ආසන-1

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යෝග ශාස්ත්‍රයට අයත් අංග අටෙන් තෙවැනි අංගයයි. අනික් අංග හත නම් යම , නියම , ප්‍රාණායාම , ප්‍රත්‍යාහාර , ධාරණා , ධ්‍යාන , සමාධි යනුයි. ආසන වූ කලි සිත අන් අරමුණක යෙදීමට අවකාශ නොතබා ඒකාග්‍රතාවෙන් පවත්වා ගැනීමට ඉවහල් වන පරිදි ශරීරයේ අංග ප්‍රත්‍යංගයන් පිහිටුවා ගන්නා ක්‍රම පන්තියකි. නුසුදුසු ලෙස අඟපසඟ පිහිටුවා ගැනීමෙන් ඇතිවන ශරීර වේදනාදිය හේතුකොටගෙන චිත්තේකාග්‍රතාව ඇති කර ගැනීම දුෂ්කර බැවින් යෝගාභ්‍යාසයෙහි දී විශේෂ ආසන පන්තියක් ව්‍යවස්ථිතය.මේවා අභ්‍යාස කිරීමෙන් ශරීර සනීපය, චිත්ත සාමය හා අංගලාඝවය ලැබීම ද රාගචේතනාදිය මැඩ පැවැත්වීම ද වේ. යෝගාසනයන්ගේ සම්පූර්ණ ගණන විශාල සංඛ්‍යාවකි . මොවුනතුරෙන් ආසන අසූ හතරක් වැදගත්ය. එයින් ද ආසන තිස් දෙකක් විශේෂ කොට ගනු ලැබේ. ඒ ආසන තිස් දෙක , 1. සිද්ධ 2. පද්ම3. භද්‍ර 4. මුක්ත 5. වජ්‍ර 6. ස්වස්තික 7. සිංහ 8 ගෝමුඛ 9. වීර 10. ධනු 11. මෘත 12. ගුප්ත 13. මත්ස්‍ය 14. මත්ස්‍යෙන්ද්‍ර 15. පශ්චිමෝත්තාන 16. ගෝරක්ෂ 17. උත්කට 18. සංකට 19. මයූර 20. කුක්කුට 21. කූර්ම 22. උත්තාන කුර්මක 23. මණ්ඩුක 24. උත්තාන මණ්ඩුක 25. වෘක්ෂ 26. ගරුඩ 27. වෘෂ 28. ශලභ 20. මකර 30. උෂ්ට්‍ර 31 භුජංග 32. යෝග යන නම්වලින් හැඳින් වේ. මේ ආසන පිළිබඳ විස්තර ඝ‍ෙරණ්ඩ සංහිතා , ශිව සංහිතා , හඨයෝග ප්‍රදීපිකා ආදි ග්‍රන්ථයන්හි දැක් වේ. ඇතැම් ආසන පිළිබඳව කෙරෙන විස්තරවල ස්වල්පමාත්‍ර වෙනස්කම් ඇත. එම ආසන දෙතිස පිළිබඳව සාමාන්‍ය හැඳින්වීමක් පහත දක්වනු ලැබේ. 1. සිද්ධාසනය  : එක් විළුඹක් ගුද ප්‍රදේශයට තද වන සේ ද අනික් විළුඹ ජනනේන්ද්‍රිය මූලයෙහි ද නිකට පපුවට හේතු වන ලෙසද තබා සන්සුන්ව කය ඍජුව පිහිටුවා දෙබැම අතරෙන් බලන බැලුම් සහිත වූයේ සිද්ධාසනයයි. 2 පද්මාසනය  : දකුණු පාදය වම් කළව මතද වාම පාදය දකුණු කළව මත ද සිටින සේ එරමිණිය ගොතා හිඳ වමතින් දකුණු පාදයේ මාපටැඟිල්ල ද දකුණතින් වම් පසේ මාපටැඟිල්ල ද තදින් අල්ලා නිකට හෘදය මත ද දිව දත් මුල ද තබා සෙමින් වාතය ඉහළට ගෙන නැවත ප්‍රශ්වාස කරමින් නාසාග්‍රය දෙස බලන බැලුම් සහිත වූයේ පද්මාසනයයි. 3. භද්‍රාසනය  : ගුදය හා අණ්ඩකෝෂය අතර විළුම් දෙක පිහිටුවා කතිරයක් ලෙස පසු පාර්ශ්වයට ගත් අත් දෙකින් පාදවල මාපටැඟිලි අල්ලාගෙන කණ්ඨය සංකෝචනය කොට නිකට පපුවට තද කොටගෙන නාසාග්‍රය දෘෂ්ටි පථයට ලක් කර හිඳීම භද්‍රාසන නම් වේ. 4. මුක්තාසනය: ගුද මූලයෙහි වම් විළුඹ ද ඊ මත්තෙහි දකුණු විළුඹ පිහිටුවා ශීර්ෂය හා ග්‍රීවය සෘජුව තබා හිදීම මුක්තාසන නම් වේ. 5. වජ්‍රාසනය: දෙකළවා දැඩි සේ තදවන පරිදි නවා ගුදයේ උභය පාර්ශ්වයෙහි පාද තබා හිඳීම වජ්‍රාසන නම් වේ. 6. ස්වස්තිකාසනය  : දනහිස් හා කළවා අතර පතුල් තබා ශරීරයට සැප පහසු ඇතිවන පරිදි සෘජු කයින් වාඩි වී හිඳීම ස්වස්තිකාසන නම් වේ. 7. සිංහාසනය : වම් විළුඹ දකුණු පැත්තේ ද දකුණු විළුඹ වම් පැත්තේ ද උඩුකුරුව සිටින සේ අණ්ඩකෝෂයේ අධෝ භාගයෙහි තැබූ පිහිටුවා භූමිය ස්පර්ශ වන සේ තැබූ දනහිස් මත අත් තබා මුඛය විවෘත කොටගෙන කණ්ඨය සංකෝචනය කොට නිකට පපුවට තද කර නාසාග්‍රය දෙසට හෙළන ලද බැලුම් ඇතිව හිඳීම සිංහාසන නම් වේ. 8. ගෝමුඛාසනය  : විළුම් දෙක සට්ටම් යට පිහිටන සේ දෙපා භූමියෙහි තබා මුඛය උඩට ඔසවා ගෙන කය සෘජු කොට සන්සුන් ලෙස ගෝමුඛාකාරයෙන් වාඩි සිටීම ගෝමුඛාසන නම් වේ. 9.වීරාසනය : දකුණු පාදය වම් කළව මත තබා වම් පාදය පසු පසට නවා හිඳීම වීරාසන නම් වේ. 10. ධනුරාසනය: දිගාවී මුණින් වැතිර පිට දෙසට නැමූ දෙපා පිටි අතින් අල්ලා ගෙන දුන්නක් මෙන් හිඳීම ධනුරාසන නම් වේ. 11. මෘතාසනය: මෘත ශරීරයක් මෙන් භුමියෙහි උඩුකුරුව වැතිර හිඳීම මෘතාසන නම් වේ. 12. ගුප්තාසනය  : දනහිස් හා කළවා අතරෙහි සැඟවෙන පරිදි දෙපා තබා ඒ මත ගුදය පිහිටුවා හිඳීම ගුප්තාසන නම් වේ. 13.මත්ස්‍යාසනය  : අත් දෙක කතිරයක් සේ නොතබා පද්මාසනයෙන් හිඳ භූමියෙහි වැතිර වැලමිටි දෙක අතුරෙහි හිස තබා හිඳීම මත්ස්‍යසන නම් වේ.

