ආහාර-1
ආහාර යනු ප්‍රත්‍යයට නමෙකි. සත්වයන්ගේ නාමකායයාගේ හා රූපකායයාගේ උපැත්මට හෝ පැවැත්මට ප්‍රත්‍යයභාවයෙන් හෝ උපස්තම්භක (රුකුල්) භාවයෙන් ඉවහල් වන්නේ ආහාරයයි. 'ආහාර' ශබ්දය ආපූර්ව හර (හරණාර්ථ) ධාතුයෙන් සිද්ධයි. ගෙන එයි යනු එහි අර්ථයි. උපැත්මටත්, පැවැත්මටත් ආහාර සංඛ්‍යාත ප්‍රත්‍යයභාවයෙන් සිට උපැත්ම හෝ පැවැත්ම යයි කියන ලද ස්වකීය ඵලය ගෙන එන බැවින් ආහාර නම් වෙයි. ආහාරය තෙමේ උපන් සතුන්ගේ පැවැත්ම පිණිසත්, උපදනා සතුන්ට අනුග්‍රහ පිණිසත් පවතී.
ආහාරය චතුර්විධය. කවලීකාරාහාරය, ඵස්සාහාරය, මනෝසංචේතනාහාරය, විඤ්ඤාණාහාරය යනුවෙනි.
(i) කවලීකාරාහාරය
ව්‍යවහාරයෙහි ආහාර යයි ප්‍රසිද්ධ වූයේ කවලීකාරාහාරයයි. 'කවල' යනු අහර පිඬුවට නමෙකි. පිඬු වශයෙන් ගන්නා හෙයින් බත්, කොමු ආදිය කවලීකාරාහාර යයි කියනු ලැබේ. පානාදිය ද කවලීකාරාහාරයෙහි ම ඇතුළු වෙයි. අහරපිඬුව ම කවලීකාරාහාර යයි ව්‍යවහාරයෙහි ප්‍රසිද්ධ වුව ද මෙහි ආහාරගත ඕජාව ම කවලීකාරාහාර යයි ගතයුතුය. කවලීකාරාහාරය ඔජට්ඨමක රූපයන් උපදවයි; කර්මජ රූපකලාපයන්ගේ පැවැත්මට ද උපස්තම්භක වෙයි.
(ii) ඵස්සාහාරය
ඉන්ද්‍රියයන් විසින් අරමුණු ස්පර්ශ කිරීම් ආකාරයෙන් උපදනේ ඵස්සාහාරයයි. එය චක්ඛුසම්ඵස්සාදි වශයෙන් සවැදෑරුමි. සුඛ, දුඃඛ, උපේක්ෂා වේදනාවන්ගේ උපැත්මට ප්‍රත්‍යය වනුයේ ඵස්සාහාරයයි. “ඵස්සපච්චයා වෙදනා” යනු පටිච්චසමුප්පාදපාළියි.
(iii) මනෝසංචේතනාහාරය
“මනෝසංචේතනාහාරය” යනු චේතනාවට ම නමෙකි. චිත්ත චෛතසිකයන් අරමුණෙහි ගැළපීම චේතනා ලක්ෂණයයි. මනස ඇසුරු කොට පවත්නා චේතනාව මනෝසංචේතනා නමි. "සංඛාර", “අභිසංඛාර” යනු මනෝසංචේතනාවගේ පර්‍ය්‍යාය නාමයෝයි. ඔහු පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර වශයෙන් ත්‍රිවිධය. මනෝසංචේතනාහාරය තෙමේ භවත්‍රයයෙහි ප්‍රතිසන්ධිය ගෙන දෙයි.
පුඤ්ඤාභිසංඛාර
අටවැදෑරුම් කාමාවචර කුශල චේතනාත්, පස්වැදෑරුම් රූපාවචර කුශල චේතනාත් යන මොහු පුඤ්ඤාභිසංඛාර නම් වෙති. එහි කාමාවචර කුශල චේතනා කාමසුගතියෙහි ද රූපාවචර කුශල චේතනා රූපභවයෙහි ද ප්‍රතිසන්ධිය ගෙන දෙයි.
අපුඤ්ඤාභිසංඛාර
දොළොස්වැදෑරුම් අකුශල චේතනා අපුඤ්ඤාභිසංඛාරයි. ඔහු අපාය ප්‍රතිසන්ධිය ගෙන දෙති.
ආනෙඤ්ජාභිසංඛාර
සිව්වැදෑරුම් අරූපාවචර කුශල චේතනා ආනෙඤ්ජාභිසංඛාරයි. ඔහු අරූපභවයෙහි ප්‍රතිසන්ධිය ගෙන දෙති.
(iv) විඤ්ඤාණාහාරය
විඤ්ඤාණය යනු සිතට නමෙකි. ප්‍රතිසන්ධි ක්ෂණයෙහි නාමරූපයන්ගේ උපැත්මටත් උපන් නාමරූපයන්ගේ පැවැත්මටත් ප්‍රත්‍යය වනුයේ විඤ්ඤාණාහාරයයි.
(කර්තෘ: කරගම්පිටිගොඩ සුමනසාර ස්ථවිර)
(සංස්කරණය: 1965)