ඇකැඩ්
පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් නෂ්ටාවශේෂ ස්වල්පයක් මේ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති නමුදු යටකී සමයට අයත් කිසිදු ලිපි ලේඛනයක් ශේෂ වී නොමැත. එහෙත් සාර්ගොන් අධි රාජයාගේ කාල පරිච්ඡේදය ශාස්ත්‍ර වර්ධනයට බෙහෙවින් හිත කර සමයක් වූ බැව් පෙනේ.
සාර්ගොන්ට පසුව රජ වූ නරසින්ගේ කාලයේ දී කලාශිල්ප ද ඉතා උසස් අඩියකට පත් වී තිබුණි. විවිධ භාණ්ඩ මැටියෙන් නිර්මාණය කිරීම පිළිබඳ විශේෂ දක්ෂතාවක් ඇකැඩ් වාසීන්ට තිබුණු අතර ඔවුහු ලෝහ කර්මාන්තය ද දැන සිටියහ. මැටියෙන් හා ලෝහයෙන් කරවන ලද රජකුගේ මූර්ති රාශියක් ද සෙන්කෙරේ ප්‍රදේශයේ තිබී උන්නත රූප රාශියක් ද ඇකැඩ් ප්‍රදේශයේ සුසාන භූමිවල තිබි ලෝහමය බඳුන් ස්වල්පයක් ද සොයාගෙන ඇත. නරම්සින් රජු විසින් කරවන ලදැයි සැලකෙන ලෝහමය රාජ ශීර්ෂයක් නිනෙවා ප්‍රදේශයේ තිබී සම්බ වී ඇත. මේ මූර්තිය අවශේෂ ලෝහමය කෘතීන්ට වඩා උසස් කලා රසිකත්වයක් හෙළි කරයි.
සිලින්ඩරාකාර මුද්‍රා රාශියක් ද මේ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත. බැබිලෝනියානු කැටයම් කලාවේ විශිෂ්ට නිර්මාණයන් වන මේ මුද්‍රා වලින් ද කලාකරුවන්ගේ ප්‍රවීණත්වය මොනවට පිළිබිඹු වේ (බැබිලෝනියාව බ.).
ඇකැඩ්වරු යකඩ වැඩි වශයෙන් භාවිත නොකළහ. ඒ වෙනුවට ඔවුන් තඹ, පිත්තල හා ගල් උපයෝගී කරගත් බැව් පෙනේ. ඇකැඩ්හි වෛද්‍ය වෘත්තිය ද ඉතා දියුණු තත්ත්ව යක පැවැතුණු බැව් හමුරාබි අධිරාජයාගේ "නීති සංග්‍රහයෙහි" දැක්වෙන තොරතුරුවලින් හෙළි වේ.
