ආහාර ද්‍රව්‍ය පාලනය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නිෂ්පාදනය, බෙදාහැරීම යන අවස්ථා දෙකෙන් කවර අවස්ථාවේ වුව ද ආහාර ද්‍රව්‍ය පාලනය කිරීම ඇති විය හැකිය. නිෂ්පාදන අවස්ථාවේ දී පාලනයන් ඇති කරන්නේ නිෂ්පාදන ද්‍රව්‍යය වෙළඳ පොළේ අධික ලෙස ගොඩගැසෙනු වැළැක්වීමටයි. එක්සත් ජාතීන් ගේ මණ්ඩලයේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කොට ඇති අන්තර්ජාතික සීනි සම්මුතිය හා පොදු රාජ්‍ය මණ්ඩලයේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කොට ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය සීනි සම්මුතිය, වෙනත් පරමාර්ථ අතර ම, ලෝක වෙළඳ පොළෙහි අලෙවි වන සීනි නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් තරමක පාලනයක් ඇති කිරීම පෙරදැරි කොට පවත්නේය. කිසියම් භාණ්ඩයක නිෂ්පාදනය වැඩි කිරීම ද පාලනය මගින් සිදු කරන අවස්ථා ද වේ. ලංකාවේ වී නිෂ්පාදනය පිළිබඳ පාලනය ඊට නිදසුනකි. මේ සම්බන්ධයෙන් පාලනයක් ඇති කිරීමේ අදහස් මාත්‍රය පවා තර්ක ගෝචර නොවන සේ බැලූ බැල්මට පෙනෙතත් නිෂ්පාදනය තථ්‍ය වූවක් වන බවටත් ව්‍යාජ ගණන් ලැයිස්තුවලට මුදල් නොගෙවන බවටත් වගබලා ගැනීම අරහයා තරමක පාලනයක් අවශ්‍ය වේ.

ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම් පාලනය කිරීම යුද්ධ කාල තත්වයන් නිසා හටගත් හිඟකම් හේතු කොටගෙන ඇති වූ දුෂ්කරතා මඟහරවා ගැනීමේ යුද්ධකාලීන උපක්‍රමයක් හැටියට කාටත් පාහේ මතක ඇත. යුද්ධ කාල තත්වයන් මඟහැරී ගොස් බොහෝ කල්ගතව ඇති නමුත් ලෝකයේ බොහෝ රටවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් පාල නය කිරීම තවමත් දක්නට ලැබේ. ඊට හේතුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් හිඟ වූ විට එය මහජනයා අතර සාධාරණ අන්දමින් බෙදාහැරීම රජයේ පරම යුතුකමක් වීමයි.

සැපයුම හා ඉල්ලුම යන වෙළඳපොළේ බලවේගයන් නිදැල්ලේ ක්‍රියාකාරී වීමට ඉඩ හැරීමෙන් ද්‍රව්‍ය බෙදාහැරීම සලසා ගැනීම පිළිබඳ ආර්ථික න්‍යායයන්ට පාලනය පිළිබඳ අදහස සහමුලින් ම පටහැණි වන බව පෙනී යනු ඇත. පාලන ක්‍රමයක් ඇති කරලීම පිළිබඳ අදහසට පදනම්ව ඇති මූල ධර්මය වනුයේ හිඟ භාණ්ඩය සමසමව හා සාධාරණ ලෙස බෙදාහැරීම සඳහා යටකී බලවේගයන්ගේ නිදහස් ක්‍රියාකාරිත්වය පමණක් ප්‍රමාණවත් නොවේය යන විශ්වාසයයි. ආහාර ද්‍රව්‍යයක් වෙළඳපොළේ බලවේගයන්ගේ නිදහස් ක්‍රියාකාරිත්වයට හසු වීමට ඉඩ හැරියොත් එම ද්‍රව්‍යය සෑහෙන පමණ ලබාගත හැක්කේ වැඩි ආදායම් ලබන්නවුන්ට බවත් අඩු ආදායම් ලබන්නවුන්ට එය කොහෙත් ම ලබාගත නොහැකිවන බවත් පැහැදිලිය.

කිසියම් භාණ්ඩයක බෙදාහැරීම පාලනය කිරීමට නම් එහි මිල ද පාලනය කළ යුතුය. අත්‍යවශ්‍යය භාණ්ඩයක අත්‍යවශ්‍යකත්වය කාටත් පොදු හෙයින් එය සමාජයේ දුප්පත් ම සාමාජිකයාට ද ලබාගත හැකි විය යුතුය. මේ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩයක් පාලනය කර ඇත යන්නෙන් සාමාන්‍ය යෙන් අදහස් කෙරෙන්නේ මිල පමණක් නොව බෙදාහැරීම ද පාලනය කොට ඇති බවයි.

කිසියම් භාණ්ඩයක සැපයුම එහි ඉල්ලුමට වඩා අඩු නම් එහි මිල ද බෙදාහැරීම ද පාලනය නොකර ම බැරිය. එහෙත් බෙදාහැරීමේ පාලනයක් අතවශ්‍ය අවස්ථාවන්හි දි පවා වෙළෙඳුන් නොසෑහෙන ලාභ ලබාගැනීම වැළැක්වීමට භාණ්ඩයන්ගේ මිල පාලනය කිරීම අවශ්‍ය බව අත්දැකීම් අනුව ප්‍රත්‍යක්ෂ වී තිබේ. රජයේ ප්‍රතිපත්ති ලාභය සලකා ඇතැම් භාණ්ඩ පිටරටින් ගෙන්වීමට හෝ රටට සෑහේ යයි සැලකෙන ප්‍රමාණය පමණක් රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ගෙන්වීම කෙරෙහි සීමාවන් පැමිණවීමට හෝ රජය තීරණය කළ හැකිය. මෙබඳු අවස්ථාවන්හි දී රටට සෑහෙන ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබිය හැකි වුව ද බෙදාහැරීමේ පාලන යක් නැත්නම් කූට වෙළෙඳුන් විසින් නැති හිඟයක් ඇති කරලීමට පුළුවන් බැවින් වෙළඳුන්ගේ කූට පරමාර්ථයන් ඉටු කරගනු බැරි වන සේත් සාධාරණ මිලට මහජනයාට බඩු ලබාගත හැකි වන පරිදිත්මල් එම ද්‍රව්‍ය පාලනය කරනු ලැබේ.

ආණ්ඩුවෙන් පමණක් ගෙන්වනු ලබන හෝ ගෙන්වීම සීමා කරන ලද හෝ අතිරේක ආහාර ද්‍රව්‍යයන්හි මිල පාලනය කොට ඇති නමුත් ඉල්ලුම ඒකක වශයෙන් මිනිය නොහැකි විට බෙදා හැරීම පාලනය නොකොට ඇති අවස්ථා බොහෝ විට දක්නා ලැබේ.

උදාහරණයක් වශයෙන්, ඉතා වැදගත් ආහාර ද්‍රව්‍යයක් වන සීනි සම්බන්ධයෙන් පාලිත බෙදා හැරීමේ ක්‍රමයක් ඇති කිරීම පහසු නොවේ. ලංකාවේ එක් අයකු සතියකට පරිභෝග කරන සීනි ප්‍රමාණය අවුන්ස 12 ක් යයි ගණන් බලා තිබේ. එහෙත් මෙයින් එහා මෙහා වන පරිභෝජන ප්‍රමාණය කොතරම් විශාල දැයි කිවහොත් සීනි සම්බන්ධයෙන් පාලිත බෙදාහැරීමේ ක්‍රමයක් ඇති කිරීමෙන් නොසිතූවිරූ ප්‍රතිඵල ඇතිවනු නිසැක බව එක්වරටම පෙනී යයි. තවද මෙම භාණ්ඩයේ පරිභෝජනය ගෙදර දී තේ කෝපි පානයටම සීමා වූවක් නොවේ. සීනි අන්තර්ගත නොයෙක් කෑමවර්ගවල අනුසාරයෙන් ද එහි පරිභෝජනය සිදු වේ. රස කැවිලි, කේක් වැනි සීනි මිශ්‍ර කැවිලි වර්ග ගෙවලින් පිටස්තර වූ වෙළඳ සමාගම් මගින් සාදා බෙදාහරිනු ලැබේ. මෙසේ ඇතැම් ආහාර වර්ගයන් සඳහා ඇති අධික වශයෙන් වෙනස්වනසුලු ඉල්ලුම හේතු කොටගෙන සියලු ආහාර ද්‍රව්‍යයක් ම පාලිත බෙදාහැරීමකට ගෝචර නොවන බව පැහැදිලිය. එවැනි ආහාර වර්ග සම්බන්ධයෙන් පාලනයක් ඇති කළ හැක්කේ මිල අතින් පමණකි. ද්‍රව්‍ය හිහය නොවැළැක්විය හැකි අවස්ථාවන්හි සාධාරණ ලෙස භාණ්ඩ බෙදා හැරීම - විශේෂයෙන් ම හදිසි දැන්වීමකින් පසුව කළ යුතු වූ විට - ඉතා දුෂ්කර කාර්යයක් වේ. එවිට කළ හැක්කේ මිල පාලනය තදින් ක්‍රියාකර වීමත් පාරිභෝගිකයාට යුතුකම ඉටු කරතැයි ආණ් ඩුව විසින් ඒත්තු ගනු ලැබූ ආයතන මගින් ම ද්‍රව්‍ය බෙදාහැරීමත්ය. මෙරට ආණ්ඩුව පිළිගත් ආයතන වූ කලි සමුපකාර කඩ සමිතිත් සමුපකාර තොග වෙළඳ ආයතනයේ වෙළඳ සැල් හා අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෙළඳ සැලුත්ය. පෞද්ගලික වෙළෙඳුන් ද ආණ්ඩුවේ සහ මහජන යාගේ විශ්වාසය දිනා ගැනීමේ අභිප්‍රායෙන් මේ කටයුත්ත සඳහා සංවිධානය වීමට උත්සාහ දරා ඇත්තේය. මේ ක්‍රමය සර්වප්‍රකාරයෙන් ම සතුටු දායක යයි කීම දුෂ්කරයි. එසේ වුව ද මෙම ක්‍රමය නිසා, අඩු ගණනේ සිල්ලර වෙළඳුන් මිල ඉහළ නංවන අදහසින් බඩු සඟවා ගොඩගසා ගැනීම පමණක් මුත් බොහෝදුරට අඩු වේ. තවද විෂම බෙදාහැරීමේ අනිටු විපාක ද එයින් තරමක් දුරට මඟහැරී යයි.

ඉල්ලුම නියත ඒකක වශයෙන් මැනිය හැකි සහල් වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍යයන් සම්බන්ධ යෙන් තත්වය සම්පූර්ණයෙන් ම වෙනස්ය. අත්‍යවශ්‍ය ප්‍රධාන ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉල්ලුම පිළිබඳ නියත ඒකකය බොහෝ දුරට නිවැරදි සාමාන්‍ය ප්‍රමාණයකි. එයින් එහා මෙහා වන තරම එතරම් ගණන් ගත යුත්තක් නොවේ. එවැනි භාණ්ඩයක් මිල හා බෙදා හැරීම යන දෑතින් ම පාලනය කරනු ලැබේ. බෙදා හැරීම පාලනය කිරීමේ ක්‍රමය නම් තොග වෙළඳ ආයතනයන් කීපයක් හා ඒවායින් යැපෙන සිල්ලර වෙළඳ ස්ථාන සමූහයක් රට පුරා විවෘත කොට නියමිත කාලපරිච්ඡේදයකට වරක් බැගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ ලබාගැනීමට ඉඩ සැලැස්වීමයි. වරකට නියමිත බඩු ප්‍රමාණය පාරිභෝගිකයා මිල දී ගත් කල ඔහුට දෙනු ලබන පාලන කාඩ් පතෙහි ඇති කූපොනයක් ද ඔහු විසින් වෙළඳ ස්ථානයට භාර දිය යුතු වේ. සිල්ලර වෙළඳ ස්ථානය ද ඊට බැඳී ඇති පාලන කාඩ්පත් ප්‍රමාණයට සැපයිය යුතු භාණ්ඩ ප්‍රමාණය තොග වෙළඳ ආයතනයෙන් මුලින් ලබා ගෙන, පසු අවස්ථාවන්හි දී බඩු ගන්නා විට තොග වෙළඳ ආයතනයට කූපොන් ඉදිරිපත් කරමින් බඩු ලබා ගනියි. පාරිභෝගිකයා දිගට ම තමාට ලැබිය යුතු භාණ්ඩ ප්‍රමාණය ලබාගන්නා බවට හා සිල්ලර වෙළෙන්දා සිය වෙළඳ ස්ථානයෙන් බඩු ගන්නා කූපොන් හිමියන්ගේ අවශ්‍යතාවන්ට වඩා බඩු ප්‍රමාණයක් තොග ආයතනයෙන් ලබා නොගන්නා බවට ද මේ ක්‍රමය මගින් වග බලා ගැනේ.

එක කූපොනයක් භාර දීමෙන් පසු භාණ්ඩ එකකට වැඩි ගණනක් පාරිභෝගිකයාට ලබාගත හැකි අවස්ථා ද වේ. කලක් මෙහි කූපොනයකට හාල් රාත්තල් 4කුත් II වර්ගයේ පරිප්පු රා. 1/2කුත් හිමි විය. යුද සමයේ දී සීනි ද මේ අයුරින් බෙදනු ලැබීය. ලබාගත හැකි තොග අනුව ප්‍රමාණය වෙනස් විය. සතියකට වඩා දිගු කාලයකට වරක් දෙනු ලබන උම්බලකඩ වැනි වෙනත් ආහාර ද්‍රව්‍ය ද වේ. සතියකට වඩා දිගු කාලයකට වරක් දෙනු ලබන බැවින් එය කූපොනයට සම්පූර්ණයෙන් සම්බන්ධ වී නැත. ගෙයකට යම්කිසි ප්‍රමාණයක් ගණනේ බෙදා දෙනු ලබන වෙනත් භාණ්ඩ ද වේ. ඒ නිසා ගෙයක් සමන්විත ඒකක ප්‍රමාණයට (ගෙදර පදිංචි අයගේ ප්‍රමාණයට) අනුව සතිපතා හෝ මාස්පතා බඩු නිකුත් වේ.

සාමාන්‍යයෙන් කුමන භාණ්ඩයක් හෝ පාලනය කිරීමට හේතුව එය හිඟවීමයි. හිඟයට හේතුව භාණ්ඩයේ නිෂ්පාදනය අඩු වීම හෝ භාණ්ඩ පිට රටින්ගෙන්වීම අපහසු වීම හෝ පිටරටින් ගෙන්වීම තහනම් කිරීමේ ප්‍රතිපත්ති හෝ විය හැකිය. භාණ්ඩයක් හිඟ වූ වහාම එහි මිල ඉහළ යන බව කවුරුත් දන්නා කාරණයකි. මිල ඉහළ යෑමෙන් සිදු වන්නේ අසාධාරණ ලෙස භාණ්ඩය බෙදීයාමයි. භාණ්ඩයක මිල අධික ලෙස ඉහළ යාම වැළැක් වීමත් එය පාරිභෝගිකයන් අතරේ සාධාරණ ලෙස බෙදාහැරීමත් ආහාර පාලනයේ පරමාර්ථ වේ. පාලන උපක්‍රම කිසිවකින් මෙකී පරමාර්ථ සහමුලින් මුදුන් පමුණුවා ගත හැකි යයි කීම උගහටය. මුළු රටේ ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සහ රුචි අරුචිකම් විවිධ බැවිනි. කරුණු මෙසේ වුව ද හිඟයන් ඇති වූ අවස්ථාවන්හි දී ලබාගත හැකි භාණ්ඩ හැකි තරම් දුරට සාධාරණ ලෙස මහජනයා අතර බෙදා හැරී මට වගබලා ගැනීම රජයේ යුතුකමයි. පාලන ක්‍රම පනවනු ලබන්නේ මේ නිසාය.

කර්තෘ:කේ.බී. දිසානායක

(සංස්කරණය:1967)