14.මත්ස්‍යෙන්ද්‍රාසනය  :   වාම පාදය නමා දකුණු කළව මත තබා එය මත දකුණු වැලමිට ද දකුණතේ අල්ල උඩ මුහුණ ද පිහිටුවා උදරය ලිහිල්ව නොදැඩිව තබා ගෙන දෙබැම මැදට ය‍ොමු කරනා ලද දෘෂ්ටියෙන් යුක්තව හිඳීම  මත්ස්‍යෙන්ද්‍රාසනය නම් වේ.
15.පශ්චිමෝත්තානාසනය :    විළුම් එකිනෙක නොගැටෙන සේ දෙපා දණ්ඩක් මෙන් දිග හැර පියා දනහිස් දෙක මත නළල තබා අත දෙකින් පාදවල මාපටැඟිලි ග්‍රහණය කර සිටීම පශ්චිමෝත්තානාසනයයි.
16. ගෝරක්ෂාසනය: දනහිස් හා කළවා අතරේ සැඟවෙන සේ තැබූ පා දෙකේ යටි පතුල් උඩුකුරුව තබා දිගු කරන ලද අත් දෙකින් විළුම් දෙක වසා ගෙන කණ්ඨය හකුළුවා නාසාග්‍රය දෙස බලමින් හිඳීම ගෝරක්ෂාසනයයි. 
17. උත්කටාසනය : පාදවල මාපටැඟිලි භූමියෙහි ස්පර්ශ වන සේ විළුම් දෙක ඔසවා ඒ මත ගුදය තබා හිඳීම උත්කටාසන නම් වේ.

18.සංකටාසනය : වාම පාදය හා වම් දනහිස භූමිය ස්පර්ශ වන සේ තබා දකුණු කකුලෙන් වම් කකුල වෙළාගෙන අත් දෙක දනහිස් දෙක මත තබා හිඳීම සංකටාසනය නම් වේ.

19.මයුරාසනය  :  අතුල් භූමියෙහි තබා ශරීරයෙහි බර දෑතට එන අයුරින් ශරීරය ඔසවා ගෙන වැලමිටි නාභි පාර්ශ්වයට හේත්තු කර අතුල්වලින් නැඟී සිටීම මයුරාසනය නම් වේ. 

20. කුක්කුටාසනය : පද්මාසනයට නියමිත පරිද්දෙන් භූමියෙහි පලඟ බැඳ හිඳ වැලමිටිවලට ශරීරය හේත්තු වන සේ කළවා හා දනහිස් අතරෙන් භූමියෙහි තබන ලද අත්වලින් නැගී සිටීම කුක්කුටාසන නම් වේ.

21. කුර්මාසනය  : ව්‍යුත්ක්‍රමයෙන් භූමියෙහි තබන ලද විළුම් දෙක අණ්ඩකෝෂයේ අධෝභාගයෙහි පිහිටුවා හිස , බෙල්ල හා ශරීරය ඍජුව තබා හිඳීම කූර්මාසන නම් වේ. ව්‍යායාම ඥානකෝෂ ආදියෙහි කුක්කුටාසනය අන් පරිද්දෙකින් දක්වා ඇත.

22.උත්තාන කුර්මකාසනය :    කුක්කුටාසනයෙන් හිඳ පා දෙක කිසිලි දෙක යටින් හිසේ පසු භාගයට ගෙන කතිරයක් සේ තබා කූර්මයකු මෙන් නැඟී සිටීම උත්තාන කූර්මකාසන නම් වේ.

23.මණ්ඩුකාසනය : පයේ මහපටැඟිලි එකිනෙක ගැටෙන සේ පතුල් පසු පසට ගෙන දනහිස් ඉදිරියට තබා හිඳීම මණ්ඩුකාසන නම් වේ. 24. උත්තානමණ්ඩුකාසන : මණ්ඩුකාසනයෙන් හිඳ වැළමිටිවලින් ශීර්ෂය ග්‍රහණය කර මැඩියකු මෙන් නැඟී සිටීම උත්තාන මණ්ඩුකාසන නම් වේ. 25. වෘක්ෂාසනය: දකුණු පාදය නමා වම් කළව මුල තබා වාම පාදයෙන් නැඟී සිටගෙන වෘක්ෂයක් මෙන් ඍජුව සිටීම වෘක්ෂාසන නම් 26. ගරුඩාසනය : භූමිය තෙරපන සේ ජඩ්ඝා හා කළවා තබා දනහිස්වල ආධාරයෙන් කය ඍජුව පිහිටුවා දනහිස් මත තබන ලද අත් ඇතිව හිඳීම ගරුඬාසන නම් වේ. ව්‍යායාම ඥාන කෝෂ ආදියෙහි මෙම ආසනය අන් පරිද්දෙකින් දැක් වේ. 27.වෘෂාසනය : දකුණු විළුඹ මත ගුදය තබා ගුද ප්‍රදේශයෙන් වාම පාර්ශ්වයෙහි වම් පාදය තබා කතිරයක් සේ හරස්කොට තබන ලද දෑතින් භූමිය ස්පර්ශ කොට හිඳීම වෘෂාසනයයි. 28. ශලභාසනය: අතුල් භූමිය ස්පර්ශ වන සේ කළවා යට තබා මුණින් වැතිර වියතක් පමණ ඉහළට පා ඔසවා හිඳීම ශලභාසන නම් වේ. 29. මකරාසනය: පපුව භූමියෙහි ස්පර්ශ වන සේ මුණින් වැතිර පා දෙක දිග හැර අත් දඬු වලින් හිස ග්‍රහණය කර සිටීම මකරාසන නම් වේ. 30. උෂ්ට්‍රාසනය  : භූමියෙහි මුණින් වැතිර පා දෙක පිට මත තබා අත්වලින් ග්‍රහණය කර මුඛය හා උදරය තදින් හකුළුවා සිටීම උෂ්ට්‍රාසන නම් වේ. 31. භුජංගාසනය  : නාභියෙහි පටන් පාදවල මාපටැඟිලි දක්වා ඇති ශරීර භාගය භූමිය ස්පර්ශ වනසේ තබා අතුල්තල වලින් භූමිය ග්‍රහණය කර ගෙන සර්පයකු මෙන් හිස ඔසවා හිඳීම භූජංගාසන නම් වේ. 32. යෝගාසනය : යටිපතුල් උඩුකුරුව සිටින සේ දෙපා දණහිස් සන්ධිය මත තබා අතුල් තල උඩුකුරුව සිටින සේ භූමියෙහි පිහිටුවා නාසාග්‍රය කෙළින් බලන බැලුම් සහිතව හිඳීම යෝගාසන නම් වේ. මෙකී ආසන අතුරෙන් සිද්ධ, පද්ම, සිංහ භද්‍ර යන ආසන සතර ශ්‍රේෂ්ඨ යයි කියන ලදී. ථෙරවාදී බුද්ධ ධර්මයෙහි යෝගාවචරයන්ට නියම කර ඇත්තේ පර්යංකාසනය හෙවත් පලක් බැඳ ඍජු කොට කය පිහිටුවා සිහිය නිවනට හෝ කර්මස්ථානයට යොමු කොට සිටීමයි. මහායාන ධර්මයෙහි ප්වොන්කියා ,ට්සිනෙන්කියා යයි ආසන දෙකකි. වාම පාදයේ ඇඟිලි දකුණු කළව මත ද දකුණු පාදයේ ඇඟිලි වම් කළව මතද පිහිටන සේ ශරීරයට ඉතා කිට්ටු වන ලෙස පාද තබා වාඩි වීම ප්ව‍ොන්කියා ආසනයයි. දකුණු පාදය වම් පාදය මත වම් අතේ අල්ල දකුණු පාදයේ දනහිසටත් කළවටත් අතර හිස්ව තිබෙන ස්ථානයෙහි ද දකුණතේ අල්ල වම් පාදයේ දනහිසටත් කළවටත් අතර හිස්ව තිබෙන ස්ථානයෙහි තබා හිඳීම ට්සිනෙන්කියා නම් වේ. පළමුවෙන් හත් අට වරක් සන්ධි දිග හැර කොඳු ඇටය , ගෙල සහ හිස ඍජුව ද නාසය නාභියට කෙළින් ද තබා සෘජුව තබන ලද මුහුණින් හා සම්පූර්ණ අචලභාවයෙන් ද සිටිය යුතුයි. පර්සියානු ජනයා අතර ව්‍යවහාරයෙහි පවත්නේ ඵක ම ආසනයකි. එහි දී යෝගියා අත්දෙකින් ශරීරහාරය දරමින් දකුණුපාදයේ පිටි පතුල වම් කළව මත ද වම්පාදයේ පිටි පතුල දකුණු කළව මත ද තබා පලක් බැඳ හිඳ පසුපසට ගත් වම් අතින් දකුණුපාදයේ මාපටැඟිල්ල ද පසුපසට ගත් දකුණතින් වම්පාදයේ මාපටැඟිල්ල ද ග්‍රහණය කර නාසාග්‍රය දෙස බලන බැලුම් සහිතව සිටිය යුතුයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආසන-1&oldid=6791" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි