ඇපියන් මාවත
සිංහල විශ්වකෝෂය වෙතින්
'දිග මාවත් රැජින' යනුවෙන් හඳුන්වා ඇති මෙය ඉතාලියේ සුප්‍රකට පැරණි මහා මාර්ග අතුරෙහි ප්‍රමුඛස්ථානය ගත්තකි. මුලින් රෝමයේ සිට දකුණු දෙසට කැපුවා නුවර දක්වා වැටුණු මෙය ක්‍රි.ව. 312 දී ඇපියස් ක්ලෝඩියස් විසින් තනවන ලදි. පසු කාලයේ දී බෙනෙවෙන්ටම් හා ටැරෙන්ටම් යන නගර පසු කොට බ්රුන්ඩිසියම් දක්වා දික් කරන ලද මෙම මාර්ගයෙහි සම්පූර්ණ දිග ප්‍රමාණය සැතපුම් 350කට වැඩි විය. චිරස්ථායී වන අයුරින් බොරලු හා හුනු බදාමක් මත විශාල ගල්කුට්ටි අල්ලා තැනුණු ඇපියන් මාවතේ ඇතැම් කොටස් අද දක්වා අවිනෂ්ටව පවතී. පැරණි මහා මාර්ගය හා සමාන්තරව රෝමයේ සිට ආල්බානෝ නගරය දක්වා දිවෙන නව ඇපියන් මාවතක් 1784 දී සවැනි පියුස් පාප්තුමා විසින් තනවන ලදි.
(සංස්කරණය: 1967)