසෙහි නර කෙස් හා ශරීරයෙහි රැලි දකී ද එකල වනයට ගොස් වානප්‍රස්ථ තවුසෙක් විය යුතුයි. මෙසේ ඔහුගේ ජීවිතය පිළිබඳ තුන්වන කොටස වනයෙහි ගෙවා පරිණත වයස එළඹි කල්හි සන්‍යාසි ආශ්‍රමය කරා යා යුතු වේ.

ආශ්‍රම සතර කරා යෑම පිළිබඳ මත තුනෙකි. යමකුට එක ආශ්‍රමයකට අනතුරුව අනික වශයෙන් පිළිවෙළින් ආශ්‍රම සතරට පැමිණිය හැකි වුව ද එකක් හෝ වැඩි ගණනක් අත්හැර අන්‍ය ආශ්‍රමයකට පැමිණීමට හෝ සන්‍යාසියකු වීමෙන් පසු ගෘහස්ථ ආශ්‍රමයට යෑමට හෝ ඉඩ නැතැයි එක් පක්ෂයක් කියයි. බ්‍රහ්මචාරී ආශ්‍රමය කෙළවර වූ හැටියේ ම හෝ ගෘහස්ථ ආශ්‍රමය ගතවී යෑමෙන් පසුව හෝ පරිව්‍රාජක ආශ්‍රමය කරා යා හැකි බව දෙවන මතයයි. තුන්වන මතය දරන ගෞතම හා බෞද්ධායන යන දෙදෙන සැබවින් ඇත්තේ එක ම ආශ්‍රමයකැයි ද එය ගෘහස්ථ ආශ්‍රම යයි ද කියති. බ්‍රහ්මචර්යා ආශ්‍රමය ගෘහස්ථ භාවයට සුදානම් වීමක් බවත් අනිකුත් ආශ්‍රම ගෘහස්ථ ආශ්‍රමයට පහත් බවත් ඔවුන්ගේ මතය වේ. මනුස්මෘති, වසිෂ්ඨධර්මසූත්‍ර, විෂ්ණුධර්මසූත්‍රාදි ග්‍රන්ථවල ගෘහස්ථ ආශ්‍රමය ම උසස් වර්ණනාවට භාජන වී තිබේ. බෞද්ධායන ඍග්වේද සූක්තයක් ඉදිරිපත් කරමින් ගෘහස්ථ ආශ්‍රමය හැර අනිකුත් ආශ්‍රමයන්ගෙන් ප්‍රජාලාභය නොවන බැවින් එය ම ශ්‍රෙෂ්ඨ බවත් උත්පත්තියෙන් ම බ්‍රාහ්මණයකු සෘෂි, දේව, පිතෘ යන මොවුන්ට ණය තුනක් ඇති බවත් බ්‍රහ්මචර්යාවෙන් ඍෂීන්ට ඇති ණය ද යඥවලින් දෙවියන්ට ඇති ණය ද ප්‍රජාලාභයෙන් පිතෲන්ට ඇති ණය ද ගෙවිය යුතු බවත් කියයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආශ්‍රම_ධර්ම&oldid=6600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි