ආසන-3

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඒ ඒ චරිත නිරූපණය කිරීමේ දී අවස්ථානුකූලව නළුවන් විසින් පවත්වනු ලබන ප්‍රධාන ඉරියවු තුනකි. ඒවා ස්ථානක (නැඟිට සිටින), ආසන (වාඩි වී සිටින), ශයන (නිදා සිටින ) යන නම්වලින් හැඳින්වේ. සැපපහසුකම් ඇති වන පරිදි පා දෙක නවා ත්‍රිකය මඳක් උස්කර උභයපාර්ශ්වයෙහි දෙකළවා මත අත් පිහිටුවා සිටීම ස්වස්ථ උපවේශනයෙහි හෙවත් සැපසේ වාඩි වී සිටීමේ ලක්ෂණයි. සිතිවිලි දමෙක වෙළී සිටින ආකාරය දක්වන ඉරියව්වේ දී මුලින් කී පරිදි සැපසේ වාඩිවී එක් පාදයක් මඳක් දිගහැර අනික් පාදය අසුන මත පිහිටුවා හිස පසකට නැවෙන සේ තබා සිටිය යුතුයි. මෙය සචිත්ත උපවෙිශනය නමින් හැඳින්වේ. ශෝකයෙන් හරිතව වාඩි වී සිටීමේ දී සුවසේ අසුන් ගෙන නිකට අත්දෙක උඩ තබා හෝ හිස උරහිස මස්තකයෙහි තබා චිත්තය හා ඉන්ද්‍රියයන් නෂ්ටවූවකුගේ ආකාරය ප්‍රකට කෙරෙමින් සිටිය යුතුයි. මෙය ශොකෞත්සුක්‍යෝප වේශනය නමින් හැඳින්වේ. මූර්ජාවෙන් හෝ මත්ගතියෙන් හෝ අධික වෙහෙසවීමෙන් හෝ දුර්වලවීමෙන් හෝ දුකින් පසුවන්නකුගේ උපවේශනය නිරූපණය කිරීමේ දී සැපපහසු ගෙන දෙන ඉරියව්වකින් හිද අත් ලිහිල්ව එල්බෙන්ට හැර කිසියම් අසුනක වාඩිවී සිටිය යුතුයි. රෝගයෙන් පීඩිතව හෝ ලජ්ජාවට පත්ව හෝ නිද්‍රාවෙන් හෝ සිටින ආකාරය නිරූපණය කිරීමේ දී පාදවලට හා දනහිස්වලට අතර සියලු අංගයන් පිඩු කොට වින්තාපරව සිටිය යුතුයි. පිතෲන්ට උදකපූජා පැවැත්වීම මන්ත්‍ර ජප කිරීම, සන්ධ්‍යාකාලයෙහි දෙවියන් යැදීම, ආවමනය කිරීම යන අවස්ථා නිරූපණයේ දී ශ්‍රෝණි යුග්මය හා ව්එම් එක්තැන් වන සේ උත්කුටිකයෙන් සිටිය යුතුයි. ප්‍රියාවකගේ සිත සනසන අවස්ථාවල දී ද හෝමාදි කාර්යයන්හි දී ද දනහිස් එකිනෙකට ඇත්ව සිටින සේ භූමියෙහි පිහිටු විය යුතුයි. දේවාභිගමනයෙහි දී ද උරණවූවන් ප්‍රසාදනයෙහි දී ද දැඩි ශෝකයෙන් හැඬීමේ දී ද මෘතශරීර දර්ශනයේ දී ද පහත් සත්වයන් දැකීමෙන් ඇතිවන ත්‍රාසයේ දී ද මෙහෙකරු ආදි පහත් ජනයා යම් යම් දේ ඉල්ලීමේ දී ද හෝම යඥා දී ක්‍රියාවන්හි දී ද දනහිස් දෙක භූමියෙහි තබා පහතට හෙළන ලද මුහුණ ඇතිව සිටිය යුතුයි. උග්‍ර තපස් රක්නා තවුසන්හට ද මේ ආසනය නියමිතය. නාට්‍යයකට සම්බන්ධ විවිධ පාත්‍රයන් සදහා නියමිත ආසන පංක්තියක් ද ඇත්තේය. ඒ ඒ චරිත නිරූපණය කරන ස්ත්‍රී පුරුෂයෝ බාහ්‍ය අභ්‍යන්තර වශයෙන් දෙකොටසකි. අභ්‍යන්තර යන්නෙන් රාජසභාවට සම්බන්ධ වූවන් ද බාහ්‍ය යන්නෙන් ඉන් බාහිර වූ අන්‍යයන් ද ගැනේ. දෙවිවරුන්ට හා රජවරුන්ට සිංහාසනය ද පූජකයන්ට හා ඇමතියන්ට චේත්‍රාසනය (වේවැල් අසුන) ද යුවරජුන්ට හා සේනාපතීන්ට මුණ්ඩාසනය ද බ්‍රාහ්මණයන්ට මුඤ්ජාසනය (කාෂ්ඨාසනය ) ද වෙනත් කුමරුවන්ට කුථාසනයද රාජසභාවන්හි දී යෙදිය යුතු බව පැවැසේ. ස්ත්‍රීන් පිළිබඳ ආසන දැක්වීමේ දී අගමෙහෙසියන්ට සිංහාසනය ද අනිකුත් දේවීන්ට මුණ්ඩාසනය ද පූජකයන්ගේ හා ඇමතිවරුන්ගේ භාර්යාවන්ට චේත්‍රාසනය ද රජුන්ගේ අනියම් භාර්යාවන්ට වස්ත්‍ර, චර්ම, පලස් ආදි කිසිවකින් කළ ආසනය ද බැමිණියන්ට හා තවුසියන්ට පට්ටාසනය ද වෛශ්‍යයන්ගේ භාර්යාවන්ට මයූරකාසනය ද අනිකුත් ස්ත්‍රීන්ට දිව්‍යාසනය හෙවත් භූමිය ද අසුන් වන්නේය. මෙපරිද්දෙන් අභ්‍යන්තර බාහිර සංඛ්‍යාත ආසන නියම වුව ද යමකු ස්වකීය ගෘහයෙහි වසන කල තමා කැමති අසුනක් පරිහරණය කළ හැක. තාපසයන් සඳහා නියමිත ආසන ඔවුනොවුන්ගේ ආගම්වලට හෙවත් නිකායයන්ට අයත් නියමයන් අනුව විය යුතුයි. ඔවුනොවුන් රක්නා ව්‍රතවලට අනුව ද ආසන විය යුතුයි. කුල, විද්‍යා යනාදියෙන් උසස් අය සඳහා සුදුසු ආසන දීම රජු සතු යුතුකමකි. රජු හා සමවූවන්ට ඔහුගේ අසුනට සමාන උස ඇති අසුන් ද මධ්‍යම ප්‍රමාණයේ අයට මධ්‍යම ප්‍රමාණයේ උස් ආසන ද රජුට වඩා උසස් අයට ඔහුගේ අසුනට වඩා උස අසුන් ද පහත් ජනයාට භූමිය ද අසුන් වශයෙන් යෙදීමට නියමිතය. උපාධ්‍යායයා ඉදිරිපිට දී රජුට ද ගුරුවරයාට ද පණ්ඩිතයන්ට ද භූම්‍යාසනය හෝ කාෂ්ඨාසනය දිය යුතුයි. යාත්‍රාවක හෝ රථයක හෝ ඇතකු පිට නැඟී හෝ යන විට ගුරුවරයාට ද උපාධ්‍යායයාට ද රජුටද සමාන ආසන වල සිටිය හැකිය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආසන-3&oldid=6793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි