ඇක්‍රිඩීන්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Aeridine). ගල්අඟුරු තාරවලින් ලබා ගන්නා මේ ද්‍රව්‍යය කාබනික (organic), විෂම චක්‍රීය (heterocyclic) සංයෝග සමූහයකින් එකකි. අර්ධ වශයෙන් ඔක්සිහරණය වූ (reduced) පිරිඩීන් න්‍යෂ්ටියක් හා ඒකාබද්ධ වූ බෙන්සීන් න්‍යෂ්ටි දෙකක් ලෙස ඇක්‍රිඩීන් සැලකිය හැකිය. එහි සූත්‍රය C13 H9 N ය.

ඇක්‍රිඩීන් ජලයෙහි ද මද්‍යසාරයෙහි ද දියවන ළා කහපාට ඝන ද්‍රව්‍යයකි. එහි ද්‍රවාංකය සෙ. 110° ය. ප්‍රතිදීප්තිය (fluorescence) එහි පැහැදිලිව පෙනේ. එය ස්පර්ශ වීමෙන් හමෙහි කැසීම හා දැවිල්ල ඇති කරයි. ඇක්‍රිඩීන් ස්ථායී (stable) සංයෝගයකි. තාපය, අම්ල හා ක්ෂාර ක්‍රියා කිරීමෙන් එය සාමාන්‍යයෙන් වියෝජනය කළ නොහැකිය.

වැදගත් ඖෂධ හා සායම් වර්ග කීපයක් ඇක්‍රිඩීන් ව්‍යුත්පන්නයෝය (cdqhuatives). ඇටබ්‍රින් හා මෙපක්‍රීන් යන නම්වලින් හැඳින්වෙන ක්වින් ඇක්‍රින් සංයෝගය ඇක්‍රිඩීන් ව්‍යුත්පන්නයකි. මෙය ප්‍රයෝජනවත් ප්‍රතිමැලේරියා ඖෂධයකි. ඖෂධ වශයෙන් වැඩි සැලකිල්ලට භාජන වී ඇති වෙනත් ඇක්‍රිඩීන් ව්‍යුත්පන්න දෙකක් නම් ඇක්‍රිෆ්ලේවින් (බ.) හා රිවනොල් (rivanol) ය. ඇක්‍රිප්ලේවින් නිද්‍රාබාධයට (බ.) (sleeping sickness) පිළියමක් වශයෙනුත් ප්‍රතිබැක්ටීරියා කාරකයක් වශයෙනුත් යොදනු ලැබේ. රිවනොල් ඇමීබා රෝගයට (බ.) පිළියමකි. ඇක්‍රිඩීන් ව්‍යුත්පන්නයන්ගෙන් ලබාගන්නා සායම් වර්ග සේද හා බැටළු ලොම් පාට කිරීමට යොදනු ලැබේ.

(සංස්කරණය:1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇක්‍රිඩීන්&oldid=2990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි